"සිනාසෙන පාප්තුමා" -පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා- නමින් වතිකාන පදනමක් පිහිටැවේ : "එතුමා සසුන් කාරණා සඳහා සැඳහුම් ලක්ෂ්‍යයක්"

Foundation dedicated to John Paul I, the "smiling pope"  created: He is a "Point of Reference"  


(2020 අප්‍රේල් 28)
දින 33ක් සභාවට මග පෙන්වූ පළමු වන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ මතකයට කැපකරන ලද පදනමක් ස්ථාපිත කිරීමට  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කරයි. මෙම තීරණය විශේෂ නියෝගයක් මගින් එතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව වතිකාන මාධ්‍ය කාර්යාලය අද නිවේදනය කළේ ය.

එම පදනම නම් කර ඇත්තේ "වතිකාන පළමුවන ජුවාම් පාවුළු පදනම" යනුවෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් එය පිහිටුවන ලද්දේ "පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ ගේ දැක්ම, ඉගැන්වීම් සහ ආදර්ශය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ අරමුණින්" බව මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. පදනමේ මූලස්ථානය රෝමය යි.

පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගේ සංස්කෘතික සහ ධාර්මික උරුමය සංරක්ෂණය කිරීම, එතුමා විසින් ගන්නා ලද මූලිකත්වයන් සහ සම්මේලන වැනි එතුමන් ගේ කෘත්‍යයන් ප්‍රවර්ධනය කිරීම, පළමුවැන් ජුවාම් පාවුළු පාප්වහන්සේ පිලිබඳ සමීක්ෂණ සහ අධ්‍යයන නිකුත් කිරීම, ඉතාලියේ සහ විදේශවල සම්මාන සහ ශිෂ්‍යත්ව පිරිනැමීම, එම ක්‍ෂේත්‍රය තුළම ක්‍රියා කරන්නන් සඳහා සැඳහුම් ලක්ෂ්‍යයක් වීම පදනමේ කාර්ය භාරය වේ.

වතිකානයේ රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණන් මෙම පදනමේ ප්‍රථම සභාපති වරයා ලෙස සුදොතුම් පියතුමා විසින් පත් කරනු ලැබ  ඇත. එහි උප සභාපති වරයා වන්නේ ඉතාලි ජාතික පත්‍රකලාවේදී ස්තෙෆානියා ෆැලස්කා ය.

පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ වෙනුවෙන් පදනම පිහිටුවීමට ක්‍රියා කිරීම මගින් ප්‍රදර්ශනය වන්නේ එතුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ජීවිතයට කෙතරම් වැදගත් සැඳහුම් ලක්ෂ්‍යයක් වී ඇත් ද යන්න බව නිරීක්ෂයෝ පෙන්වා දෙති.

පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගේ උපන් නම ඇල්බිනෝ ලුචියානි ය. 1978 දී ශුද්ධෝත්තම පියතුමන් ලෙස තේරී පත්වන විට එතුමා ගේ වයස අවුරුදු 65 කි. එතුමා "ජුවාම් පාවුළු" යන නම් දෙක සිය පාප් ධුරයට තෝරා ගත්තේ සිය පූර්වගාමීන් වූ 23 වන ජුවාම් සහ සවැනි පාවුළු යන සසුන් පියවරුන් දෙදෙනාට ගරු කිරීමක් ලෙස ය. නම් දෙකක් ගත ප්‍රථම පාප් වහන්සේ  ලෙස  ද එතුමා ඉතිහාසයට එක්  විය. 

නිරන්තරයෙන් සිනා පිරුණු මුව මඬලින් යුත් එතුමා "සිනාසෙන පාප්තුමා" යන විරුදයෙන් ජනතා ආදරය දිනා ගත්තේ ය. ලෝකයම කම්පනයට පත් කරමින් පාප්  ධුරයට පත් වී දින 33ක් ගත වී  එළඹුණු 1978 සැප්තැම්බර් 30 වන දා උදෑසන එතුමා වතිකානයේ අපෝස්තලික මාලිගාවේ  සිය කාමරයේ මිය ගොස් සිටිය දී හමුවිය. එතුමා සවර්ගස්ථ වූයේ හර්දයාබාධයකින් බව  වතිකානය නිවේදනය කළේ ය. එහෙත් එම හදිසි මරණයට පාදක  වූ හේතු ගැන තවමත් ලෝකය පුරා විවිධ මත පැතිර යමින් තිබේ.

2013 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට පත්වීමෙන් පසුව ලොව පුරා සසුන් නිරීක්ෂකයෝ එතුමා ගේ ශෛලිය සහ වැඩපිළිවෙල පළමුවන ජුවාම් පාවුළු පාප් වහන්සේ සමග සැසඳූහ. පළමුවැන් ජුවාම් පාවුළු පාප්තුමා සාමාන්‍ය ජනතාව ගේ අරගලය අවබෝධ කරගත් සසුන් නායකයකු වූ අතර විශ්වාසය ගැන ඉතා සරල බසින් උගන්වන්නටත් දේශනා කරන්නටත් විපුල හැකියාවෙන් යුත් පුදැදුරු නමක් විය. ඉතාලි ජනයා එතුමා හැඳින්වූයේ "පාපා ලුචියානි" යන පෙම්බර නමිනි. මේ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිදුකරමින් සිටින බොහොමයක් ප්‍රතිසංස්කරණ වලට මුල පිරුවේ එතුමා ය.

එතුමන් ගේ සාන්තුවර භාවයේ ක්‍රියාමාර්ගය ආරම්භ කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2017 දී එතුමන් "වන්දනීය" භාවයට එසවී ය.


Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය