“සුවිශුද්ධ වූ දේව මෑනියනි, අපි ඔබගේ රැකවරණය කරා දිව එමු” - වසංගතයෙන් මිදීම පිණිස මරිය මවට යැදුම - 2

වසංගතයෙන් ලෝකය නිදහස් කර දෙන ලෙස ඉල්ලා 
ජපමාලයෙන් පසු යදින ලෙස 
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දේශ කළ 
දෙවන  යාච්ඥාව 



“සුවිශුද්ධ වූ දේව මෑනියනි,  අපි ඔබගේ රැකවරණය කරා දිව එමු”

අපගේ අම්මා වන සුවිශුද්ධ වූ  දේව මෑනියනි,  මුළු ලෝකයම දුක් වේදනාවලටත් සාංකාවටත් ගොදුරුවී ඇති මේ ඛේදජනක අවස්ථාවේ, අපි ඔබ වෙත දිව එමින්, ඔබගේ රැකවරණය ද, සරණය ද බලාපොරොත්තුවෙන් සිටිමු.

කන්‍ය මරියනි, කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඔබ ගේ  කරුණාබර නෙත් අප වෙත යොමු කළ මැනව. තමන් ප්‍රේම කළ අය මියයාම නිසා ද,  ඇතැම් විට, ඒ වේදනාව වැඩිකරමින්, ඔවුන් මිහිදන් කළ ආකාරය ගැන දුක් වන්නාවූ ද  සිත් කැළඹී සිටින්නා වූ ද  සහෝදර සහෝදරියන් සනසා  ලුව මැනව. තමන් ආදරය කරන අය රෝගී වීම නිසාත්,  එසේ වුවත්,  වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් වෙත සමීප වීමට නොහැකි වීම නිසාත්, බලවත් සැලකිල්ලෙන් සිටින්නා වූ අය වෙත, සමීප වුව  මැනව. අනාගතය පිළිබඳවත්, ආර්ථිකය සහ රැකියා පිලිබඳවත් ඇති අවිනිශ්චිතාව නිසා,  ව්‍යාකුල භාවයට පත්ව සිටින්නාවූ අය, බලාපොරොත්තුවෙන් පුරවා ලුව මැනව.

දේව මෑණියන් වන අපගේ මව්නි,  මේ බලවත් වේදනාව පහ වී ගොස් සිත් පුබුදු කරමින්  බලාපොරොත්තුවත් සාමයත් උදා වන ලෙස,  කරුණාවේ පියාණන් වන, දෙවියන් වහන්සේ ඉදිරියේ, අප උදෙසා යාච්ඤා කළ මැනව. රෝගී වූවන් සහ රෝගය හේතුවෙන් මියගිය අයගේ පවුල් සනසා, ඔවුන්ගේ හදවත් විශ්වාසයටත් ඇදහිල්ලටත් විවෘත කරන ලෙස, කානා නුවර දී කළාක් මෙන්, ඔබගේ දිව්‍ය  පුතණුවන් ඉදිරියේ යාච්ඤා කල මැනව.

මෙම හදිසි තත්ත්වය තුළ සෙසු ජනතාව ගේ  ජීවිත ගලවා ගැනීම සඳහා තම ජීවිත පරදුවට තබන වෛද්‍ය වරුන්, හෙද හෙදියන්, සුව සේවා සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් ඇතුළු ඉදිරි පෙරමුණේ සිටින්නන්, ආරක්ෂා කළ මැනව.  ඔවුන්ගේ වීර උත්සාහයට ඔබගේ සහය දුන මැනව;  ඔවුනට ඔබගේ ශක්තිය, පරිත්‍යාගශීලි බව  සහ අඛණ්ඩ ශරීරසනීපය ලබා දුන මැනව.

දිවා රෑ නොබලා රෝගීනට උදව් වන අයටද,  ස්වකීය එඬේරික සැලකිල්ල සහ සුපුවත කෙරෙහි ඇති විශ්වාසවන්ත කම තුළ, සියල්ලන්ට  උපකාර කිරීමට ප්‍රයත්න දරන, පූජක තුමන් ලා ට ද  ළං ව සිටිනු මැනව.

භාග්‍යවන්ත කන්‍යාවෙනි, විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවී සිටින සහෝදර සහෝදරියන්ගේ සිත් ආලෝකවත් කරමින්, මෙම වෛරස ජය ගැනීම සඳහා ඵලදායක විසඳුමක් සොයා ගැනීමට ඔවුන් මෙහෙයවනු මැනව.

අපගේ ජාතික නායකයන්ට,  සහය වනු මැනව. ජීවත්වීමට අවශ්‍ය මූලික  අවශ්‍යතා හිඟ වූ ජනතාවට ආධාර කිරීමටත්, දූරදර්ශී බව සහ සහයෝගිතාව මගින් අනුප්‍රාණය ලබන, සමාජ සහ ආර්ථික විසඳුම් නිර්මාණය කිරීමට  අවශ්‍ය ප්‍රඥාව,  උනන්දුව සහ පරිත්‍යාගශීලී බවත්  ඔවුනට ලබා දුන මැනව.

අති ශුද්ධ වූ  මරියනි, යුද අවි නිෂ්පාදනය සහ එක්රැස් කිරීම සඳහා ආයෝජනය කරනු ලබන අතිවිශාල ධනස්කන්ධය,  ඒ වෙනුවට,  මෙවැනි ඛේදජනක දේ අනාගතයේදී යළි ඇතිවීම වැළැක්වීම සඳහා වූ, ඵලදායි පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැය කිරීමට හැකි වන පරිදි, අපගේ හෘදය සාක්ෂි කළඹනු මැනව.

සෙනෙහෙබර මව්නි,  අප සියල්ලන් එක් විශිෂ්ට පවුලක සාමාජිකයන් බව අවබෝධ කර ගැනීමටත්, අප  එක්සත් කරන බැඳීම හඳුනාගැනීමටත් අපට උදව් වුව මැනව. මේ අනුව,  සහෝදරත්වයේ සහ සහයෝගිතාවේ ජීවගුණය තුළ, දුප්පත්කමේ සහ අවශ්‍යතාවයේ අප්‍රමාණවූ අවස්ථා මුලිනුපුටා දැමීමට අපට හැකිවනු ඇත. විශ්වාසයෙන් අප  ශක්තිමත් කොට, සේවාව තුළ නොපසුබටව අප ඉදිරියට ගෙන යමින්, යාච්ඥාව තුළ නොකඩවා පවතින්නට අපට උදව් වුව මැනව.

දුක්  වේදනාවට,  ශෝකයට  සහ පීඩාවට පත් වූවන්ගේ සැනසීම වන මරියනි,  පීඩාවට පත්වූ ඔබගේ දරුවන්  වැළඳගෙන,දෙවියන් වහන්සේ ගේ  සර්ව බලැති හස්තය දිගුකොට මෙම බියකරු වසංගතයෙන් අප නිදහස් කර,  සන්සුන් ලෙස සාමාන්‍ය ආකාරයෙන්  ජීවිතය යළි ආරම්භ කිරීමට හැකි වන පිණිස,  යාච්ඤා කළ මැනව,

අහෝ අති කරුණාබර වූ ද,  අති ප්‍රේමනීය  වූ ද අති මධුර වූ ද කන්‍ය මරියනි,  ගැලවීමේ සහ බලාපොරොත්තුවේ සලකුණක් ලෙස අපගේ ගමන දීප්තිමත් කරන ඔබට, අපි අපව භාර  කරන්නෙමු.

ආමෙන්.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය