මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

Pope to lead world shrines in Rosary prayer for pandemic May 30; Will place the sorrows of all humanity at the feet of the Heavenly Mother


(2020 මැයි 26)
කතෝලිකයන් ගේ හද බැඳ ගත් මැයි මාසයේ  මරිය බැතිය සොඳුරු මංගල පිළිවෙතකින් පරිසමාප්තියට පත් කෙරෙන්නේ මැයි 30 වන දා යි. මෙවර මැයි 30 වන දා පෙන්තකොස්ත මංගල්‍යයට පෙර දිනය ද වේ. එබැවින් එම දිනය ලොව පුරා කතෝලික ජනතාවට වැදගත් දිනයක් වේ.

මෙම ද්විත්ව ආධ්‍යාත්මික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ලොව පුරා කතෝලිකයන් ආධ්‍යාත්මිකව, සජීවීව සම්බන්ධ කරගන්නා යැදුමකින් මරිය  මාසය පරිසමාප්තියට පත් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ.

එනම්, ලොව පුරා පිහිටි මරිය මෑණියන්ට කැපවූ සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් ජපමාලය යාච්ඥා කිරීමයි.

මැයි 30 වන සෙනසුරාදා වතිකානයේ වේලාවෙන් පස් වරු 5.30 ට සුදොතුම් පියතුමා ජපමාල යැදුම ආරම්භ කරයි. එතුමා ජපමාලය යදින්නේ වතිකානය ඇතුළත පිහිටි වතිකාන උද්‍යානයේ ඇති ලූර්දු ගුහාව අබියස සිට ය.

මෙම ජපමාලය යැදුම සංවිධාන කරන්නේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. යැදුම් දිනයේ තේමාව ,"මරිය මෑණියන් සමග යාච්ඥාවට එක සිතින් සම්බන්ධ වෙමින්" (ක්‍රියා 1:14)  "Devoted and with one accord to prayer, together with Mary (Acts 1:14) යන්න යි. මෙය කෝවිඩ් වසංගතය අවස්ථාවේ සුදොතුම් පියතුමා  මානව ප්‍රජාවට තමන් තුළ ඇති සමීපබව යළිත් ප්‍රකාශ කිරීමක් බව මේ සම්බන්ධයෙන් සිය නිවේදනය නිකුත් කරමින් එම මන්ත්‍රණ සභාව ප්‍රකාශ කළේය.

"ආරක්ෂාව පතා අප කරන අයැදුම් අපගේ ස්වර්ගීය මෑණියන්  ප්‍රතික්ෂේප නොකරන බවට ඇති නිශ්චිත විශ්වාසය තුළ, කෝවිඩ් වසංගතයෙන් තවත් අයහපත් තත්වයට පත් වූ මානව වර්ගයා ගේ දුක්ඛ දෝමනස්ස,   සුදොතුම් පියතුමා එතුමිය ගේ පා මුල තබනු ඇත," යි එම නිවේදනයේ කියැවේ.

"මරිය මාසය පරිසමාප්තියට පත්කරමින් කෙරෙන මෙම යාච්ඥාව,  කොරෝනා වෛරස නිසා විවිධාකාරයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත ලංවීමේ සහ ඔවුන් සැනසීමේ තවත් සලකුණකි," යි ද එහි සඳහන් වේ.

සහභාගී වන්නෝ

වතිකාන උද්‍යානයේ සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග ජපමාලය කීමට කෝවිඩ් වසංගත අවධිය නියෝජනය කරන්නන් කිහිප දෙනෙකුට ආරාධනා කර තිබේ.

වෛද්‍යවරයෙක් සහ හෙදියක්, කෝවිඩ් වසංගතයෙන් සුවය ලැබූ කෙනෙක් සහ එම රෝගයෙන් තම පවුලේ සාමාජිකයකු අහිමි වූ තැනැත්තෙක් ඒ අතර වෙති. එසේ ම, රෝහල් උපාධ්‍ය පියතුමෙකු සහ  ඖෂධවේදියෙක් ද ,   සිවිල් ආරක්ෂක ස්වේච්ඡා සාමාජිකයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, මරණය පරාජය කරමින් ජීවිතයේ සහ බලාපොරොත්තුවේ ජයග්‍රහණය සංකේවත් කරමින්  කෝවිඩ් වසංගතය තුළ දරුවකු ලැබූ පවුලක් ද වතිකාන උද්‍යානයේ සිට සුදොතුම් පියතුමා සමග ජපමාලය උච්චාරණය කරනු ඇත.

මෙදින ජපමාල යැදුමට එක්වන ලෙස ආරාධනා  කරමින් මෙම නියෝජිත පිරිස ඇතුළු තවත් විශාල පිරිසකට වතිකානය නව ජපමාල තිලිණ කර තිබේ.

ප්‍රධාන මරිය මව් සිද්ධස්ථානත් එක් වෙයි

කතෝලික ජනතාව ගේ අනුපමේය භක්තියට සහ ආදරයට පාත්‍ර වූ ලොව පුරා  පිහිටි මරිය මෑණියන්ට කැප කරන ලද සිද්ධස්ථාන සියල්ල ද එම යැදුමට සජීවීව සම්බන්ධ වන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ලූර්දු මාතා සිද්ධස්ථානය (ප්‍රංශය), පාතිමාව (පෘතුගාලය), ලූජාන්  (ආජන්ටිනාව), ගුවාඩලුපේ (මැක්සිකෝව),  සන් ජියෝවන්නි රෝටොන්දෝ (ඉතාලිය) සහ පොම්පෙයි නුවර (ඉතාලිය) මරිය සිද්ධස්ථාන ඒවායි.

මේ හැරුණු කොට ලොව පුරා පිහිටි සියලු මරිය මව් සිද්ධස්ථාන සිය නිරෝධායන සීමා වලට ගරු කරමින් මෙම ලෝක යැදුමට එක්වනු ඇතැයි වතිකානය අපේක්ෂා කරයි.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය