"යුද්ධයේ ඵලය මරණය සහ විනාශය යි" ආත්ම දමනයෙන් යුතුව සංවාදයේ මේසයට එන්නැයි සුදොතුම් පියතුමා යුද්ධයට සැරසෙන ජාතීනට ආයාචනා කරයි

“War brings only death and destruction” - Pope appeals for self-control amid heightened threat of war


(2020 ජනවාරි 6)
"යුද්ධය ගෙන එන්නේ විනාශය සහ මරණය පමණයි" ජනවාරි 5 වැනි ඉරිදා දහවල් වතිකානයේ  සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වුණු තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය. මේ නිසා සතුරු බවේ සෙවනැලි පලවා හැර සංවාදයේ ගිණි සිළු දැල්වන්නැයි එතුමා ලෝකයට ආයාචනා කළේ ය.

"ලෝකයේ බොහෝ ප්‍රදේශවල දරුණු නොසන්සුන් තත්වයක් පවතිනවා" යි කිසිදු රටක නමක් සඳහන් නොකර එතුමා කියා සිටියේ ය.

"යුද්ධය ගෙන එන්නේ මරණය සහ විනාශය පමණයි. මේ නිසා සතුරු බවේ සියළු සෙවනැලි පළවා හැර සංවාදයේ සහ ආත්ම දමනයේ ගිණි සිළු නිරන්තරයෙන් දල්වා තබා ගන්නා ලෙස සියලු පාර්ශව වලින් මම ඉල්ලා සිටිමි" යි එතුමා ආයාචනා කළේ ය.

ඉන් පසුව මේ ඉල්ලීම වෙනුවෙන් මොහොතක් නිශ්ශබ්දව දෙවිඳුන් යදින්නැයි එතුමා චතුරශ්‍රයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගෙන් එතුමා ඉල්ලා සිටියේ ය.

ඇමෙරිකා - ඉරාන  ගැටුම

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ ඇමෙරිකාව සහ ඉරානය අතර හටගෙන ඇති දැඩි නොසන්සුන් තත්වය මධ්‍යයේ ය. 

මෙම යුදමය තත්වය උද්ගත වූයේ ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරකින් ඉරාන යද හමුදාවේ ප්‍රබල ජෙනරාල් වරයකු වූ කසෙම් සොලෙයිමානි ඝාතනය කරනු ලැබීමත් සමග ය. බැග්ඩෑඩ් ගුවන් තොටුපල ආසන්නයේ ඔහු රැගෙන ගිය රිය පෙළට ඇමෙරිකානු හමුදාව එල්ල කල ප්‍රහාරයෙන් ඔහු මිය ගියේ ය.

ජෙනරාල් කසෙම් සොලෙයිමානී ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ බුද්ධි සහ විදේශ මෙහෙයුම් සේනාවේ අණදෙන නිලධාරියා වූයේ ය. ඔහු ඉරාන ආණ්ඩුව වෙනුවෙන් සිරියාවේ සහ ඉරාකයේ මෙහෙයුම් සංවිධානය භාරව සිටියේ ය. ඉරානය, ඉරාකය සහ අමෙරිකානු හමුදා සමග සන්ධාන ගතව ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීනට එරෙහිව එල්ලේ කල ප්‍රහාරයේ ද ඔහු ප්‍රබල කාර්යභාරයක් ඉටු කලේ ය. ඉරානයේ දේශපාලන සහ හමුදා බලය සැලකිල්ලට ගත්  කල ඔහු දෙවැනි වන්නේ එරට උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමීනිට පමණකි.

එහෙත් සොලෙයිමානී ඇමෙරිකානු හමුදා භටයන් සියයකට අධික සංඛ්‍යාවක මරණ වලට වගකිව යුතු බව ඇමෙරිකාව පවසයි. මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඉරානය විසින් ඇමෙරිකානු දේපොලකට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ඉතා ආසන්නව සිටි නිසා බව ද ඇමෙරිකාව කියයි. කෙසේ නමුදු මෙම ප්‍රහාරය ගැන ඇමෙරිකාව තුළ ද මත භේද පවතියි. සොලෙයිමානී ත්‍රස්තවාදියකු ලෙස සැලකූව ද ඔහු ගේ ඝාතනය ඇමෙරිකාවටත් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපයේ සාමයටත් වාඩා වැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බව මැදිහත් විචාරකයෝ ප්‍රකාශ කරති.

මැදපෙරදිග යුද උණුසුම ඉහල ගොස් ඇත්තේ සොලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් දරුණු ලෙස පලිගන්නා බවට ඉරානය ප්‍රතිඥා දීම නිසා ය. ඉරාකයේ සිටින ඇමෙරිකානු ජනයාට එරටින් වහා ඉවත් වන ලෙස ඇමෙරිකා රජය අනතුරු අඟවා තිබේ. ඊට අමතරව ඇමෙරිකානු භටයන් 3000ක අතිරේක භට පිරුසක් ද එම කලාපයට පිටත් කර තිබේ. ඉරානය තම භටයන්ට හෝ වෙනත් දේපොලකට හානි කළහොත් තමන්ද ඉරානයට පහර දෙන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. ඉරානයේ පවතින සංස්කෘතික උරුමයන් ඇතුළු ඉලක්ක 52ක් ප්‍රහාර සඳහා තමන් විසින් හඳුනාගෙන ඇති බව ද ඔහු කියා  සිටියේ ය.

සේයාරුව: ජෙනරාල් සොලෙයිමානි ගේ ඝාතනයට විරෝධය පලකිරීම සඳහා ටෙහෙරාන් වීදිවලට රැස්වූ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය