සෙම්ප්‍රතිෂ්‍යා තත්වය නිසා සුදොතුම් පියතුමා චතාරික ධර්ම විවේකය අත හරියි; එහෙත් ඉරිදා තුන්කාල ආරාධනාව මෙහෙයවයි

Pope Francis lets go on Lenten spiritual retreat due to ongoing cold; however, leads Angelus 


(2020 මාර්තු 1)
සෙම්ප්‍රතිෂ්‍යාව නිසා ඉකුත් බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා සිය සාන්තා මාර්තා ගෙදරින් පිටත නිල කටයුතු වලින් ඉවත්වී සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (ඉරිදා, මාර්තු 1) දහවල් තුන්කාල ආරාධනා මරිය දැහැන මෙහෙයවීමට පැමිණියේ ය. එහෙත් අද  සවස සිට රෝමයෙන් පිටත ආරම්භ වන රෝම කියුරියාවේ ධර්ම විවේකයට තමන් මේ වසරේ සහභාගී නොවන බව එතුමා එහිදී ප්‍රකාශ කලේ ය.

"අද සන්ධ්‍යාවේ ඇරීචියාහි දී ඇරඹෙන රෝම කියුරියාවේ ධර්ම විවේකය ඔබගේ යාච්ඥාවල දී මතක් කරන මෙන් මා ඔබෙන් ඉල්ලනවා," යි තුන්කාල ආරාධනාව අවසානයේ සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "කනගාටුදායක ලෙස මගේ සෙම්ප්‍රතිෂ්‍යා තත්වය නිසා මේ වසරේ ඊට සහභාගී වෙන්නේට මට ලැබෙන්නේ නැහැ. එත් මා මෙහි සිට ධර්ම විවේක භාවනා වලට එක් වෙනවා," යි එතුමා කීවේය.

"ඒ වගේම මා මෙහි ගෙදර සිට ආධ්‍යාත්මික අභ්‍යාස කරමින්  ධර්ම විවේකයේ සජීවී යැදුමට එක්වන හැම කෙනෙකු වෙනුවෙන් ම යාච්ඥා කරනවා" යි එතුමා සඳහන් කළේ ය.

තුන්කාල ආරාධනා භාවනා වේදී ද එතුමා ගේ නාසය සිරවී තිබෙන බවත් තරමක් වෙහෙසට පත් හඬකින් කතා කරන බවත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි. කැස්ස නිසා ද කිහිප වරක් භාවනාවට බාධා සිදු විය. එහෙත් එතුමා සන්සුන්ව තුන්කාල ආරාධනා යැදුම සහ සිය භාවනාව අවසන් කළේ ය.

මෙදින එතුමා ගේ භාවනාවට පදනම් වුණේ චතාරික සමයේ පළමු ඉරිදා දිව්‍ය පූජාවේ සුපුවත වන කාන්තාරයේ දී ජේසු සමිඳුන් යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබීමේ සිද්ධිය යි. එම භාවනාවේ දී වරක්   එතුමා සුපුරුදු ලෙස සිය ලියාගත් පිටපතෙන් ඉවත්වෙමින් එක් කාරනාවක් අවධාරණය කළේ ය:

"කිසි විටෙකත් යක්ෂයා සමග කතාබහට යන්න එපා! කිසි විටෙකත් දුර්පරීක්ෂාව සමග සංවාදයට යන්න එපා! කිසි විටෙකත් එපා!" යි එතුමා අවධාරණය කලේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ  පරිපාලන ව්‍යුහය වන රෝම කියුරියාවේ නිලධාරී රදගුරු-කාදිනල් හිමිවරුන් සමග වාර්ෂිකව චතාරික සමය ආරම්භයේ ධර්ම විවේකයකට සහභාගී වෙයි. මේ ධර්ම විවේකය පැවැත්වෙන්නේ රෝමයේ සිට පැයක පමණ දුරකින් පිහිටි ඇරීචියා නගරයේ පිහිටි ධර්ම විවේක නිකේතනයක යි. 2013 සිට සෑම වසරක ම එතුමා නොවරදවා ඊට සහභාගී  විය.

මේ වසරේ කියුරියා ධර්ම විවේකයේ තේමාව "පඳුර ගිනි ගෙන තිබිණි" (නික්ම: 3:2) (“The bush was on fire -Ex 3:2) යන්නයි. මෙය මෝසස් ට (මිනිසාට) දෙවියන් වහන්සේ මුණගැසීම පිළිබඳව නික්මයාම පොතේ එන සිද්ධියයි. එය මෙහෙයවනු ලබන්නේ සසුන් පිය බයිබල් කොමිසමේ ලේකම් පියෙත්‍රෝ බොවාති ජේසු නිකායික පියතුමන් විසිනි.

මේ වසරේ දී සුදොතුම් පියතුමාට මෙම  ධර්ම විවේකය  අත්හරින්නට සිදුව තිබෙන්නේ ඉකුත් අළු බදාදා  සිට එතුමන් පෙළෙමින් සිටින සෙම්ප්‍රතිෂ්‍යාව නිසා ය.

අළු බදාදා දිව්‍ය පූජාව පවත්වද්දී මෙන් ම බදාදා පොදු හමුවේ දී ද එතුමා කැස්ස, කිවිසුම් යාම  සහ නාසය පිස දැමීම වැනි සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ පෙන්වුයේ ය. එසේ වුව ද එතුමා සිරිත් පරිදි පොදු හමුවට සහභාගී වූ ජනතාව අසලට ගොස් ඔවුනට කතා කලේ ය.

මේ තත්ත්වය හේතුවෙන් සුදොතුම් පියතුමා බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා සිය නිල හමුවීම් අවලංගු කර තිබිණි. එහෙත් එතුමා සිරිත් පරිදි එම දිංවල උදැසන සාන්ත මාර්තා ගෙදර දිව්‍ය පූජාව ඔප්පු කල බව වතිකානය නිවේදනය කළේය. එසේ ම එම ගෙදර සිට එතුමා සිය පෞද්ගලික හමුවීම් ඇතුළු වෙනත් වැඩකටයුතු වල නිරත විය.

අසූ තුන් වන වියේ පසුවන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටියි. තරුණ වයසේ  ඇති වූ නියුමෝනියා රෝගී තත්වයක් නිසා එතුමා ගේ එක් පෙනහල්ලකින් කොටසක්  ඉවත් කර තිබේ. "ෂියාටිකා" නමැති තත්වයෙන් පීඩා විනිදින නිසා එතුමාට ඇවිදීම දුෂ්කර වී ඇත. ඒ හැරුණු කොට එතුමා ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරයි.

ධර්ම විවේකයට සහභාගී වන රෝම කියුරියාවේ කාදිනල්-රදගුරු -පුදැදුරු වරුන් වෙනුවෙන් ද සුදොතුම් පියතුමන් වෙනුවෙන් ද විශේෂයෙන් යදින ලෙස "වතිකාන සුළඟ" සිය පාඨක සුහදයන් වන ඔබෙන් ඉල්ලා සිටියි. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය