"වසංගතයෙන් යළි නැගිටිද්දී වඩා දරුණු වෛරසකට මුහුණ දීමේ අවදානමක්" සුදොතුම් පියතුමා දේව දයාවේ ඉරිදා අනතුරු අඟවයි - "තෝමස් තුමන් සමග අපිත් නැගිටිමු."

"Indifference to the poor can be a ‘worse virus’ after pandemic" Pope warns - "Let us rise with Thomas"


(2020 අප්‍රේල් 20)
"පසුගිය ඉරිදා අප ජයෝත්සවයෙන් සැමැරුවේ ජේසු සමිඳුන් ගේ උත්ථානය යි. අද අප දකින්නේ උන්වහන්සේ ගේ ශ්‍රාවකයා ගේ උත්ථානය යි."
දේව දයාවේ ඉරිදාව සමරමින් අද  රෝමයේ දී දිව්‍ය  පූජාව පැවැත්වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය ආරම්භ කළේ එසේ ය.

"ජේසු සමිඳුන් ගේ උත්ථානයෙන් සතියකට පසුවත් උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් බියෙන් ඇකිලී දොරගුල් ලාගෙන සැඟවී සිටියා. ඔවුන් ගේ බයවීමට ජේසු  සමිඳුන් ගේ ප්‍රතිචාරය වූයේ 'ඔබට සාමය වේවා!' යන්නයි. උන්වහන්සේ අලුතින් පටන්  ගන්නවා," යි දේව දයාවේ ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කීවේ ය.

මාසයක පමණ කාලයක් වතිකානය තුළ ම දිව්‍ය පූජා සහ වෙනත් මෙහෙයන් සිදු කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දේව දයාවේ ඉරිදා දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ ස්ප්‍රීතු සාන්තු දෙව්මැදුරේ දී ය. මේ දෙව්මැදුර වසර 2000 අප්‍රේල් 19 වන දින ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් දේව දයාවට කැප කරනු ලැබිණි. එසේ කරන ලද්දේ ජේසු සමිඳුන් විසින් අපරිමිත වූ දේව දයාවේ පණිවිඩය දුන්  ශු. පවුස්තිනා තුමිය ශුද්ධවරියක ලෙස ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙනි. ශු. පවුස්තිනා තුමිය දේව දයාවේ පින්තුරය වෙත සිය අත යොමු කරගෙන සිටින ප්‍රතිමාවක් සහිත මෙම දෙව්මැදුර වතිකානයේ පීතර චතුරශ්‍රයේ සිට මීටර 200ක් පමණ ඈතින් පිහිටා තිබේ.  ඉතාලිය පුරා තවමත් බලපැවැත්වෙන කෝවිඩ් 19 ආශ්‍රිත සීමා නිසා ජනතාව ඊට සහභාගී කරගත්තේ නැත.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  සිය ධර්ම දේශනයේ දී ලෝකයේ සෑම ප්‍රදේශයකම සිට සන්නිවේදන තාක්ෂනය ඔස්සේ ඊට සහභාගී වූ සියලු ජනතාව ගේ අවධානය ඉරිදා දිව්‍ය පූජාවේ දී කියවන ලද ජුවාම් තුමා ගේ  සුබ අස්න වෙත   යොමු කලේ ය.
"දේව දයාවේ මංගල්‍යය පවත්වනු ලබන අද දවසේ සුන්දරම පණිවිඩය පැමිණෙන්නේ, ප්‍රමාද  වී පැමිණි ශ්‍රාවකයා වන, තෝමස් අපෝස්තුලු තුමා ගෙන්. ප්‍රථම වතාවේ දර්ශනය වූ විට එහි නොසිටි එකම තැනැත්තා තෝමස් තුමා යි. ජේසු සමිඳුන් තෝමස් තුමා එහි සිටි අවස්ථාවේ යළිත් සිය ශ්‍රාවකයන්ට දර්ශනය වෙනවා. එසේ කොට තමන් කුරුසියේ තබා ඇණ ගසන ලද තුවාල ස්පර්ශ කරන්නට තෝමස් තුමන්ට ඉඩ දෙනවා," යි එතුමා විස්තර කළේය.

"දයාව, ප්‍රමාද වන තැනැත්තන් අත්හැර දමන්නේ නැහැ,"යි එතුමා අවධාරණය කළේය. 
"සෙසු ගෝලයන්ට දර්ශනය වූ තැනටම පැමිණි ජේසු සමිඳුන්,  තෝමස් තුමන් ගේ අවිශ්වාසය ඉදිරියේ, යළිත් අලුතින් ආරම්භ කරනවා."

"අප වැටෙන විට අපට යළි නැගටීම සඳහා සිය අත දිගු කිරීමෙන් දෙවියන් වහන්සේ කිසි දා වෙහෙසට පත් වන්නේ  නැහැ. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ ආරාවුලක් බේරාගන්නට බලා සිටින ස්වාමියකු දෙස බලන ආකාරයෙන් උන්වහන්සේ දෙස බලන්නට නොවේ; නිරන්තරයෙන් අපව නැගිටුවන පියෙකු මෙන් උන්වහන්සේ  දෙස බැලීමටයි"

"තෝමස් තුමා ජේසු සමිඳුන් ගේ තුවාල ස්පර්ශ කළ  මොහොතේ එතුමා අනෙක් ශ්‍රාවයන් ද පසු කරගෙන ගියා. ඒ මොහොතේ එතුමා විශ්වාස කරන්නට පටන් ගත්තේ  ජේසු සමිඳුන් ගේ උත්ථානය කෙරෙහි පමණක් නොවේ; දෙවියන් වහන්සේ ගේ සීමා රහිත ප්‍රේමය ගැනත් විශ්වාස කරන්නට පටන් ගත්තා."

"තෝමස් තුමා ගේ තුවාල වූ මනුෂ්‍යත්වය ජේසු ගේ තුවාල වලට ඇතුළු වූ සැනින් එතුමා සිය මරණයෙන් උත්ථාන වුනා," යි සුදොතුම් පියතුමා කීවේ ය.  

ශු. ෆවුස්තිනා තුමිය ගේ එක් දර්ශනයක දී "ඔබගේ වැටීම්, වැරදීම් මට දෙන්නැ"යි දයාවේ ජේසු සමිඳුන් එතුමිය ගෙන් ඉල්ලා සිටි බව සුදොතුම් පියතුමා සිහිපත් කළේ ය.
"අද ඔබගෙන් මෙසේ අසන්න: මම මා තුළ තවමත් තබාගෙන තිබෙන දෙයක් තිබෙනවා ද? පාපයක්, අතීතයේ සිට ඉතිරි වී තිබෙන පසුතැවිල්ලක්, මා තුළ තිබෙන තුවාලයක්, යම් කෙනෙකුට විරුද්ධ අමනාපයක් හෝ එදිරිවාදී කමක්, එසේත් නැති නම් යම් තැනැත්තෙකු පිලිබඳ අදහසක්, ඇතැම් විට සත්‍ය නොවන එහෙත් මට අත්හරින්නට බැරි අදහසක්...? සිය දයා කරුණාව අත්දැකීමට අපට උදව් වීම සඳහා අපගේ වැරැදීම්, අසාර්ථකත්වයන්, වැටීම් උන්වහන්සේට ඔප්පු කරන තෙක් සමිඳුන් බලා සිටිනවා," යි එතුමා පැහැදිලි කළේය.

ලෝකය දැන් මුහුණ දෙන වසංගත තත්වය ගැන කතා කළ සුදොතුම් පියතුමා අපෝස්තුලු වරුන් එදා මුහුණ  දී සිටි තත්ත්වය සමග එය සංසන්දනය කලේ ය. ජේසු සමිඳුන් ජුදෙව්වන්ට පාවා දුන් රාත්‍රියේ උන්වහන්සේ අත්හැර  පළායාම අපෝස්තුලු වරුන් ගේ දුර්වල මොහොත බව එතුමා පැහැදිලි කලේ ය. එසේම මේ කොරෝනා අර්බුදය තුළ මනුෂ්‍යත්වය අපගේ දුර්වල මොහොතට මුහුණ දෙන බව එතුමා කීවේ ය.
"එම දුර්වල බවට ඔබ්බෙන් යන මැඬලිය නොහැකි සුන්දරත්වයක් දකින සමිඳුන් අපට අවශ්‍යයි. අපගේ දුර්වල බව තුළ අප කෙතරම් වෛන්නේ දැයි උන්වහන්සේ සමග අපට සොයාගත හැකි යි."

ප්‍රථම කිතුනු සංඝ දයාව ජීවත් කළා 

ප්‍රථම කිතුනු සංඝය දයාව ලැබූ අතර ඔවුන් එම දයාව ජීවත් කල බව ද ක්‍රියා පොතෙන් ගත් පළමුවැනි කියවීම විදහා දක්වමින් සුදොතුම් පියතුමා පෙන්වා  දුන්නේ ය.
"විශ්වාස කල සියල්ලෝ එකට ජීවත් වූහ. සියල්ල පොදුවේ තබා ගත්හ. ඔව්හු තමන් සතු සියල්ල විකුණා එකිනෙකා  ගේ අවශ්‍යතාව අනුව එකිනෙකා අතරේ ඒවා බෙදා ගත්හ" යි එම  කියවීම එතුමා සිහිපත් කලේ ය.

"මෙය කිසියම් න්‍යායක් නොවේ. මේ ක්‍රිස්තු ධර්මය යි" යි එතුමා අවධාරණය කළේය.

ප්‍රථම ම කිතුනු සංඝයේ පසුපසට වූ එකම තැනැත්තා තෝමස් තුමා පමණකි. "එහෙත් සෙසු පිරිස එතුමා එනතෙක් සිටියා. ජේසු සමිඳුන් යළි දර්ශනය වනතෙක් එතුමා සමග සිටියා. ..එහෙත් අද ලෝකය තුළ සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය යි. මානව වර්ගයේ ඉතා ටික දෙනෙක් ඉදිරියට ගොස් තිබෙන අතර ඉතිරි පිරිස පසු බා තිබෙනවා.. මේ ගැන කතා කරන විට බොහෝ දෙනෙක් කියන්නේ පසු බාන පිරිස පිලිබඳ වගකීම තමන්ට භාරගත නොහැකි බවයි. ..එහෙත් අප ද දයාව ජීවත් කිරීම දයාවේ සමිඳාණන්  බලාපොරොත්තු වෙනවා.." යි එතුමා කීවේ ය.

වඩාත් දරුණු වෛරසක් පැමිණිය හැකියි 

කෝවිඩ්-19 වසංගතය දුප්පතුන් සහ දුක් විඳින්නන් වෙත දයාව දැක්වීමට අවස්ථාවක් පාදා දෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

මෙම අර්බුදයෙන් පසු ඉතා සෙමින්, දුෂ්කර යළි නැගිටීමක් වෙත යාමට ලෝකය සූදානම් වෙයි.   එහෙත් අප ඉදිරියට යන විට පසුබාන පිරිස අපට අමතක වනු ඇති ද යන අනතුර අප ඉදිරියේ තිබෙනවා. මෙහි අනතුර නම්,  වඩාත් දරුණු වෛරසකින් අපට පහර එල්ල විය හැකි බවයි."

"එම වෛරස නම් ආත්මාර්ථකාමී උදාසීනත්වය යි. මේ ආකල්පය පැතිර යන්නේ 'මට වඩාහොඳ නම්, ජීවිතය වඩා යහපත්; මට කදිම නම්, සියල්ල කදිමයි' යන සිතිවිල්ල නිසයි," යි එතුමා පෙන්වා දුන්නේ ය. 

"එතනින් පටන් ගන්නා එය, එක්කෙනෙකු වෙනුවට වෙනත් කෙනෙකු තෝරා ගැනීමෙන්, දුප්පතුන් නොසලකා හැරීමෙන්, පසු බාන ප්‍රමාද වන පිරිස ප්‍රගතියේ පුදසුන මත පූජා කිරීමෙන් අවසන් වෙයි," යි එතුමා පැහැදිලි කලේ ය.

"එහෙත් මෙම වසංගතය අපට අවබෝධ කර දෙන වැදගත් කරුනක් තිබේ. එනම්, දුක් විඳින ජනතාව අතර භේදයක් හෝ දේශ සීමා හෝ  නොමැති බව යි. අප සියලු දෙනාම දුර්වලය; සියලු දෙනාම සමාන ය; සියලු දෙනා ම වටින්නේ ය යන කාරණය යි." යි එතුමා අවධාරණය කලේ ය.

"එබැවින්, අප වටා සිදු වන දේ අප සලිත කිරීමට හේතු වේවා!  අසමානතා මුලිනුපුටා දැමීමටත්, සමස්ත මානව පවුලේ සුව සෙත යටපත් කරන අසාධාරණ කම් සුවපත් කිරීමටත් කාලය පැමිණ තිබේ" යි ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා  පෙන්වා දුන්නේ ය.
 



 





Comments

  1. මේ පාප් මත, ශ්‍රී ලංකාවේ කිතුනුවන් අතරට, සිය භාෂා දෙකෙන් යැවීමේ වැඩපිළිවෙලක් ඕනෑ. කෙනෙකු ලෙස අපත් ඉදිරිපත් වෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය