රෝමයේ අනුනායක කාදිනල් හිමි කෝවිඩ්-19 ආසාදිත වෙයි

Cardinal Vicar of Rome tests positive for Corona virus


(2020 අප්‍රේල් 1)
රෝම පදවියේ අනුනායක ඇන්ජෙලෝ ඩි ඩොනාටිස් කාදිනල් හිමිපාණන්ට කෝවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි වතිකානය අද නිල වශයෙන් නිවේදනය කළේය. එතුමා මේ වන විට රෝමයේ ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.

රෝම  පදවියේ රදගුරු තුමන් වන පාප් වහන්සේ වෙනුවෙන් එම පදවියේ පරිපාලන සහ දහම් සේවා කටයුතු ඉටු කරන්නේ  රෝමයේ අනුනායක කාදිනල් තුමා ය. 

ඩි ඩොනාටිස් කාදිනල් හිමියන්ට උණ සහ සාමාන්‍ය රෝග ලක්ෂණ පවතින බව වතිකානය කියා සිටියේ ය. රෝග ලක්ෂණ පහළ වන්නට කළින් ඉතාලි රජයේ උපදෙස්  අනුව යමින් එතුමා වතිකානයේ  ලැතෙරාන මාලිගාවේ හමුවීම් අතිශයින් සීමා කර තිබුණේ ය. කාර්ය මණ්ඩල හමුවීම් ද අඩු කර තිබිණි. එතුමා වතිකානයට ද නොපැමිණි බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග සම්බන්ධ වූයේ දූරකතනයෙන් බවත් වතිකානය සඳහන් කළේ ය. රෝග වැළක්වීමේ පියවරක් වශයෙන් පසුගිය කාල සීමාව තුළ එතුමන් සමග සමීපව සිටි පිරිස හුදෙකලා කරනු ලබා සිටිති.

"මාත් මේ පරීක්ෂාවට මුහුණ දෙනවා. එහෙත් මා පූර්ණ සිත් සාමයකිනුත් ආත්ම විශ්වාසයකිනුත් සිටිනවා. රෝමයේ විශ්වාසිකයිනි, මා ස්වාමීන් වහන්සේටත් ඔබ සියල්ලන් ගේ යාච්ඥාවලටත් මා භාර කරනවා" එතුමා රෝහලේ සිට ප්‍රකාශ කළේ ය.

"මේ මොහොත, මේ වන විට දුක් විඳිමින් සිටින සහෝදර සහෝදරියන් අති මහත් සංඛ්‍යාවේ දුක් වේදනා බෙදා ගැනීමට  දිව්‍ය සංරක්ෂණයෙන් මා ලැබු අවස්ථාවක් වශයෙන් පිළිගෙන මා ජීවත් වෙනවා. ඒ සියල්ලන් වෙනුවෙන් මම මගේ යැදුම් ඔප්පු කරනවා" යි ද එතුමා සඳහන් කළේය.

සුදොතුම් පියතුමාට වෛරස නැහැ

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට වෛරස නොමැති බව ද පරීක්ෂණයෙන් සනාථ  වී ඇතැයි වතිකානය ප්‍රකාශ කළේය. එසේ ම එතුමා ගේ සමීපතමයන්ට ද එය ආසාදනය වී නොමැති බව එම නිවේදනයේ සඳහන් විය.

වතිකාන රාජ්‍ය සීමාව තුළ සිටින 170 දෙනෙක් එම පරීක්ෂණයට ලක් කෙරිණ. ඒ අතරින් සය දෙනෙකු වෛරසෙන් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අතරින් එක් අයෙකු සුදොතුම් පියතුමා වාසය කරන සාන්තා මාර්තා තානායමේ නිවැසියෙකි. "එහෙත් සුදොතුම් පියතුමාට් හෝ එතුමා ගේ සමීපතම සහායකයිනට ආසාදනය නොමැති බව සනාථ වී තිබේ" යි එම නිවේදනයේ සඳහන් ය.

ඉතාලියේ පුදැදුරු වරු විශාල සංඛ්‍යාවකට ආසාදනය 

කෝවිඩ්-19 ආසාදනය වුනු කතෝලික පූජක වරුන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ස්වර්ගස්ථ වී තිබේ. එසේ සග සැපත් වූ පියවරුන් 51 දෙනෙකු ගේ නම් ඉතාලි රදගුරු මණ්ඩලයේ නිල පුවත් වත වන  Avvenireහි පළ කර තිබිණි.

ඇමෙරිකාවේ අගරදගුරු හිමි නමක් ද පසුගියදා කෝවිඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබිණි. කොරෝනා වෛරසෙන් සග සැපත් වූ ප්‍රථම රදගුරු තුමා වූයේ සැලේසියානු නිකායික ඇන්ජෙලෝ මොරේෂි රදගුරු තුමා ය.

මේ අතර රෝමයේ තාපසාරාම සහ කන්‍යාරාම කිහිපයක සිටින තාපසවරුනට  හා පැවිදි වරියන් රැසකට ද එම වෛරස ආසාදනය වී තිබේ.

කෝවිඩ්-19 රෝගීන් සතුරන් හෝ ත්‍රස්තවාදීන් නොවේ 

"කෝවිඩ්-19 කිසිම වෙනස් කමක් කරන්නේ නැහැ. ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට වැළඳිය හැකියි".ලොව පුරා විද්‍යාඥයන් පෙන්වා දෙන සත්‍යය එයයි.

වයස පමණක් නොව දේශ සීමා, ජාති, ආගම්, ගිහි, පැවිදි භේදයකින් තොරව එය ආසාදනය වේ.

එබැවින් මේ වන විට මනුෂ්‍යයා ගේ පොදු සතුරා කෝවිඩ්-19 වෛරසයි. සමස්ත ලෝකය එකා වන්ව උත්සාහ කල යුත්තේ, තම හැසිරීම පාලනය කර ගත යුත්තේ, වෛද්‍ය උපදේශ අකුරටම පිළිපැදිය යුත්තේ එම සතුරා මර්දනය කිරීම සඳහා ය.

එහෙත් කෝවිඩ්-19 ට ගොදුරු වන අපගේ සහෝදර සහෝදරියෝ සමාජයේ සතුරන් වත් ත්‍රස්තවාදීන් වත් නොවෙති. ඔව්හු රෝගීහු ය. වෙනත් රෝගයක් වැළඳුනු රෝගීන් බඳු රෝගීහු ය. නීරෝගී සියල්ලන් ගේ දයානුකම්පාව, කරුණාව, ආදරය ලැබිය යුතු අසරණ මිනිසුන් ය. 

මේ නිසා එම රෝගය මර්දනය කරන අතර මේ වෛරස ආසාදනය වන තැනැත්තන්ගේ ගෞරවය සහ රහසිගත බව ආරක්ෂා  කිරීම කිතුනු වගකීමකි. පියතුමෙකුට, රදගුරු තුමකුට, කාදිනල් හිමි නමකට එම රෝගය වැළඳෙන විට අපේ සිතේ නැගෙන අනුකම්පාව, කරුණාව වෙනස් කමක් නොදක්වා සෑම කොරෝනා රෝගියෙකු වෙත ම දැක්වීම කතෝලික කමය. කතෝලික අනන්‍යතාව ය.

අනෙක් කවර රෝගයක් සේ ම මේ රෝගය ද කිසිවෙකු විසින් වත් සිතා මතා ආසාදනය කර ගන්නක් නොවේ. ජාතිය, ආගම, කුලය, වයස, ජීවත් වන රට, තරාතිරම,  බලා ආසාදනය වන්නක් ද  ද නොවේ. මේ රෝගයට ගොදුරු වී මිය ගිය ඉතාලියේ , වතිකානයේ සහ ඇමෙරිකාවේ පුදැදුරුවරුන් අපට පෙන්වා දෙන්නේ එයයි.

එබැවින් කොරෝනා ආසාදිතයන් ඔවුන් ගේ පවුල්  දෙස කෝපයෙන් , පිළිකුලෙන් බැලීම හා ඔවුන් කොන් කිරීම නොකිතුනු ක්‍රියාවක් බව වටහා ගත යුතු ය. ඔවුන් ත්‍රස්තවාදීන් හෝ සමාජයේ සතුරන් ලෙස සැලකීම ද පාපයකි. 

ඒ වෙනුවට රෝගය  ආසාදනය වන මිනිසුන් ගේ ජාතිය, ආගම, තරාතිරම නොබලා ජේසු ගේ නෙතින් බලා ජේසු ගේ හදවතින් ආදරය කොට, ඔවුන් වෙනුවෙන් කළ හැකි දයාවේ ක්‍රියාවක් කිරීම කිතුනු කමය. එසේම රෝගීනට සහ ඔවුන් ගේ පවුල් වලට කෙරෙන අවමාන, කොන්කිරීම් එකහෙලා හෙළාදැකීම ද කිතුනු කමය.

ජේසු සමිඳාණෝ උන්වහන්සේ ගේ සමයේ සමාජයෙන් පිළිකෙව් කල ලාදුරු රෝගීන් සුවපත් කළහ.

අසීසියේ ප්‍රැන්සිස් තුමා 

ශා. ප්‍රැන්සිස් අසීසි තුමා ගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක් තිබේ.

අද කොරෝනා මෙන්  ඒ කාළයේ  ලාදුරු රෝගය සුව කල නොහැකි රෝගයක් ව තිබුනේ ය. ලාදුරු රෝගය පහසුවෙන් බෝවන රෝගයකි. එය මිනිසකු ගේ සිරුර කුණු කරයි. මේ නිසා එදා ජනතාව ලාදුරු රෝගීන් නගරයෙන් පිටමං කළහ.

අසීසියේ ප්‍රැන්සිස් තරුණයා තුළ ද ලාදුරු රෝගීන් කෙරෙහි පිළිකුලක් තිබුනේය. 

දිනක් ඔහු සිය අසු පිටින් යද්දී මාවත අයිනේ සිටි ලාදුරු රෝගියෙකු දුටුවේ ය.ඔහු දුටු ප්‍රැන්සිස් තුළ සුපුරුදු ලෙස බිය සහ පිළිකුල හටගත්තේ ය. ඔහු මගහැර යන්නට ප්‍රන්සිස්ට මුලින් සිතුනත් පසුව ඔහු අසු පිටින් බැස ලාදුරු රෝගියා ලඟට ගියේ ය.

රෝගියා අසලට යද්දී ඔහුට අනුකම්පාවක් සිතුනේ ය. ඔහු ඉදිරියට ගොස් ලාදුරු රෝගියා වැළඳ ගත්තේ ය. ඉන් පසුව ලාදුරු රෝගියා යමක් ඉල්ලන්නට මෙන් සිය අත  දිගු කළේය.  තමන් සතුව  කිසිවක් නොවූයෙන් ප්‍රැන්සිස් තමන් පොරොවාගෙන තිබූ සළුව රෝගියාට පෙරවූයේ ය.

අනතුරුව යළිත් සිය අසු පිටට නැගුනු ප්‍රැන්සිස් පිටත් වන්නට පෙර ආපසු හැරී ලාදුරු රෝගියා දෙස බැලුවේය. එහෙත් එවිට එතැන කිසිවෙකුත් සිටියේ නැත.

ලාදුරු රෝගියා ගේ වේශයෙන් සිටිද්දී  තමා වැළඳ ගත්තේ ජේසු සමිඳුන් බව ඔහුට වැටහුණේ එවිට ය.  

ඒ ගැන ශා. ප්‍රැන්සිස්  අසීසි තුමා පසුව මෙසේ ලියුවේ ය:
"මා  පාපයේ සිටින විට, ලාදුරු රෝගීන් ගේ දසුන මා තුළ දැඩි පිළිකුලක් ඇති කෙළේ ය. එහෙත් ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ මා ඔවුන් ගේ ඇසුරට පත් කළේය. එහිදී මා තුළ ඔවුන් වෙත දයානුකම්පාවක් ඇති විය. මා ඔවුන් සමග ඇසුරු කරන්නටත්, මිත්‍ර වන්නටත්, පටන් ගත් විට කළින් මා පිළිකුලට පත් කළ දෙය පසුව මා  තුළ ආධ්‍යාත්මික සහ ශාරීරික සැනසුම දෙන නොසිඳෙන උල්පතක් බවට පත් විය." 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය