" කම්කරුවන්ට රැකියාවක්, සාධාරණ වේතනයක් සහ ගරුත්වයක් ලැබිය යුතුයි": කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"May no one be without work, dignity, a just wage," Holy Father prays on the Feast of St. Joseph the Worker


(2020 මැයි 1)
"කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යයත් ලෝක කම්කරු දිනයත් සැමැරෙන අද, අපි සියලුම කම්කරුවන් වෙනුවෙන් යාච්ඥා කරමු. සියලු කම්කරුවනට රැකියාවක් ලැබෙන ලෙසත්, සියල්ලන්ට සාධාරණ  වැටුපක් ලැබෙන ලෙසත් අපි යාච්ඥා කරමු. වැඩ කිරීමේ ගරුත්වයෙනුත් විවේක ගැනීමේ සෞන්දර්යයෙනුත් ඔවුනට යහපතක් සැලසේවා!"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කම්කරු ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනය වන මැයි පළමුවන දා උදාසන වතිකානයේ සාන්තා මාර්තා ගෙදර පුංචි පල්ලියේ පැවැත්වුණු දිව්‍ය පූජා යාගය ආරම්භ කළේ එසේ ය. 

මිටිය අතින් ගත් ශු. ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාවක් පුදසුනේ එක් එක පැත්තකින් තබා තිබිණි.

 මෙදින පළමුවැනි  කියවීමට ඇතුළත් වූ  මිනිසා සහ ගැහැණිය දෙවියන්  වහන්සේ ගේ ස්වරූපයට සහ සමාන කමට අනුව මවනු ලැබීමේ කතාව වෙත සිය කෙටි භාවනාවේ දී සුදොතුම් පියතුමා අවධානය යොමු කලේ ය. (උත්පත්ති 1:26-2:3)

මෙය දෙවියන් වහන්සේ මැවිල්ලේ කාර්යය බවත්  එය අඛණ්ඩව කරගෙන යාම සඳහා මනුෂ්‍යයාට පවරා තිබෙන බවත් එතුමා පෙන්වා දුන්නේ ය.

මේ මැවිල්ලේ කතාව අවසන් වන්නේ "ඔබ මේ දේ කරන්න; ඔබ මේ දේ රැකබලා  ගන්න. ඔබ වැඩකරමින්, මා සමග මේ ලෝකය මවමින් එය නොකඩවා කරගෙන යන්න" යයි දෙවියන් වහන්සේ උපදෙස් දෙන ආකාරයෙන් බව එතුමා කීවේය. 

"වැඩකිරීම යනු  තත්වාකාරයෙන් ම දෙවියන් වහන්සේ ගේ වැඩ නොකඩවා කරගෙන යාමයි. මනුෂ්‍ය ශ්‍රමය යනු විශ්වය මැවීමේ සිට මානව සංහතිය දෙවියන් වහන්සේගෙන් ලද කැඳවීම යි. පුද්ගලයකු දෙවියන් වහසේට සාමාන කරන ක්‍රියාව වැඩකිරීම යි. මන්ද, වැඩකිරීම මගින් මිනිසුන් සහ කාන්තාවන් මැවිලිකරුවන් ලෙස ක්‍රියා කරන නිසා ය. මේ ආකාරයෙන් වැඩකිරීම මගින් මිනිසා සහ ගැහැණිය පවුලක් ඇති කිරීම ඇතුළු  බොහෝ දේ මවයි. මෙය මානව පුද්ගලයාට ගරුත්වය ලබා දෙයි. මේ ගරුත්වය - ශ්‍රමයේ ගරුත්වය - මිනිසා දෙවියන් වහන්සේට සමානබවක්  ඇතිකරයි" යි සුදොතුම් පියතුමා විස්තර කළේ ය .

වහල් සේවය අදත් 

"එහෙත් අවාසනාවන්ත ලෙස ශ්‍රමයේ ගරුත්වය නිතර පාගා දමනු ලබන" බව එතුමා පෙන්වා දුන්නේ ය. ශ්‍රමයේ ගරුත්වය පාගා දමනු ලැබූයේ අතීතයේ සිදු වූ වහල් වෙළෙඳාම මගින් පමණක් නොවන බව එතුමා කීවේ ය.

"අදත් නිදහසේ වැඩ කිරීමට හැකියාවක් නොමැති, වහලුන් ලෙස සලකනු ලබන මිනිසුන් සහ ගැහැණුන් අප්‍රමාණව සිටිනවා. ජීවත් වීම සඳහා ඔවුන්ට වැඩකිරීමට බලකරනු ලැබ තිබෙනවා. තවත් විශාල ජනතාවකට ඉතා සුළු වේතනයකට එසේත් නැති නම් ගෙවීමක් නැතිව ම වැඩකිරීම සිදු වී තිබෙනවා.මේ  අතරින් බොහෝ දෙනෙකුට ඉතා අයහපත් ලෙස සලකනු ලබනවා. ඇතැම් විට ඔවුන් පහර දීම් වලට පවා ලක්වෙනවා. එහෙත් ඔවුනට එයින් ගැලවී යාමට නොහැකි වී තිබෙනවා," යි එතුමා කියා සිටියේ ය.

"මා මෙසේ කියා විට ඇතැම් කෙනෙකු කියන්නට පුළුවන්, 'ඔව්, පියතුමෙනි, ඒක  ඇත්ත. ඒත් ඒවා සිදු වෙන්නෙ හුඟාක්  දුරනේ ..' කියා.  එහෙත් මෙහේ ..ඔව් මෙහෙ අප අතර පවා එය සිදු වෙනවා. මා අදහස් කරන්නේ දවසේ පඩියට සොච්චම් පඩියකට, පැය අටක් නොවේ ඇතැම් විට දිනකට පැය දොළහක් දාහතරක් වැඩකරන්නට සිදු වන ජනතාව ගැන. මෙය අදත්, අප අතරත් සිදු  වෙනවා."

"සාධාරණ ලෙස ගෙවීමක් නොකරන ගෘහ සේවක සේවිකාවන් ගැන සිතන්න. සමාජ සංරක්ෂණ සහන ලබා නොදෙන, විශ්‍රාම ලැබීම නොහැකි ශ්‍රමිකයන් ගැන සිතන්න," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය.

"වැඩ කරන තැනැත්තෙකුට සිදුකරන සෑම අසාධාරණයක් ම මානව ගරුත්වය පාගා දැමීමක්" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය. "අසාධාරණය සිදු කරන තැනැත්තා ගේ මානව ගරුත්වය පවා මෙතැනදී පාගා දැමෙනවා".

කැඳවීම

"දෙවියන් වහන්සේ අපට දෙන කැඳවීම ඉතා සුන්දරයි. එනම්, 'මැවීම සඳහා, ප්‍රති-මැවීම සඳහා වැඩකරන්න' යන්නයි. එහෙත් මෙය ඉටු කළ හැක්කේ වැඩකිරීමේ තත්වයන් සාධාරණ වූ විට ය. එසේ ම පුද්ගල ගරුත්වයට ගරු කළ විට" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය

එතුමා සිය දේශනය අවසන් කළේ "සියලුම කම්කරුවන් වෙනුවෙන්, කම්කරුවන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකර ගැනීම සඳහා සටන් කරන්නන් වෙනුවෙන් සහ තමන්ට තරමක් වැඩියෙන් වියදම් වූවත්, කම්කරුවන්ට සාධාරණ ලෙස සලකන හාම්පුතුන් වෙනුවෙන් යාච්ඥා කරමිනි."

ශු. ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාව වෙත  ජනතාව ගේ අවධානය යොමු කළ සුදොතුම්  පියතුමා මෙසේ කීවේ ය: "ශු. ජුසේ මුනිඳුන් සිය කම්කරු ආයුධය අතැතිව ශ්‍රමයේ ගරුත්වය වෙනුවෙන් සටන් කරන්නට අපට උදව් වන සේක්වා! ඒ මගින් සියල්ලන්ට රැකියා ලබා ගැනීමටත්, එම රැකියා වහල් රැකියා නොව යෝග්‍ය රැකියා වීමටත් හැකියාව ලැබේවා! මෙය අද අපගේ යාච්ඥාව කර ගනිමු."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය