ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට "කොරෝනා" නොවෙයි; හෙම්බිරිස්සාව - වතිකානය තහවුරු කරයි

Pope Francis does not have the corona virus, Vatican affirms


(2020 මාර්තු 5)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට වැළඳී තිබෙන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව බව වතිකානය තහවුරු කරයි.

වතිකාන මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේ "සුදොතුම් පියතුමාට කොරෝනා වෛරසට නිරාවරණය වී ඇත්දැයි සෙවීමේ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා" ඇතැයි ඉතාලියේ පළවන පුවත් පතක් විසින් වාර්තා කිරීමෙන් පසුවයි.

ඉතාලි පුවත් පත  මේ බව වාර්තා කර තිබුනේ කිසිදු නිල හෝ නොනිල ආරංචි මාර්ගයක් උපුටා දැක්වීමෙන් තොරව ය. එහෙත් එම ප්‍රවෘත්තිය ලැව්ගින්නක් සේ අන්තර්ජාතික මාධ්‍ය වලට වාර්තා විය. බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය එය ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටියේ එහි විශ්වසනීයත්වය ගැන ගැටළු මතු වූ නිසා ය.

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳින" බව එම පුවත් පත් වාර්තාව ප්‍රචාරය වීමෙන් පසුව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කෙළේ ය.

"සුදොතුම් පියතුමා ගේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය එහි සාමාන්‍ය කාලය ගනිමින් තිබෙනවා. එය වෙනත් රෝගී තත්වයක රෝග ලක්ෂණ නොවේ" යි ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ මත්තේයෝ බෘනි කියා සිටියේ ය.

වතිකාන මාධ්‍ය කාර්යාලයේ මෙම ප්‍රකාශය නිකුත් කෙරුණේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව හදිසි සැකයක් මතු වී සතියකට පසුව යි.
එතුමා මුලින් ම සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්වූයේ අළු බදාදා දිව්‍ය පූජාව අවස්ථාවේ දී ය. ඉන් පසුව පවත්වන ලද පොදු හමුවේදී ද එම තත්වය දක්නට ලැබිණි. ඉන් පසු දා සිට එතුමා උදෑසන දිව්‍ය පූජාවත් සාන්තා මාර්තා ගෙදර පෞද්ගලික හමුවීමුත් හැර සෙසු සියලු නිල කටයතු වලින් වැළකී සිටියේ ය.

එම මුල් තොරතුරු හා සබැඳි පුවත් මෙතැනින්:
සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් හේතුවෙන් සුදොතුම් පියතුමා ගේ හමුවීම් දෙවන දිනටත් අවලංගු කරයි

සෙම්ප්‍රතිෂ්‍යා තත්වය නිසා සුදොතුම් පියතුමා චතාරික ධර්ම විවේකය අත හරියි; එහෙත් ඉරිදා තුන්කාල ආරාධනාව මෙහෙයවයි

අලුත් ම පුවතBREAKING NEWS: වතිකාන රාජ්‍යයෙන් ප්‍රථම වරට කොරෝනා වෛරස් රෝගියෙක් හමුවෙයි; වෛද්‍ය සායනය වසා දැමේ; එහෙත් දයා සේවා දිගටම

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පීඩා විඳින්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් බව ප්‍රකාශ කළත් කොරෝනා පිලිබඳ වෛද්‍ය පරීක්ෂණයට එතුමා යොමු කරන ලද්දේ ද යන්න ගැන වතිකාන ප්‍රකාශකයා කිසිවක් ප්‍රකාශ කලේ නැත.

පුරාණ මාධ්‍ය රාමු වල කොටු වූ වතිකානය?

මේ ගැන විචාර වල යෙදෙන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට හිතැති මාධ්‍ය ආයතන හා විශ්ලේෂකයන් ප්‍රශ්න කරන්නේ වතිකානය තවමත් "පැරැණි වාර්තා කිරීමේ වචන හා රාමු" වලට කොටු වී සිටින්නේ ද යන්නයි.

රාජ්‍ය නායකයා ගේ පෞද්ගලික තොරතුරු පමණක් නොව ඇතැම් දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට සම්බන්ධ තොරතුරු පවා "අතිශය රහසිගත දේ" ලෙස සලකා කටයුතු කරන ලද්දේ සෝවියට් රුසියාවේ කොමියුනිස්ට් ආණ්ඩුව සමයේ ය. සෝවියට් නායක ජෝසප් ස්ටාලින් ගේ සමයේ ඇති වූ එවැනි ඇතැම් සිද්ධීන් අළලා ප්‍රබන්ධ වූ විකට කතා පවා තිබේ.

පාප් වහන්සේ ගේ තොරතුරු වල "රහස්‍ය භාවය" රැකීම අතින් වතිකානය ද ඊට දෙවැනි නොවේ. එහෙත් එලෙස ක්‍රියා කිරීමට ගොස් වතිකානය සිය විශ්වසනීයත්වය පුපුරුවා ගත්  අවස්ථා ද තිබේ.

දස වැනි පියුස් පාප් වහන්සේ ගේ සමයේ සිදු වූ සිද්ධියක් එක් නිදසුනකි. දසවැනි පියුස් පාප් වහන්සේට වැළඳී ඇති බවට ප්‍රචාරය වී තිබු  රෝගී තත්වයක් ගැන  "ඔසවතොරේ රොමානෝ" නමැති වතිකාන නිල පුවත් පත 1914 අගෝස්තු 19 වනදා කතුවැකියකින් කතා කළේය. එතුමාට  සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳී තිබෙන බවට "ඇතැම්" පුවත් පත් විචාරකයන් විසින් ප්‍රචාරයක් ගෙන යන බවට එම පුවත් පත එදින කතුවැකියෙන් චෝදනාකළේය. එසේම එම පුවත් පත ඊට සම්බන්ධ විචාරකයනට දෝෂාරෝපණය කළේය.

එහෙත් එම කතුවැකියට පැය 24ක් ගත වන්නට මත්තෙන් දසවැනි පියුස් සුදොත්ම් පියතුමා  ස්වර්ගස්ථ විය.

පාප් වහන්සේ කිසියම් රෝගී තත්වයක සිටින්නේ නම් කතෝලික ජනතාව එය නොවලහා දැනගැනීම යහපතකට මිස අයහපතකට හේතු නොවන බව එතුමාට හිතැති මෙන් ම නිවැරැදි ප්‍රවෘත්ති කලාවක් පතන මාධ්‍ය කරුවෝ පවසති අවම වශයෙන් පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට හෝ  කතෝලිකයන් පෙළඹෙන්නේ එවැනි තත්වයක් පැවතුනහොත් පමණි.

සත්‍ය තොරතුරු සැඟවීමෙන් සිදු වන්නේ, ආචාර ධර්ම වලින් තොර සමාජ මාධ්‍ය සංස්කෘතියක්  ද පවතින මේ යුගයේ, පාප් වහන්සේට අහිතකර කටකතා පැතිරීම පමණි.  පසුගිය දිනවල එය  සිදුවිය. විශේෂයෙන් ම කොරෝනා වෛරස ඉතාලියේ ප්‍රදේශ ගණනාවක පැතිර  යාම නිසා රටම බියට  පත්ව සිටින මේ අවස්ථාවේ සත්‍යය වාර්තා කිරීම යහපතක් පමණක් වනු ඇත. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය