"හුදෙකලා වීම සහ තනි වීම ජයගත හැක්කේ 'ආදරයේ නිර්මාණශීලීත්වයෙන්'"- 'අසාමාන්‍ය' ශුද්ධ වූ සතිය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වීඩියෝ පණිවිඩය: "මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු" (වීඩියෝ)

"Creativity of love can overcome isolation" - Holy Father's vedio message for the 'unusual Holy Week ' 


(2020 අප්‍රේල් 04)
කෝවිඩ්-19 වසංගතය මෙන් ම එම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන හුදෙකලා වීම සහ තනි වීම ජයගත හැක්කේ "ආදරයේ නිර්මාණශීලීත්වයෙන්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. අසල්වාසියේ සිටින අවශ්‍යතාවයෙන් සිටින තැනැත්තන්ට උදව් උපකාර කිරීම. බොහෝසෙයින් තනි වී හුදෙකලා වී සිටින තැනැත්තන්ව අපි සොයා ගෙන ඔවුන් සැනසීම, ලෝකය පුරා දුෂ්කරතාවලට මුහුණ දී සිටින සියල්ලන් වෙනුවෙන් යාච්ඥා කිරීම වැනි දයාවේ ක්‍රියා මගින් එය කළ හැකි බව එතුමා පෙන්වා දෙයි. ඉක්මනින් ම අප සියලු දෙනා සියලු අයහපතින් නිදහස් කරනු පිණිස තමා දෙවිඳුන් යදින බව ද එතුමා කියා සිටියි.

එතුමා මේ සිතිවිලි සහ ප්‍රාර්ථනා ප්‍රකාශ කරන්නේ ශුද්ධ වූ  සතිය සඳහා සිය  වීඩියෝ පණිවිඩය නිකුත් කරමිනි. 

ශුද්ධ වූ සතිය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සම්පූර්ණ වීඩියෝ පණිවිඩය මෙසේ ය:



" ප්‍රිය මිතුරනි, ඔබට සුබ සැන්දෑවක් වේවා!

සාමාන්‍ය  ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් ඔබගේ නිවෙස් වලට ඇතුළු වීමට මේ සැන්දෑවේ මට අවස්ථාව ලැබී තිබෙනවා. මේ කටුක සහ දුක්බර කාලසීමාවේ සුළු මොහොතක්  ඔබ සමග කතා බහ කරන්නට මා කැමැතියි.

වසංගතය බෝවීම වැලැක්වීම සඳහා ඔබ ඔබ ඔබේ පවුල් තුළ ගත කරන ජීවිතය මට මගේ සිතේ මවා ගන්නට පුළුවන්. තම පාසල් වලට යාමට හෝ ගෙදරින් පිටතට ගොස් සිය ජීවිතය ගත කිරීමට නොහැකිව සිටින ළමයින් ගේත් යෞවනන් ගේත් ප්‍රාණවත් බව ගැන මා කල්පනා කරනවා. සියලුම පවුල් මා මගේ හදවත තුළ තබාගෙන සිටිනවා: විශේෂයෙන් ම තමන් ආදරය කරන කෙනෙකු රෝගී වූ හෝ කොරෝනා වෛරස හෝ වෙනත් හේතුවක් නිසා අවාසනාවන්ත ලෙස සංවේගයට පත්ව සිටින පවුල් මගේ හදවතේ සිටිනවා. තනි වූ, හුදෙකලා වූ ජනතාව ගැනත්, මේ අවස්ථාවට මුහුණ දීම දුෂ්කර වී ඇති අය ගැනත් මා මේ දිනවල නිතරම සිතනවා. සියල්ලන්ට වඩා මා මේ දිනවල, මගේ සිතට ඉතා සමීප,  වියපත් සහෝදර සහෝදරියන් ගැන සිතනවා.

කොරෝනා වෛරසෙන් රෝගී වූ අයත්, රෝහල් වල සිටින ජනතාවත් මට අමතක කළ නොහැකියි. මේ වසංගතයට ප්‍රතිකාර කිරීම සඳහා තම ජීවිතය පවා පරදුවට තබන්නන් මෙන් ම සමාජයට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහතික කිරීමට වැඩකරමින් සිටින තැනැත්තන් ගේ ත්‍යාගශීලී බව මා දන්නවා. විරුවන් රාශියක්, සෑම පැයක ම, සෑම දිනකම!

මේ මොහොතේ මුදල් දුෂ්කරතාවයේ සන්ධිස්ථානයකට පැමිණ, සිය ජීවනෝපායත් ආනාගතයත් ගැන කනස්සල්ලෙන් කී දෙනෙක් ළතැවිල්ලෙන් සිටිනවා දැයි මට සිහිපත් වෙනවා. බන්ධනාගාර රැඳවියන් වෙතත් මගේ සිතිවිලි දිව යනවා. ඔවුන් ගැන මෙන් ම ඔවුන් ආදරය කරන තැනැත්තන්ටත් රෝගය වැලඳෙනු ඇත යන සැකය ඔවුන් ගේ  බිය සංකීර්ණ කර තිබෙනවා. තමන්ට ආරක්ෂාව සලසා ගත හැකි ගෙදරක් නොමැතිව සිටින නිවාස රහිත ජනතාව ගැන මා සිතනවා.

අප සෑම කෙනෙකුට ම මෙය දුෂ්කර, කටුක කාලයක්. බොහෝ දෙනෙකුට ඉතා කටුකයි. සුදොතුම් පියතුමා මෙය දන්නවා. මේ නිසා, සියල්ලන් වෙත තමා ගේ  සමීප බවත්, සෙනෙහසත් මේ වදන් වලින් ප්‍රකාශ කිරීමට සුදොතුම් පියතුමාට අවශ්‍යයි.

අපට හැකි නම්, මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි උත්සාහ කරමු. අපි පරිත්‍යාගශීලී වෙමු; අපි අපේ අසල්වාසියේ සිටින අවශ්‍යතාවයෙන් සිටින තැනැත්තන්ට උදව් උපකාර කරමු; බොහෝසෙයින් තනි වී හුදෙකලා වී සිටින තැනැත්තන්ව අපි සොයා ගනිමු; දුරකතනයෙන් හෝ සමාජ ජාල මගින් මෙය  කරන්නට අපට පුළුවන්; ඉතාලියේ සහ ලෝකය පුරා දුෂ්කරතාවලට මුහුණ දී සිටින සියල්ලන් වෙනුවෙන් අපි සමිඳුන්ට යාච්ඥා කරමු. අප හුදෙකලා වී සිටියත්, ප්‍රේමයේ නිර්මාණශීලීත්වය සමග බොහෝ දුර ගමන් කරන්නට සිතිවිලිවලට සහ සිතට පුළුවන්. අපට අද අවශ්‍ය වන්නේ මෙයයි: ප්‍රේමයේ  නිර්මාණශීලීත්වය. අපට අද අවශ්‍ය වන්නේ මෙයයි: ප්‍රේමයේ  නිර්මාණශීලීත්වය.

සුපුවත් පණිවිඩය, එනම්, දෙවියන් වහන්සේ ගේ සීමා රහිත ප්‍රේමය සාරාංශ ගත කොට ප්‍රකට කෙරෙන  ශුද්ධ වූ සතිය අප මෙවර සමරන්නේ ඇත්තෙන් ම අසාමාන්‍ය ආකාරයට යි. ඒ නිසා අපගේ නිහඬ නගරවල පාස්කු සුපුවත දෝංකාර  දෙනු ඇති. ශුද්ධ වූ පාවුළු තුමා මෙසේ පවසනවා: 'සියල්ලන් උදෙසා උන්වහන්සේ ජීවිතය පූජා කළේ, ජීවත් වන සියල්ලන් තවදුරටත් තමන් වෙනුවෙන් නොව, තමන් වෙනුවෙන් ජීවිතය පූජා කර යළිත් උත්ථාන කරනු ලැබූ තැනැන්වහන්සේ වෙනුවෙන් ජීවත් වනු පිණිසය." (2 කොරින්ති 5:15).

උත්ථාන වූ ජේසු සමිඳුන් තුළ ජීවිතය විසින් මරණය පාරාජය කරනු ලැබුවා. මේ පාස්කු ඇදැහිල්ල අපගේ බලාපොරොත්තුව පෝෂණය කරනවා. මේ සන්ධ්‍යාවේ එය ඔබ සමග බෙදා ගන්නට මම කැමතියි. එය යහපත් කාලයක් පිලිබඳ බලාපොරොත්තුවයි;  නපුරෙන් සහ මේ වසංගතයෙන් අවසානයේ නිදහස් වී අප වඩා යහපත් වන යහපත් කාලයක් පිලිබඳ බලාපොරොත්තුවයි. එය බලාපොරොත්තුවක්: බලාපොරොත්තුව අප අධෛර්යයට පත් කරන්නේ නැහැ; එය මායාවක් නොවේ. එය බලාපොරොත්තුවක්.

මේ දිනවල අපට හැකියාව තිබෙනවා, ප්‍රේමයෙන් සහ ඉවසිල්ලෙන් එකිනෙකා අසල සිට වඩා යහපත් කාලයක් සඳහා සුදානම් වීමට. 

ඔබේ ගෙරට ඇතුළු වීමට මට අවසර දුන්නාට ඔබට ස්තුතියි.

දුකින් වේදනාවෙන් පසුවන්නන්ට, ළමයින්ට සහ වියපත් තැනැත්තන්ට ප්‍රේමයේ, කරුණාවේ සහ මෘදු බවේ ඉරියව්වකින් සංග්‍රහ කරන්න. සුදොතුම් පියතුමා ඔවුන් අසල සිටින බව කියන්න; ඒ වගේ ම, දෙවියන් වහන්සේ ඉක්මනින් ම අප සියලු දෙනා සියලු අයහපතින් ගලවන පිණිස එතුමා ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන බව කියන්න.

ඒ වගේ ම ඔබත් මා වෙනුවෙන් යාච්ඥා කරන්න. 

හොඳ ආහාර වේලක් ගන්න!

යළිත් ඉක්මනින් හමුවෙමු! "

 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය