"ශුද්ධ වූ බයිබලය දෙවියන් වහන්සේ ගේ පෙම් හසුනක්": දේව වචනයේ ඉරුදින සමරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි: "ඔබේ ජංගම දුරකථනවලින් එය කියවන්න"

"Bible is a ‘love letter’ from God": Pope Francis says celebrating the Word of God Sunday


(2020 ජනවාරි 26)
ශුද්ධවූ බයිබලය දෙවියන් වහන්සේ මානව ප්‍රජාව වෙත එවූ "පෙම් හසුනක්" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ජේසු  සමිඳුන් අනුගමනය කරන්නන් එය දිනපතා කියවිය යුතු ය. එය අපේ අතේම, අපගේ ජංගම දුරකථනවල තබාගෙන, උන්වහන්සේ ගේ වචනයට අප විවෘත විය යුතු" යැයි එතුමා කියා සිටියේ ය.

"ජේසු සමිඳුන් අනුගමනය කිරීමට හුදෙක් යහපත් ක්‍රියා කිරීම පමණක් නොසෑහේ. අප දිනපතා උන්වහන්සේ ගේ කැඳවීමට සවන් දිය යුතු ය. අපව හොඳින් ම දන්නා එක ම තැනැන්වහන්සේ ද අපට සම්පූර්ණයෙන් ප්‍රේම කරන එක ම තැනැන්වහන්සේ ද වන උන්වහන්සේ ඒ මගින් ජීවිතයේ ගැඹුර වෙත යන්නට අපට මග පෙන්වන සේක."

"අපට උන්වහන්සේ ගේ වචනය අවශ්‍ය වන්නේ ඒ නිසා ය. එවිට, අපගේ එදිනෙදා ජීවිතයේ ඇසෙන දහස් සංඛ්‍යාත වෙනත් වචන අතර, දේවල් ගැන නොව ජීවිතය ගැන කතා කරන එම එකම වචනය ඇසෙනු ඇත" යි සුදොතුම් පියතුමා කීවේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කළේ එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථම දේව වචනයේ දිනයේ දිව්‍ය පූජාවේ ධර්මානුශාසනය කරමිනි. "Aperuit illis" නමැති සිය අපෝස්තලික නියෝගය මගින් සුදොතුම් පියතුමා මෙම දිනය ප්‍රකාශයට පත් කලේ ය.
සබැඳි පුවත:  ශුද්ධ වූ බයිබලයට ගෞරව කිරීම, එය අධ්‍යයනය කිරීම සහ දේව වචනය බෙදා ගැනීමේ වාර්ෂික විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

එතුමා ගේ ධර්ම දේශනයට පාදක වූයේ මෙම ඉරුදින සුපුවත සඳහා තෝරාගෙන තිබූ මතෙව් තුමා ගේ සුබ අස්නේ කොටසයි. "එන්න. මා අනුගමනය කරන්න. මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරමි" යි කියමින් ජේසු සමිඳුන් සිය ප්‍රථම ශ්‍රාවකයන් කැඳවීම මෙම කොටසින් විස්තර වේ. මෙම කොටස මගින් "ජේසු සමිඳුන් දේශනා කළේ කෙසේද, කොහේ ද සහ කාටද යන" කරුණු ගැන තේරුම් ගැනීමට අපට සහය වන බව එතුමා පෙන්වා දුන්නේ ය.

"දෙවියන් වහන්සේ අප ලඟයි"

"ජේසු සමිඳුන් පැමිණියේ සෑම කෙනෙකුට ම උන්වහන්සේ ගේ ම වචන වලින් සහ උන්වහන්සේ ගේ ම ජීවිතයෙන් කතා කිරීමටයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා  දුන්නේ ය. "උන්වහන්සේ සිය දූත මෙහෙවර ආරම්භ කළේ ඉතා සරල වාක්‍යයකිනි. එනම්, "පසුතැවිලි වන්න. මන්ද දේව රාජ්‍යය සමීපය' යන්නයි."

"ක්‍රිස්තුන් වහන්සේ ගේ සෑම දේශනාවක ම ප්‍රධාන පණිවිඩය මෙය යි. එනම් 'දෙවියන් වහන්සේ ඔබ ලඟයි' යන්නයි."

"ස්වර්ගයෙහි වැඩ වසන තැනැන්වහන්සේ මිහිතලයට පැමිණ සිටියි. උන්වහන්සේ මිනිසත් බව ගත් සේක. උන්වහන්සේ තාප්ප බිඳ දමා දුරස්ථ බව අඩු කර ගත්සේක.  අප මෙය ලබන්නට සුදුස්සෝ නොවෙමු. එහෙත් උන්වහන්සේ අප හමුවන්නට බිමට බට සේක" යි එතුමා පැහැදිලි කලේ ය. 

"අප සමග නැවැතී, අපට ජීවිතයේ සෞන්දර්යයත්, හදවතේ සාමයත්, සමාව ලැබීමේ සහ තමන් ආදරය කරනු ලබන බව දැනීමේ ආනන්දයත් අපට ලබා දීමට උන්වහන්සේට අවශ්‍යව තිබේ. මේ සඳහා උන්වහන්සේ ගේ ප්‍රථම ඉල්ලීම අප ඉටු කළ යුතු වේ. එනම් 'පසුතැවිලි වන්න' යන්නයි. මෙහි අදහස ඔබගේ "ජීවිතයේ වෙනසක් ඇතිකර ගන්න!' යන්නයි" සුදොතුම් පියතුමා කීවේ ය.

"ජීවිතයේ වචනේ"

"දේව වචනය මිනිසා දිරිමත් කරයි; සැනසුම දානය කරයි. එහෙත් මිනිස් ප්‍රජාව ආත්මාර්ථකාමයේ වහල්බවින් නිදහස් කර සිත් හැරීමකට මනුෂ්‍ය ප්‍රජාව කැඳවන එය අභියෝගාත්මක ය. ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට යොමු කිරීමේ බලය දේව වචනය සතුව තිබේ" යි සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනයේ දී පෙන්වා දුන්නේ ය.

කොහේ ද?

ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළේ කොහේ දැයි සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය.

"ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළේ මහ පාරේ, මුහුද අද්දර ය. එය සුපුවතේ සඳහන් වන්නේ 'ජාතීන් ගේ ගලීලය' ලෙස ය. එය දේශ සීමා ප්‍රදේශයකි. ප්‍රත්‍යන්ත ප්‍රදේශයකි. ක්‍රිස්තුන් වහන්සේ දේශනා කිරීම ආරම්භ කරන්නේ ජෙරුසලමේ දේව මන්දිරයෙන් නොව මෙම ප්‍රත්‍යන්ත ප්‍රදේශයෙනි. ජෝර්දානයෙන්  එපිට මේ ප්‍රදේශය, 'තෝරාගත් ජනතාවගේ ආගමික පාරිශුද්ධත්වය" සොයා ගත හැකි ප්‍රදේශයක් නොව, සියලු ජාතීනට අයත්, සියලු භාෂා කතා කරන සෑම සංස්කෘතියක  ම ජනතාව ජීවත් වූ ප්‍රදේශයකි" යි එතුමා කියා සිටියේ ය.

"මෙහි අපට පණිවිඩයක් තිබේ. එනම් ගැලවීමේ වචනය ශුද්ධවන්ත, පවිත්‍ර සහ ආරක්‍ෂිත ස්ථාන සොයා නොයන බව ය. ඒ වෙනුවට දේව වචනය ඇතුළුවන්නේ  අපගේ ජීවිතයේ සංකීර්ණ, අඳුරු සහ සැඟවුණු  තැන්වලට ය. එදා වාගේ ම අදත් උන්වහන්සේ වැඩම කරන්නට කැමැති වන්නේ අප කවරදාකවත් යන්නට නොසිතන ස්ථාන වලට ය."

කාට ද?

තම ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරමින් ජේසු සමිඳුන් ප්‍රථමයෙන් කතා කලේ කාටදැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊළඟට විස්තර කළේය.

"උන්වහන්සේ ප්‍රථමයෙන් දේශනා කළේ ධීවරයන්ට ය. අප අද පේදුරු අපෝස්තුලු තුමන් හා එතුමන් ගේ සොයුරු අන්ද්‍රේ යයි ඔවුන් හැඳින්වුවත් ඔවුන් ධීවරයන්.ය. ඔවුන් තෝරාගනු ලැබුවේ ඔවුන් ගේ හැකියාවන් නිසාවත් ඔවුන් දේව මන්දිරයේ බැතිමත් ව යාච්ඥා කල නිසාවත් නොවේ. ඔවුහු සාමාන්‍ය වැඩකරන ජනතාව වූහ. උන්වහන්සේ ඔවුනට තේරෙන  භාෂාවෙන් කතා කොට එම ස්ථානයේ ම ඔවුන් ගේ ජීවිත වෙනස් කල සේක" යි එතුමා පෙන්වා දුන්නේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය