සුදොතුම් පියතුමා කොරෝනා තර්ජනයෙන් භීතියට පත් ලෝකය "රෝගීන් ගේ ආරෝග්‍යය" වන කන්‍ය මරිය මාතාවන්ට භාර කරයි.

Holy Father entrusts world threatened by corona virus pandemic to Mother Mary, the Health of the Sick 


(2020 මාර්තු 12)
කෝවිඩ්-19 හෙවත් කොරෝනා  වෛරස් වසංගතයෙන් වේදනාවටත් භීතියට සහ තැතිගැන්මටත් පත් ලොව පුරා සියලු ජනතාව ගේ දුක් සුසුම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්මල මරිය මෑණියන්ට භාර කරයි.

එතුමා කොරෝනා වසංගතයෙන් තැති ගැණුනු ලෝකයේ වේදනාව මරිය මවට භාර කළේ එතුමා විසින් ම ලියන ලද යාච්ඥාවක් මගිනි. එතුමා ගේ එම යාච්ඥාව   වීඩියෝ පණිවිඩයක් මගින් මාර්තු 11 වනදා  සජීවීව ලොව පුරා විකාශනය කෙරිණි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය එතුමියට ඔප්පු  කරන්නේ කතෝලිකයන් සාම්ප්‍රදායිකව  එතුමිය අමතන "රෝගීන් ගේ ආරෝග්‍යයෙනි" යන ලෙන්ගතු විරුදයෙනි. කානා නුවර පවුලේ වේදනාව දැනී ඔවුන් සිය ප්‍රීතියත් ජයෝත්සවයත්   වෙත ආපසු රැගෙන ගිය සේ  මේ අවස්ථාවේ එතුමිය ගේ මව් පෙමින් මැදිහත් වී ලෝකය යළිත් ප්‍රීතිය වෙත රැගෙන යන්නැයි සුදොතුම් පියතුමා එම යාච්ඥාවෙන් ඉල්ලයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යැදුම කරන්නේ රෝමයේ රදගුරු තුමා ලෙස ය. මේ නිසා  මේ වන විට කොරෝනා වෛරසෙන් අධිකම පීඩාවට ලක්ව සිටින රෝමය (ඉතාලිය) එහි නමින් ම සඳහන් කර තිබේ. එහෙත් මෙය සමස්ත ලෝකය ම මරිය මෑණියන් ගේ මව් සෙනෙහසට භාර කිරීමකි.
එම යැදුම සම්පූර්ණයෙන් මෙසේ ය.

අහෝ මරියනි,

ඔබවහන්සේ ගැළවීමේ සහ බලාපොරොත්තුවේ සලකුණක් ලෙස
නිරන්තරයෙන් අපගේ ගමන් මග ආලෝකවත් කරන සේක.

රෝගීන්ගේ ආරෝග්‍යයෙනි,
කුරුසිය පාමුල දී ඔබගේ විශ්වාසය ස්ථිරව තබා ගනිමින්  
ජේසු සමිඳුන් ගේ වේදනාව සමග සම්බන්ධ වූ ඔබට
අපි අපව භාර කරමු.

රෝමයේ ජනතාව ගේ ගැලවීම වන ඔබ
අපගේ උවමනාව දන්නා සේක. 
මේ නිසා මේ  පරීක්ෂාවේ කාලයෙන් පසුව
ගලීලයේ කානා නුවර දී මෙන්
ප්‍රීතියත් ජයෝසවයත් වෙත ආපසු හැරී යාමට අපට හැකිවන ලෙස 
ඔබ අපට වරම් ලබා දෙන බව අපට විශ්වාස ය.

දිව්‍ය  ප්‍රේමයේ මාතාවෙනි,
දෙවි පියාණන් ගේ කැමැත්තට එකඟ වීමටත්,
අපගේ දුක් වේදනා තමන් පිට පවරා ගෙන අපගේ වේදනා උසුලාගෙන යමින්
කුරුසිය ඔස්සේ උත්ථානයේ ප්‍රීතිය වෙත අප ගෙන යන ජේසු සමිඳුන් 
අපෙන් ඉල්ලන දේ ඉටු කිරීමටත්
අපට උදව් වුව මැනව.

ආමෙන් .

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යාච්ඥාව ඔප්පු කළේ "දිව්‍ය ප්‍රේමයේ අප ස්වාමිදුව" ගේ පින්තුරයක් අබියස සිට ය. 

දිව්‍ය ප්‍රේමයේ අප ස්වාමිදුව රෝම නගරයේ ජනතාව ගේ හදවතට ඉතා සමීප සිත්තමකි. විශේෂයෙන් ම අර්බුද කාල වලදී ඔව්හු එතුමිය ගේ සරණය පතති. 1944 දී නාසි හමුදා වලින් රෝමය නිදහස් කර දෙන ඉල්ලා 12 වැනි පියුස් පාප් වහන්සේ යාච්ඥා කලේ දිව්‍ය ප්‍රේමයේ අප ස්වාමිදුව ගේ සිත්තම අබියස යි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම යාච්ඥාවෙන් පසුව රෝම පදවියේ අනුනායක ඇන්ජෙලෝ ඩි ඩොනාටිස් කාදිනල් හිමි රෝමය, ඉතාලිය සහ ලෝකය වෙනුවෙන් දිව්‍ය පූජාවක් ඔප්පු කළේය. එය ද ඉතාලි රදගුරු සමුළුවට අයත් TV 2000 නාලිකාව ඔස්සේ ලොව පුරා විකාශනය කෙරිණි. එම දිව්‍ය පූජාව ඔප්පු කරන ලද්දේ රෝමයේ දිව්‍ය ප්‍රේමයේ සිද්ධස්ථානයේ  දී ය.  

මෙම දිව්‍ය පූජාවේ දී සුදොතුම් පියතුමා ගේ යැදුම සිහිපත් කළ ඩොනාටිස් කාදිනල් හිමි මෙසේ කියා සිටියේ ය.
"අප මෙහි සිටින්නේ මෙසේ හඬ නගා ඉල්ලීමට යි: 'සමිඳුනි, ඔබගේ ඉමහත් දයා කරුණාවෙන් අප ගලවා ගත මැනව.' මරිය මෑණියෝ මෙහි අප සමග සිටිති. අපි මේ වෛරසේ නපුරෙන් අප නිදහස් කරන්නැයි එතුමිය ගේ බලවත් මැදිහත් කම ඉල්ලා අපි යාච්ඥා කරමු."  


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය