ඉතාලියානු ගිහි මිතුරිය ගේ අවමංගල මෙහෙයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොදන්වා හදිසියේ පැමිණෙයි -මෙහෙය පැවැත්වීමට සහයක රදගුරු තුමන්ට ඉඩ දී බංකුවක සිට ඊට සහභාගී වෙයි

Pope shows up unannounced at funeral Mass of Italian lay woman and friend


(2020 ජනවාරි 6)
සියවස් ගණනාවක් පුරා පාප් වහන්සේලා වටා පැතිර පවතින්නේ "දිව්‍යමය" වටපිටාවකි. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට ප්‍රතිවිරුද්ධව සිය සාමාන්‍ය මනුෂ්‍යත්වය නොවලහා ප්‍රදර්ශනය කරයි. එතුමා තුළ ඇති උණුසුම් සෙනෙහස හා එතුමනට සමීප වීමට හැකි බව සේ ම කලාතුරකින් දක්නට ලැබෙන නොඉවසිලිමත් බව ද එම මනුෂ්‍යත්ව ගුණ වලට ඇතුළත් ය. දෙසැම්බර 31 වනදා මාධ්‍ය වලින් ප්‍රදර්ශනය කරනු  ලැබුනේ එවැන්නකි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොසඟවා පෙන්වන තවත් මානුෂික භාවමය තත්වයක්  දක්නට ලැබේ. එනම් ශෝකය යි. පුදුමයකට මෙන් එය සිදු වූයේ ද දෙසැම්බර 31 වනදා -එනම් අලුත් අවුරුද්දට පෙර දා ය. එහෙත් මාධ්‍ය කැමරා කාචවලට මේ යහගුණය හසු වී තිබුනේ නැත. 

දෙසැම්බර 31 වන දා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ඉතාලි ජාතික ගිහි මිතුරියක ගේ අවමංගල පිළිවෙතට සහභාගී විය. අගේ නම මරියා ග්‍රාසියා මාරා ය. කවුරුත් ඇය හැඳින්වූයේ "නෙල්ලා" යන ආද‍ර  නාමයෙනි. වයස අවුරුදු 95 ක් වූ ඇය දෙසැම්බර 30 වනදා මිය ගියා ය. 31 වනදා දහවල් ඇගේ දේහය අවමඟුල් පිළිවෙත සිදුකෙරන රෝමයේ වියා නොමෙන්තානා හි ශු. ජුසේ මුනිඳුන් ගේ දෙව්මැදුරේ තැන්පත් කර තිබිණි.

පස්වරු 3 පමණ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම දෙව්මැදුර තුළට පිය නගනු දක්නට ලැබිණි. එතුමා එන බවක් කවරෙකුටවත් දන්වා නොතිබිණි. මරියා මාරා ගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානය වෙත ගිය එතුමා මල් කිහිපයක් තබා ඒ අසල මොහොතක් යාච්ඥා කර දෙව්මැදුරේ දකුණු පස ඉදිරිපෙළම පිහිටි බංකුවේ කොනක අසුන් ගත්තේය.

මාරා මහත්මිය ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව සිදුකිරීමට නියමිතව සිටියේ රෝමයේ උතුරු ප්‍රදේශය භාර සහායක රදගුරු ගෙරිනෝ ඩි ටෝරා හිමියන් ය. සුදොතුම් පියතුමා දෙව්මැදුරට පැමිණ සිටින බව එහි සිටි අයෙක් රදගුරු තුමාට දැන්වීය. එය ඇසූ රදගුරු තුමා වහාම තම පණිවිඩ කරුවෙකු සුදොතුම් පියතුමා වෙත යැවුවේ ය.

"ඔබවහන්සේ දිව්‍ය පූජාවේ ප්‍රධානත්වය ගැනීමට කැමතිද?" රදගුරු තුමා විමසා තිබිණි.

"මම දිව්‍ය පූජාව පවත්වන්නේ වත් එහි සහායක පුදැදුරු කෙනෙකු ලෙස එක්  වන්නේවත් නැහැ. (not celebrating or concelebrating) මම ආවේ මගේ මිතුරිය නැති වීම ගැන ශෝක වීමට පමණයි" එතුමා රදගුරු තුමාට දන්වා යැවීය.

දිව්‍ය පූජාව ආරම්භ විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය බංකුවේ හිඳ ඊට සහභාගී විය. දිව්‍ය සත්ප්‍රසාද දානය කිරීමේ පිළිවෙත ආරම්භ වූ විට එතුමා නැගිට සෙසු පිරිස සමග දිව්‍ය  සත්ප්‍රසාද ලබා ගැනීමේ පෙරහරට  එක්විය. එය දුටු දිව්‍ය පූජාව පැවත්වූ පියවරු දෙනමක් පැමිණ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය යන දෙවිශේෂයෙන් ම එතුමාට දානය කළහ .

දිව්‍ය පූජාව අවසානයට ළඟාවත්ම රදගුරු තුමා තවත් තැනැත්තෙකු සුදොතුම් පියතුමා වෙත එවීය.

"පූජාවෙන් පසු අවමංගල පිළිවෙත පවත්වන්නට ඔබවහන්සේට පුළුවන් ද?" රදගුරු තුමා අසා තිබිණි.
"නැහැ. මම ආවේ මේ මෙහෙයට සහභාගී වෙන්න විතරයි. සැලසුම් කර තිබෙන විදියට සියල්ල සිදු කරන්න" එතුමා පිළිතුරු දුන්නේ ය. 

දිව්‍ය පූජාවෙන් සහ අවමඟුල් මෙහෙයෙන් පසුව එය සිදුකළ රදගුරු තුමන් ප්‍රමුඛ  පිරිස සක්ක්‍රිස්ති කාමරයට ගොස් සිය දිව්‍ය පූජා ඇඳුම් උනාලන අතර, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තමන් පැමිණි ආකාරයට ම කිසිවෙකුටත් කතා කිරීමට හෝ දන්වීමට හෝ නොසිට සෙමින් දෙව්මැදුරෙන් නික්ම ගියේ ය. ඒ යන අතර ශෝක වන්නන් කිහිප දෙනෙකු අසල දී ඔවුන්ට සැනසිලි වචනයක් කීමට එතුමා නැවතුනේ ය.

මේ සිද්ධිය "ක්‍රක්ස්" කතෝලික වෙබ් අඩවියට වාර්තා කර තිබුණේ  ඒ අවස්ථාවේ එහි සිට මේ සිද්ධි දාමය ම ඉතා පරෙස්සමෙන් නිරීක්ෂණය කරමින් සිටි මාධ්‍යවේදියකු හා බ්ලොග් කරුවකු වන ලුවිජි අකොටිලි ය. 

මහාචාර්ය මරියා ග්‍රාසියා මාරා 

1923 දී ඉතාලියේ මිලානෝ නුවර උපන් මරියා මාරා හැදී වැඩුණේ ටියුනීසියාවේ ය. මන්ද වෛද්‍යවරයකු වූ ඇයගේ පියා ස්වේච්ඡා වෛද්‍ය වරයකු ලෙස එරට සේවය කරමින් සිටීමයි. ඒ වන විට ටියුනීසියාව ප්‍රංශයට අයත් රටක් විය. ෆැසිස්ට් වාදය නිසා ප්‍රංශය හා ඉතාලිය අතර මිත්‍රත්වය බිඳී ගිය අවස්ථාවේ මරියා සහ ඇයගේ පියා ඉතාලියට පිටුවහල් කරන ලදහ.

හිස් අතින් ඉතාලියට පැමිණි ඔවුනට අලුතෙන් සියල්ල ආරම්භ කිරීමට සිදුවිය.

පසුව මරියා මාරා අධ්‍යාපනය ලබා සභා ඉතිහාසය පිලිබඳ විශාරදයකු බවට පත් වුවාය. ඒ පිලිබඳ පොත් කිහිපයක් ලියා පල කල ඇය කතෝලික සරසවි කිහිපයකම මහාචාරවරියක් ලෙස කටයුතු කළා ය.

මරියා සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතා සමීප මිතුරෝ වූහ. ඇය මිය යන්නට දින කිහිපයකට පෙර නොදන්වා  ඇයගේ නිවසට ගිය සුදොතුම් පියතුමා ඇයගේ සුව දුක් විමසුවේ ය.

(ක්‍රක්ස් වෙබ් අඩවියේ පළවූ පුවතක් ඇසුරිනි)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය