මැයි මාසයේ ජපමාලයෙන් පසුව දේව අම්මා යැදීමට යාච්ඥා දෙකක් සුදොතුම් පියතුමාගෙන් ලොව පුරා කතෝලික පවුල් වලට: "මාත් එක්ක ජපමාලය යදින්න"

Pope urges families: "Pray rosary together during month of May; rediscover its spiritual beauty" - He provides two prayers to say after the Rosary




(2020 අප්‍රේල් 26)
එළඹෙන මැයි මාසය පුරා ජපමාලය යාච්ඥා කරන ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ලොවපුරා සිටින කතෝලික ජනතාව දිරිමත්  කරයි.  මේ සොඳුරු යැදුම යදිමින්, විශේෂයෙන්ම කොවිඩ් -19  වසංගතය අවසන් කරන්නැයි මරිය මෑණියන්ගේ මැදිහත්කමින් දෙවි  සමිඳුන්ගෙන් ඉල්ලන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  මැයි  මාසයේ ජපමාලය යාච්ඥා කිරීමෙන් පසුව දෙව් මවුන් යැදීම සඳහා එතුමා විශේෂ යාච්ඤා දෙකක් ද එතුමා ඉදිරිපත් කර තිබේ.


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මෙම ඉල්ලීම කරන්නේ ලොව පුරා කතෝලික ජනතාව වෙත ලියුමක් නිකුත් කරමිනි. දෙව්මව් බැතියට කැපකර ඇති සතියේ  දිනය වන සෙනසුරාදාවක් වූ අප්‍රේල් මස 25 වැනි දා එතුමන් විසින් මෙම ලියුමට අත්සන් තබා තිබේ.  සුවිශේෂක ශුද්ධ වූ මාර්කු තුමන් ගේ  මංගල්‍යයද මෙදිනට  යෙදී තිබීම මෙහි විශේෂත්වයකි.


“මැයි මාසය එළඹෙමින් තිබේ. භාග්‍යවන්ත කන්‍ය මරිය මෑණියන් වෙත කතෝලිකයන් සිය  ප්‍රේමයන් භක්තියත්  තීව්ර  ආකාරයෙන් පුද කරනු ලබන්නේ මේ මාසයේ යැ”යි  එතුමා එම ලියුම ආරම්භ කරමින් කියා සිටියි. “මේ මාසය පුරා කතෝලිකයෝ  පවුල් වශයෙන් එක්වී ජපමාලය උච්චාරණය කරති. කෝවිඩ් -19  වසංගතය හේතුවෙන්  පනවා ඇති සීමා හේතුවෙන් මෙම භක්තිය පවුල තුළ සිට විශේෂ ආකාරයෙන් සිදු කරමින්  එය වඩාත් අගය කිරීමට  මෙවර අවස්ථාව පෑදී තිබේ. ... මේ හේතුව නිසා නිවසේ සිට ජපමාලය යාච්ඥා කිරීමේ සුන්දරත්වය අලුතින් දකින්නට  සියළුදෙනා දිරිමත් කිරීමට මම කැමැත්තෙමි’ යි  සුදොතුම් පියතුමා එම  ලියුමෙහි සඳහන් කර තිබේ.


ජපමාල උච්චාරණය කිරීමෙන් පසුව ඔප්පු කිරීම සඳහා එතුමන් විසින් යෝජනා කර ඇති යාච්ඥා දෙක කොරෝනා වෛරස තුළ දේව මෑණියන් ගේ මධ්‍යස්ථකම උදක් ම ඉල්ලා සිටින යාච්ඥා දෙකකි. 


මරිය මෑණියන් “දුක් වේදනා තුළ  බලාපොරොත්තුවේ සහ ගැලවීමේ සලකුණක්” යැයි සුදොතුම් පියතුමා සිය ලියුම සමග අමුණා  ඇති පළමුවන යාච්ඥාවේ  සදහන් කරයි.  එම යැදුමේ එතුමා දේව මාතාවනට ආමන්ත්‍රණය කරන්නේ “රෝගීන්ගේ ආරෝග්‍ය” ලෙසයි. සියලු ජනතාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගැනීමට අවශ්‍ය ශක්තිය දෙන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටින දේ ඉටු කිරීමට උදව් කරන ලෙසද එම කෙටි යැදුමෙන් සුදොතුම් පියතුමා මරිය මෑණියන්ගෙන් ඉල්ලා සිටියි. කෙටි  යාඥාවක් වන මෙය අවසන් වන්නේ කතෝලික පවුල් තුළ  නිතර කියැවෙන “සුවිශුද්ධ වූ දේව  මෑනියන” (“Memorare”) නමැති යැදුමෙනි. 


සුදොතුම් පියතුමන් සකස්කර ඇති දෙවන යාච්ඥාව මඳක්  දිග යැදුමකි. “මුළු ලෝකයම  ශෝකයෙන් සහ දුක් වේදනාවලින් කාංසාවට ගොදුරු වී  ඇති මේ මොහොතේ  ලෝකයේ රැකවරණයේ උල්පත වන්නැයි” එතුමා මෙම යැදුමෙන් දේව මෑණියන්ගෙන් ඉල්ලා සිටියි. එසේ ම වසංගතයෙන් පීඩාවට පත් වූ සහ ඊට සම්බන්ධව සිටින සියල්ලන් වෙනුවෙන් යාච්ඥා කිරීමට කතෝලික ජනතාවට අවස්තාව් ලබා දීම  සඳහා මෙම යාච්ඥාව තුළ එම ජනතාව නම් වශයෙන් හඳුන්වා යාච්ඥා කරන ආකාරයෙන් රචනා  කර තිබේ. 


තමන් ද මැයි මාසය පුරා ජපමාලය කියා මෙම යාච්ඥා ඔප්පු කරන අතර තමන් සමග ආධ්‍යාත්මිකව ඒකාබද්ධ වී ඊට එක්වන ලෙස ද තමා වෙනුවෙන් දා යාච්ඥා කරන ලෙස ද සුදොතුම් පියතුමා සිය ලියුමෙන් ඉල්ලා සිටියි. 

ශ්‍රී ලාංකික කතෝලිකයන් මල් මාසය යනුවෙන්ද හඳුන්වන මැයි මාසය වෙනුවෙන් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම සුදොතුම් පියතුමා නිකුත් කළ එම ලිපියත් යාච්ඥා දෙකත්  සම්පූර්ණයෙන් මෙසේය:


ප්‍රැන්සිස් ශුද්ධෝත්තම සුදොතුම් පියතුමා නිකුත් කළ ලියුම: 



ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි,


මැයි මාසය ළඟා වෙමින් තිබේ. දේව  ජනතාව මේ මාසය පුරා  වඩා  වැඩි තීව්‍රතාවකින් යුතුව සිය ප්‍රේමයත්  භක්තියත් ශුද්ධ වූ  කන්‍ය මරිය මෑණියන්ට පුද කරති.  මේ මාසය තුළ  නිවසේදී ශුද්ධ වූ ජපමාලය ඔප්පු කිරීම සම්ප්‍රදායයි. ජපමාලයේ  අන්තර්ගත මෙම “පවුල්” කෝණය, ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින් දකිමින් වඩා වැඩියෙන් අගය කිරීමට වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා මෙවර අප යොමු කර තිබේ.


 මේ හේතුව නිසා මැයි මාසය තුළ ගෙදර සිට ජපමාලය යාච්ඥා කිරීමේ සෞන්දර්යය අලුතින්  අත්දකින්නට ඔබ සෑම දෙනෙකුම දිරිමත් කිරීමට මම කැමැත්තෙමි.  මෙය කණ්ඩායමක් වශයෙන් හෝ තනි තනිව හෝ සිදුකළ හැකිය; ඔබට ලැබෙන අවස්ථා අනුව මෙම ආකාර  දෙකෙන්ම උපරිම ඵල ලබා ගනිමින් යාච්ඤා කිරීම ගැන ඔබට තීරණය කළ හැකිය.  මෙය කිරීමේ රහස නම් සරල බවයි. ජපමාලයෙන් පසුව අනුගමනය කළ හැකි ආකෘති පිළිබඳව අන්තර්ජාලයෙන් ද ඔබට තොරතුරු සොයා ගත හැකි වනු ඇත.


ජපමාලයඋච්චාරණයකිරීමෙන් පසුව මරිය මෑණියන් යාච්ඤා කළ හැකි යැදුම් දෙකක් ද ඔබට ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමිඔබ සමග ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙමින් මම ද මැයි මාසය පුරා ජපමාලයත් මෙම යාච්ඤා දෙකක් ඔප්පු කරන්නෙමි.   ඔබගේ පහසුව සඳහා එම යාච්ඥා දෙක  මේ ලියුම සමග මම ඇතුලත් කරමි.


ප්‍රිය  සහෝදර සහෝදරියනි,  අපගේ මෑණියන් වන මරියතුමියගේ හදවතින් ක්‍රිස්තු සමිඳුන්ගේ වත මඬල භාවනා කිරීම, ආධ්‍යාත්මික පවුලක් ලෙස අප වඩාත් සමගි කොට  මේ පරීක්ෂණ කාලය ජයග්‍රහණය කිරීම සඳහා  අපට උදවු වනු ඇත.  මම ඔබ සියලු දෙනාම, විශේෂයෙන්ම වඩාත් දුක්විඳින ජනතාව මාගේ යාච්ඥාවල  තබා ගනිමි. මා වෙනුවෙන් ද යාච්ඥා කරන ලෙස මම ඔබෙන් ද  කාරුණිකව ඉල්ලා සිටිමි.  


ස්තුතියි.
මහත් සෙනෙහසින් යුතුව මම මගේ ආශිර්වාදය ඔබ වෙත එවමි.
රෝමය,   සාන්ත ජොන් ලැතෙරන්  බැසිලිකාව,  2020 අප්‍රේල් 25, 
සුවිශේෂක ශු.  මාර්කු  තුමන්ගේ මංගල්‍ය දින. 

පළමුවන යාච්ඥාව 





පෙම්බර  මරිය මෑනියනි,
ඔබවහන්සේ  ගැලවීමේ සහ බලාපොරොත්තුවේ  සලකුණක් ලෙස
අපගේ ගමන නොකඩවා දීප්තිමත්  කරන සේක.
රෝගීන්ගේ  ආරෝග්‍යයෙනි, 
කුරුසිය පාමුල ජේසු සමිඳුන් ගේ දුක් වේදනාව හා සම්බන්ධ වෙමින් 
සිය  විශ්වාසය නොපසුබටව රැකගත් ඔබට 
අපි අපවම භාර කරමු.


“රෝමානු ජනතාවගේ ආරක්ෂිකාවෙනි”, 
ඔබ අපගේ අවශ්‍යතාවන් දන්නීය.
මෙි නිසා ගලීලයේ කානා නුවර දී මෙන් 
මෙම පරීක්ෂනයේ කාලයෙන් පසුව
ප්‍රීතියත් ජයෝත්සවයත් අපට ආපසු ලැබෙන ලෙස
ඔබ අපගේ අවශ්‍යතාවන් සලසා දෙන බව අපි දනිමු. 

දිව්‍ය ප්‍රේමයේ මාතාවනි,
දෙවි පියාණන් ගේ කැමැත්තට  එකඟ වීමටත් 
ජේසු සමිඳුන් අපගෙන් ඉල්ලන දේ ඉටු කිරීමටත් අපට උදව් වුව මැනව. 
මන්ද උන්වහන්සේ අපගේ දුක් වේදනා තමන් පිට පවරා ගෙන 
අපගේ දුක් දොම්නස් බර දරා ගත් සේක. 
එසේ කළේ,  කුරුසිය  ඔස්සේ, උත්ථානයේ  ප්‍රීතිය වෙත අප රැගෙන යනු පිණිස ය. 
ආමෙන්. 


සුවිශුද්ධ වූ දේව  මෑනියනි, අපි ඔබ ගේ රැකවරණය කරා දිව එමු. 
අහෝ මහිමෝත්තම  වූ ද භාග්‍යවන්ත වූ ද  කන්‍යාවෙනි,
අපේ උවමනා වලදී ප කරන යාච්ඥා ප්‍රතික්ෂේප නොකර 
සියලු ආන්තරා වලින් අප ගලවා වදාළ මැනව.  ආමෙන්. 

දෙවන යාච්ඥාව




“සුවිශුද්ධ වූ දේව මෑනියනි, අපි ඔබගේ රැකවරණය කරා දිව එමු” අපගේ අම්මා වන සුවිශුද්ධ වූ දේව මෑනියනි, මුළු ලෝකයම දුක් වේදනාවලටත් කාංසාවටත් ගොදුරුවී ඇති මේ ඛේදජනක අවස්ථාවේ, අපි ඔබ වෙත දිව එමින් ඔබගේ රැකවරණය ද සරණය ද බලාපොරොත්තුවෙන් සිටිමු. කන්‍ය මරියනි, කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඔබ ගේ කරුණාබර නෙත් අප වෙත යොමු කළ මැනව. තමන් ප්‍රේම කළ අය මියයාමත්, ඇතැම් විට, ඒ වේදනාව වැඩිකරමින්, ඔවුන් මිහිදන් කළ ආකාරය ගැන දුක් වන්නාවූ ද සිත් කැළඹී සිටින්නා වූ ද සහෝදර සහෝදරියන් සනසා ලුව මැනව. තමන් ආදරය කරන අය රෝගී වීම නිසාත්, එසේ වුවත්, වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් වෙත සමීප වීමට නොහැකි වීමත් හේතුවෙන් බලවත් සැලකිල්ලෙන් සිටින්නා වූ අය වෙත සමීප වනු මැනව. අනාගතය පිළිබඳවත් ආර්ථිකය සහ රැකියා පිලිබඳවත් ඇති අවිනිශ්චිතාව නිසා ව්‍යාකුල භාවයට පත්ව සිටින්නාවූ අය, බලාපොරොත්තුවෙන් පුරවා ලුව මැනව. දේව මෑණියන් වන අපගේ මව්නි, මේ බලවත් වේදනාව පහ වී ගොස් සිත්පුබුදුකරමින් බලාපොරොත්තුවත් සාමයත් උදා වන ලෙස කරුණාවේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ අප උදෙසා යාච්ඤා කළ මැනව. රෝගී වූවන් සහ රෝගය හේතුවෙන් මියගිය අයගේ පවුල් සනසා ඔවුන්ගේ හදවත් විශ්වාසයටත් ඇදහිල්ලටත් විවෘත කරන ලෙස, කානා නුවර දී කළාක් මෙන්, ඔබගේ දිව්‍ය පුතණුවන් ඉදිරියේ යාච්ඤා කල මැනව. මෙම හදිසි තත්ත්වය තුළ සෙසු ජනතාව ගී ජීවිත ගලවා ගැනීම සඳහා තම ජීවිත පරදුවට තබන වෛද්‍ය වරුන්, හෙද හෙදියන්, සුව සේවා සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් ඇතුළු ඉදිරි පෙරමුණේ සිටින්නන් ආරක්ෂා කළ මැනව. ඔවුන්ගේ වීර උත්සාහයට ඔබගේ සහය දුන මැනව; ඔවුනට ඔබගේ ශක්තිය, පරිත්‍යාගශීලිවබ සහ අඛණ්ඩ ශරීරසනීපය ලබා දුන මැනව. දිවා රෑ නොබලා රෝගීනට උදව් වන අයටද, ස්වකීය එඬේරික සැලකිල්ල සහ සුපුවත කෙරෙහි ඇති විශ්වාසවන්ත කම තුළ සියල්ලන්ට උපකාර කිරීමට ප්‍රයත්න දරන පූජකවරුන්ට ද ළං ව සිටිනු මැනව. භාග්‍යවන්ත කන්‍යාවෙනි, විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවී සිටින සහෝදර සහෝදරියන්ගේ සිත් ආලෝකවත් කරමින්, මෙම වෛරස ජය ගැනීම සඳහා ඵලදායක විසඳුමක් සොයා ගැනීමට ඔවුන් මෙහෙයවනු මැනව. අපගේ ජාතික නායකයන්ට සහය වනු මැනව. ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා හිඟ වූ ජනතාවට ආධාර කිරීමටත් දූරදර්ශී බව සහ සහයෝගිතාව මගින් අනුප්‍රාණය ලබන සමාජ සහ ආර්ථික විසඳුම් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රඥාව, උනන්දුව සහ පරිත්‍යාගශීලී බවත් ඔවුනට ලබා දුන මැනව. අති ශුද්ධ වූ මරියනි, යුද අවි නිෂ්පාදනය සහ එක්රැස් කිරීම සඳහා ආයෝජනය කරනු ලබන අතිවිශාල ධනස්කන්ධය, ඒ වෙනුවට, මෙවැනි ඛේදජනක දේ අනාගතයේදී යළි ඇතිවීම වැළැක්වීම සඳහා වූ ඵලදායි පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැය කිරීමට හැකි වන පරිදි, අපගේ හෘදය සාක්ෂි කළඹනු කළ මැනව. සෙනෙහෙබර මව්නි, අප සියල්ලන් එක් විශිෂ්ට පවුලක සාමාජිකයන් බව අවබෝධ කර ගැනීමටත්, අප එක්සත් කරන බැඳීම හඳුනාගැනීමටත් අපට උදව් වුව මැනව. මේ අනුව, සහෝදරත්වයේ සහ සහයෝගිතාවේ ජීවගුණය තුළ දුප්පත්කමේ සහ අවශ්‍යතාවයේ අප්‍රමාණවූ අවස්ථා මුලිනුපුටා දැමීමට අපට හැකිවනු ඇත. විශ්වාසයෙන් අප ශක්තිමත් කොට, සේවාව තුළ නොපසුබටව අප ඉදිරියට ගෙන යමින් යාච්ඥාව තුළ නොකඩවා පවතින්නට අපට උදව් වුව මැනව. දුක් වේදනාවට, ශෝකයට සහ පීඩාවට පත් වූවන්ගේ සැනසීම වන මරියනි, පීඩාවට පත්වූ ඔබගේ දරුවන් වැළඳගෙන,දෙවියන් වහන්සේ ගේ සර්ව බලති හස්ත දිගුකොට මෙම බියකරු වසංගතයෙන් අප නිදහස් කර, සන්සුන් ලෙස සාමාන්‍ය ආකාරයෙන් ජීවිතය යළි ආරම්භ කිරීමට හැකි වන පිණිස යාච්ඤා කළ මැනව, අහෝ අති කරුණාබර වූ ද, අති ප්‍රේමනීය වූ ද අති මධුර වූ ද කන්‍ය මරියනි, ගැලවීමේ සහ බලාපොරොත්තුවේ සලකුණක් ලෙස අපගේ ගමන දීප්තිමත් කරන ඔබට, අපි අපව භාර කරන්නෙමු. ආමෙන්.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය