"පුදැදුරු වරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් වසංගතයේ 'අල්ලපු ගෙදර සාන්තුවරු'": සුදොතුම් පියතුමා "අසාමාන්‍ය" මහ බ්‍රහස්පතින්දා පුදැදුරු ගුණ සිහි කරයි

"Priests, along with doctors and nurses, are pandemic’s ‘saints next door’" - Pope Francis says on the 'unusual' Holy Thursday ever 


(2020 අප්‍රේල් 9)
"පුදැදුරු වරුනට සමීප වීමට, සියලුම පුදැදුරු වරුනට සමීප වීමට, අද මට අවශ්‍යයි. අලුතින් ම පුදැදුරුවරය ලැබූ පියතුමන්ලා ගේ සිට පාප් වහන්සේ දක්වා, අපි සියලු දෙනා ම පුදැදුරු වරු. අප සියලු දෙනාව ම ස්වාමීන් වහන්සේ ආලේප කර තිබෙනවා. අප ආලේප කර තිබෙනවා ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාදය වෙනුවෙන්; ආලේප කර තිබෙනවා සේවය කිරීමට,"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

මේ නිසා දිව්‍ය සත්ප්‍රසාදය සහ පුදැදුරුවරය සථාපනය කිරීමේ මංගල්‍යය සැමැරෙන මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව අවස්ථාවේ, ජීවත් වන සහ මිය ගිය සියලුම පුදදුරු වරුන් තමන් සිහිපත් කරණ බව එතුමා කීවේය. විශේෂයෙන් ම නව කොරෝනා වෛරසට ගොදුරුව මිය ගිය පුදැදුරු වරුන් ද  වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ද "අල්ලපු ගෙදර සාන්තුවරුන්" ලෙස හැඳින්විය හැකි යයි එතුමා සඳහන් කළේය.

ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ ඉතිහාසයේ අසාමාන්‍ය ම මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ  ධර්ම දේශනය කරමිනි.

දරුණු වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා පනවා ඇති නීති හේතුවෙන් නගර පමණක් නොව දෙව්මැදුරු ද හිස් වේ තිබේ. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව ඔප්පු කළේ අතිශය අසාමාන්‍ය ලෙස හිස්ව තිබූ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර තුළ ය. සාම්ප්‍රදායිකව මහබ්‍රහස්පතින්දා උදාසන එබ බැසිලිකාවේ පැවැත්වෙන ශුද්ධ වූ තෛලය ආශීර්වාද කිරීමේ දිව්‍ය පූජාව ද අසාමාන්‍ය ලෙස මෙවර නොපැවැත්විණි. සාමාන්‍යයෙන් සුදොතුම් පියතුමා පූජකවරුන් විශේෂයෙන් අමතා අනුශාසනා කරන්නේ එම මෙහෙයේ දී ය.

ශුද්ධ වූ තෛලය ආශීර්වාද කිරීමේ මෙහෙය පැවැත්වීමට නොහැකි වූවත් "ජේසු සමිඳුන් වෙනුවෙන් සිය ජීවිත ඔප්පු කරන පූජකවරුන් ගේ මෙහෙවර අගය කිරීමකින් තොරව මෙම දිව්‍ය පූජාව ඔප්පු කළ නොහැකි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. "මාගේ සහෝදර සියලුම පූජකවරුනි, අද ඔබ සියලු දෙනා ම මා සමග පුදසුනේ සිටිනවා...සමිඳුන් වෙනුවෙන් ජීවිතය ඔප්පු කරන පුදැදුරු වරුන්...සේවකයන් වන පුදැදුරු වරුන්. වසංගත රෝගය වෙනුවෙන් ජීවිත පුද දෙන වෛද්‍යවරුන් හා හෙද හෙදියන්  සමග මේ පුදැදුරු වරුන් ද 'අල්ලපු ගෙදර සාන්තුවරුන්" යයි  එතුමා පැවසුවේ ය.

කොවිඩ්-19 වසංගතය  හේතුවෙන් ඉතාලියේ මිය ගිය පුදැදුරු වරුන් එතුමා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේ ය. "ඔවුනට එම රෝගය වැලඳුනේ රෝගීනට සේවය කිරීම නිසාය. මේ පුදැදුරු වරු සේවය කිරීම තුළ සිය ජීවිත පූජා කළහ" යි සූදානම් වූ පිටපතකින් තොරව අද දින සිය ධර්මදේශනය කරමින් එතුමා පෙන්වා දුන්නේ ය.

ඉතාලියේ කතෝලික රදගුරු සමුළුවට අයත් Avvenire පුවත්පතේ අලුත් ම කලාපයට  අනුව කොරෝනා වෛරසින් මිය ගිය ඉතාලි පුදැදුරු වරුන් සංඛ්‍යාව මේ වන විට 96 දක්වා වැඩි වී තිබේ.

කැපවීමෙන් සේවාව කරන, එහෙත් කිසි දා  ප්‍රසිද්ධියක් නොලබන, සැඟවුණු පුදැදුරු වරුන් සුදොතුම් පියතුමා සිය දේශනාවේ දී සිහිපත් කළේය.
"ඉතාලියේ ගම්බද ප්‍රදේශයක සේවාව කළ එක් පියනමක් එම ගමේ ජීවත් වුනු සෑම කෙනෙකු ගේම නම දැනගෙන සිටියා. එපමණක් නොවේ. එම ගම්වාසීන්ගේ සුරතල් බල්ලන් ගේ නම් ද එතුමා දැනගෙන සිටියා. එතුමා ඒ තරමට ම ඔවුනට  සමීපයි. මෙය පූජක සමීපත්වයේ ආදර්ශයක්. ඔවුන් යහපත් පියවරුන්. මා ඔබ සැම දෙනාව ම පුදසුනට ඔසවා ගෙන එනවා ...එක්තරා ප්‍රන්සිකානු මිෂනාරි රදගුරු තුමෙකු යම් ප්‍රදේශයකට යන විට  එම ප්‍රදේශයේ සුසාන භූමියට යාම සිරිතක් කරගෙන සිටියා. එතුමා එහි ගොස් ධර්මදූත සේවාව වෙනුවෙන් ජීවිතය පූජා කළ පූජක වරුන් වෙනුවෙන් යාච්ඥා කළා."

බන්ධනාගාර උපාධ්‍ය පියතුමකු මෑතක දී තමාට ලියුමක් එවූ බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. ශුද්ධ වූ  සතියේ  තුළ බන්ධනාගාරය තුළ තමා කරන්නට යන සේවාව එතුමා විස්තර කර තිබුණු බව එතුමා සඳහන් කළේය.

 ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුදොතුම් පිය ධුරයට පත් වූ වසරේ සිට දිගටම  මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව ඔප්පු කළේ දෙව්මැදුරෙන් පිටත, සිරගෙවල්, සරණාගත කඳවුරු වැනි ස්ථාන වලය. එය ද මෙවර වෙනස් කරන්නට සිදු වී තිබිණි.

එතුමා මෙම දිව්‍ය පුජාව ඔප්පු කළේ රෝමානු ජනතාවට සමීප සංකේත දෙකක් පසුබිමේ සිට ය. "රෝමානු ජනතාව ගේ ආරෝග්‍යය වන මරිය මෑණියෝ' (Maria, Salus Populi Romani)  නමැති ඓතිහාසික සිතුවම ඉන් එකකි. දෙවැන්න රෝමයේ සාන්ත මාර්සෙලෝ දෙව්මැදුරේ තැන්පත් කර ඇති මෙම වසංගතයේ දී පිටතට ගත් ප්‍රාතිහාර්යජනක කුරුස ප්‍රතිමාව යි.

"ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය සිදු කළේ දිව්‍ය සත්ප්‍රසාදය තුළ අප සමග සිටින්නට උන්වහන්සේට අවශ්‍ය නිසා. අප උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය අනුභව නොකරන්නේ නම්, ශ්‍රී රුධිරය පානය නොකරන්නේ නම්, අපට ස්වර්ගයට ඇතුළු විය නොහැකි බව උන්වහන්සේ ම කීවා. උන්වහන්සේ අප සමගයි. ..දිව්‍ය සත්ප්‍රසාදය ලබන සෑම කෙනෙක් ම දිව්‍ය සත්ප්‍රසාද මංජුසාවක්. අප ස්වාමීන් වහන්සේව අප තුළ රැගෙන යනවා" යි එතුමා පෙන්වා දුන්නේ ය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය