වතිකාන රාජ්‍යයෙන් ප්‍රථම වරට කොරෝනා වෛරස් රෝගියෙක් හමුවෙයි; වෛද්‍ය සායනය වසා දැමේ; එහෙත් දයා සේවා දිගටම

Vatican confirms first Corona virus case;  health services suspended; However, Charity services are continued 


(2020 මාර්තු 6)
වතිකාන රාජ්‍යය තුළ පවතින වෛද්‍ය සේවා මධ්‍යස්ථානය  මාර්තු 6 වන සිකුරාදා සිට තාවකාලිකව වසනු ලැබූ බව වතිකාන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ මතේයෝ බෘනි පවසයි. වතිකානයේ සේවය කරන සියල්ලන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ මම සෞඛ්‍ය සායනයෙනි.  බාහිර රෝගී සේවා ප්‍රදේශයේ  විෂබීජ නැසීම සඳහා මෙම පියවර ගත් බව ඔහු කියයි. එහෙත් හදිසි ප්‍රතිකාර අංශය නොකඩවා විවෘත කරන බව ද හෙතෙම සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වතිකානයේ දී අද වාර්තා කරුවන් අමතමිනි.

වතිකානය මෙම පියවර ගත්තේ එම කුඩා රාජ්‍යය තුළ ප්‍රථම වරට "කෝවිඩ්-19" (Covid-19) රෝගියකු හඳුනා ගැනීමත් සමග ය. (කෝවිඩ්-19 යනු නව කොරෝනා වෛරසෙන් වැළඳෙන රෝගයට ලෝක වෛද්‍ය විශේෂඥයන් තබා ඇති නමයි.) වතිකානයේ සේවය කරන මෙම තැනැත්තා තුළ නව කොරෝනා වෛරස පවතින බව ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ දී තහවුරු වී තිබේ. තවත් සිදුවීමකට අනුව, රෝමයේ සිටින ප්‍රංශ ජාතික පියතුමකුට කොරෝනා වෛරස වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහු සමග සේවාව කළ නිලධාරියකු ආරක්ෂක නිරෝධායනයට ලක් කර තිබේ. එම නිලධාරියා කෝවිඩ්-19 රෝග ලක්ෂණ නොපෙන්වූවත් සෞඛ්‍ය රැකවරණය පතා මෙම පියවර ගෙන ඇත.

"වතිකාන සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සේවා අධ්‍යක්ෂ කාර්යාලය මේ සම්බන්ධයෙන් ඉතාලියේ අදාළ බලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අතර වතිකාන රාජ්‍ය විසින් සැලසුම් කර තිබූ සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාවට නංවා ඇතැ"යි මාධ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.

සුදොතුම් පියතුමා 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමාට වැළඳුනු සෙම්ප්‍රතිශ්‍යාවෙන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවද බෘනෝ මහතා ප්‍රකාශ කලේ ය. එතුමාට ඇත්තේ වෙනත් රෝගී තත්වයක් නොව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව බව ඊට කලින් පැවැති මාධ්‍ය හමුවක දී ඔහු තහවුරු කර තිබිණි.

සබැඳි පුවත මෙතැනින් : ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට "කොරෝනා" නොවෙයි; හෙම්බිරිස්සාව - වතිකානය තහවුරු කරයි

මේ අතර අද ට්විටර් පණිවිඩයක් නිකුත් කළ සුදොතුම් පියතුමා, ලොව පුරා විවිධ ප්‍රදේශ වල කෝවිඩ්-19 රෝගය වැළඳුනු රෝගීන් සමග තමන් හදවතින් සමීප වන බව කියා සිටියේ ය. එම පණිවිඩයේ  මෙසේ සඳහන් විය:
"#coronavirus රෝගයෙන් රෝගී වූ සියල්ලන් සමගත්, ඔවුනට ප්‍රතිකාර කරන සහ රැකබලා ගන්නා සියලු සෞඛ්‍ය සේවා සේවක සේවිකාවන් සමගත්, එසේ ම, සිවිල් බලධාරීන් සහ රෝගීනට  සහය වන සියලු තැනැත්තන් මෙන් ම වෛරස පැතිර යාම වැළක්වීමේ ක්‍රියාමාර්ග වල නිරත  සියලු පුද්ගලයන් සමගත්, මා මගේ හදවතින් සමීප වන බව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි."

වතිකානයේ කටයුතු වලට බලපෑමක් 

කෝවිඩ්-19 කොරෝනා වෛරස පැතිර යාම වැලක්වීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වතිකාන රාජ්‍යය කටයුතු යොදමින් සිටින බව ද මාධ්‍ය අධ්‍යක්ෂ මතේයෝ බෘනි කියා සිටියේ ය.

මේ ආරම්භ වී ඇත්තේ චාතාරික කාලයයි. ශුද්ධ වූ සතියෙන් හා පාස්කුවෙන් පරිසමාප්තියට පැමිණෙන මේ කාලය වතිකානයට අධික වශයෙන් ජනතාව රැස්වන වකවානුවකි. මේ තත්වය සැලකිල්ලට ගෙන ඇති බවට ද ඔහු ඉඟි කලේ ය.
"ඉදිරියේ පැමිණෙන ශුද්ධෝත්තම පියතුමා ගේ, ශුද්ධාසනයේ සහ වතිකාන පුර රාජ්‍යයේ  කටයුතු සහ ක්‍රියාකාරකම් ගැන කතා කරන විට, කෝවිඩ්-19 පැතිර යාම  වැළක්වීමේ පියවර ගැනීමේ කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.සෑම ක්‍රියා මාර්ගයක් ම ගනු ලබන්නේ ඉතාලි බලධාරීන් නිකුත් කර ඇති රෙගුලාසි වලට අනුව යි."

රෝමයේ දිව්‍ය පූජා සහ දයාවේ සේවා දිගටම 

රෝම පදවිය තුළ සියලුම "සක්‍රමේන්තු නොවන ක්‍රියාකාරකම්" මාර්තු 15 දින දක්වා අවලංගු කර තිබේ.

ධර්මෝපදේශ පන්ති (ලංකාවේ "දහම් පාසල්" ලෙස 80 දශකය අග භාගයේ අලුතින් නම් කෙරුනේ මේවාය), විවාහයට සූදානම් වීමේ පන්ති, ධර්ම විවේක, වන්දනා ගමන් සහ වෙනත් කණ්ඩායම් ක්‍රියාකාරකම් මේවාට ඇතුළත් ය.

එසේ වුව ද රෝමයේ දේවස්ථානවල දිනපතා දිව්‍ය පූජා එලෙසින් ම සිදු කෙරේ. එහෙත් එම දෙව්මැදුරුවල ඇති ආසිරි පැන් බඳුන් හිස් කිරීමට උපදෙස් දී ඇත. මේ හැරෙන්නට "සාමය පැතීමේ" අවස්ථාවේ සිරුර ස්පර්ශ නොවන ආකාරයෙන් සාමය පතන ලෙස ද පියතුමන්ලාට උපදෙස් දී තිබේ.

වෛරස පැතිර යාමේ ක්‍රියා මාර්ග තිබිය දී වුවත් පදවියේ දයා සේවා එලෙසින් ම නොකඩවා ක්‍රියාත්මක කරන බව ද  රෝම පදවියේ කරිටාස් ආයතනය   ප්‍රකාශ කරයි. රෝම රජයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක උපදෙස්වලට ගරු කරමින් දිගටම සුප් මුළුතැන්ගෙවල් විවෘතව තබන ලෙසත්, සරණාගතයන් හා ගෙවල් නැති ජනතාව සඳහා නොකඩවා ඉඳුම් හිටුම් සහ ආරක්ෂක ස්ථාන  සපයන ලෙසත් කරිටාස් ආයනතය සියලුම දේවස්ථාන පියවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය