මාර්තු 27 දා: පරිපූර්ණ ඵල ලැබෙන අති විශේෂ "නගරයට සහ ලෝකයට" ආශීර්වාදයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි: එක්ව "අපගේ පියාණනි" යැදුම යදින්නට සියලු කිතුනු සභා නායකයනට ඇරැයුම්

Holy Father announces extraordinary Urbi et Orbi blessing; invites all Christians to pray "Our Father" together


(2020 මාර්තු 22)
"යාච්ඥාවේ, දයානුකම්පාවේ සහ කරුණාවේ විශ්වීයත්වයෙන්"   කොරෝනා වසංගතයට පිළිතුරු දීමට එක්සත් වන්නැයි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ලොව පුරා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"අපි එක්සත්ව සිටිමු. අපි එක්සත්ව, මේ වසංගතයෙන් බොහෝ සේ තනිව බොහෝ පීඩාවට පත්ව සිටින අය වෙත අපගේ සමීප බව දැනෙන්නට සලස්වමු," යි එතුමා සියලු කිතුනුවනට ආරාධාන කරයි.

සුදොතුම් පියතුමා මේ ආරාධනාව කලේ මාර්තු 22 වන ඉරිදා තුන්කාලා ආරාධනා දැහැන අවස්ථාවේ දී ය.

විශේෂයෙන් ලොව  පුරා සිටින සියලු කිතුනු නායකයන් ගේ ප්‍රමුඛත්වයෙන්, සියලු කිතුනුවන් එක් වී එකම වෙලාවට ස්වර්ගයට හඬ නැගීමට එක්වන ලෙස එතුමා ඇරයුම් කලේ ය. "සමස්ත මානව පවුල වසංගතයේ හුය ඉදිරියේ තැති ගැන්වී සිටින අවස්ථාවේ, අපි එක් වී ස්වර්ගය දෙසට අපගේ හඬ ඔසවමු කියා සියලු කිතුනු ජනතාවට යෝජනා කරන්නට මා කැමැතියි" යි එතුමා කියා සිටියේ ය.

මේ අනුව, කෝවිඩ්-19 වසංගතය වෙනුවෙන් එක් දිනක සර්ව කිතුනු යැදුම් මොහොතක් එතුමා යෝජනා කළේය. එසේ ම එතුමා අති විශේෂ "උර්බි එට් ඔර්බි" ආශීර්වාද දිනයක් ප්‍රකාශයට  පත් කළේය:

මාර්තු 25: සර්ව කිතුනු "අපගේ පියාණනි" යැදුම් මොහොත 

මාර්තු 25 වන බදාදා කිතුනු ජනතාව සමරන්නේ දේවමාතා වහන්සේට මංගලම් කීමේ මංගල්‍යය යි. මෙදින තමන් සිටින ස්ථාන වල සිට, එකම වෙලාවක සිය කිතුනු ජනතාව ද සමග එකට එක්ව ජේසු සමිඳුන් දුන් "අපගේ පියාණනි" යැදුම කියමින් සර්ව බලධාරී පියාණන්ට හඬ නගන්නට එක් වන ලෙස සියලු කිතුනු සභා සහ නිකායයන් වල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව සුදොතුම් පියතුමා කීවේ ය.

"වචනයාණන් ගේ මාංශගත වීමේ ශුභ පණිවිඩය කන්‍ය මරිය වහන්සේට ප්‍රකාශ කිරීමේ මංගල්‍යය කිතුනු සභා සහ නිකායයන් සෑම එකක්ම පාහේ සමරන්නේ මෙදිනට ය. උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ගේ ජයග්‍රහණය සමරන්නට සූදානම් වන සිය ශ්‍රාවකයන් සියලු දෙනා එක්ව මෙදින යදින යැදුමට  ස්වාමීන් වහන්සේ සවන් දෙන සේක්වා" යි මෙම ආරාධනය කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

මාර්තු 27: පරිපූර්ණ ඵල සහිත විශේෂ "නගරයට සහ ලෝකයට" ආශීර්වාදය 

දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව ප්‍රමුඛ කරගත් විශේෂ යැදුම් මෙහෙයක් මාර්තු 27 වැනි සිකුරාදා වතිකානයේ දී පැවැත්වීමට සූදානම් කර ඇති බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කළේය. එය පවත්වනු ලබන්නේ සාන්ත පීතර බැසිලිකාව ඉදිරියේ ඇති පියගැට පෙළ මත වේදිකාවේ සිට යි.

"මේ ගාම්භීර යැදුම් මොහොතට තමන් සිටින ප්‍රදේශ සහ ස්ථාන වල සිට ජනසන්නිවේදන මාධ්‍ය ඔස්සේ ආධ්‍යාත්මිකව එක් වන්නැයි මා සෑම කෙනෙකුට ම ආරාධනා කරනවා" යි එතුමා කියා සිටියේ ය.

මෙම යැදුම් මෙහෙය රෝමයේ වේලාවෙන් පස්වරු 6 ට ආරම්භ වේ. දේව වාක්‍ය කියවීම්, ජනතාව ගේ යාච්ඥා සහ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව ඊට ඇතුලත් වේ. එය අවසන් වන්නේ ශුද්ධෝත්තම පියතුමා ගේ විශේෂ "නගරයට සහ ලෝකයට" ආශීර්වාදයෙනි. මෙය ඉතිහාසයේ අති විශේෂ අවස්ථාවකි. මන්ද පාප් වහන්සේලා මෙම ආශීර්වාදය දානය කරන්නේ සාම්ප්‍රදායිකව නත්තල සහ පාස්කු මංගල්‍ය දිනවල පමණක් නිසා ය.

මෙම "නගරයට සහ ලෝකයට" ආශීර්වාදයට ආධ්‍යාත්මිකව සහභාගී වීමෙන්  පරිපූර්ණ ඵල ලබාගත හැකි බව වතිකාන මාධ්‍ය  කාර්යාලය නිවේදන කළේය. ඊට අදාළ සභා උපදේශ අනුව ආධ්‍යාත්මිකව සූදානම් වීමෙන් මෙම පරිපූර්ණ ඵල ලබා ගත හැකිය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය