"විවාහක පූජක වරුන් සභා පිළිවෙතට පටහැනියි": විශ්‍රාමික පාප්තුමාගේ පොතෙන් සසුන් නායකත්වය, ගුරු බලය, සහ "විශ්‍රාමික සසුන් පිය" පදවිය ගැන ගැටළු මතුවෙයි

While Pope Francis considers married priests Pope Emeritus reaffirm priest celibacy in a new book: "Need to rethink norms for retired popes" - Analysts 


(2020 ජනවාරි 18)
විවාහක පිරිමින්ට පුදැදුරුවරය දානය කිරීමට සිය සම්පූර්ණ විරෝධය පළ කරමින් වතිකානයේ දේව වන්දනාව  පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි රොබට් සේරා කාදිනල් හිමියන් සමග එක්ව සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප්තුමා සම කර්තෘත්වය දරමින් පලකිරීමට යන පොත හේතුවෙන් කතෝලික සභාවේ සසුන් පිය  පදවිය සහ සභාවේ ගුරු බලය මෙන්ම  "විශ්‍රාමික පාප් වහන්සේ " යන තනතුර සහ භූමිකාව යන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ගැටළු හටගෙන තිබේ.

මෙම තත්වය හටගත්තේ  ප්‍රැන්සිස් සසුන් පිය විරෝධීන් ගේ නායකයකු වන කාදිනල් සේරා හිමියන් විශ්‍රාමික පාප් තුමන් සමග සම කර්තෘත්වය දරමින් නිකුත් කල පොත පිලිබඳ තොරතුරු ප්‍රංශ පුවත්පතක් විසින් හෙළිදරව් කරන ලද අවස්ථාවේ දී ය.

පසුබිම

ඉකුත් ඔක්තෝබර මාසයේ වතිකානයේ දී පවත්වන ලද මහා ඇමසෝනියාන රදගුරු සිනොඩ් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනා සහ නිර්දේශ පාදක කරගනිමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය අපෝස්තලික අනුශාසනා පත්‍රය සකස් කරමින් සිටියේ ය. එම අනුශාසනා පත්‍රය මේ ජනවාරි අග හෝ පෙබරවාරි මුල නිකුත් කිරීමට නියමිත බවට ද වාර්තා වෙමින් තිබිණ.

එම සිනොඩ් සමුළුවේ සංවාදයට ලක් වූ එක් වැදගත් කරුණක් වූයේ "යහපත් චරිතයක් පවතින බවට සාක්ෂි සහිත විවාහක වැඩිහිටි පිරිමින්ට" පූජකවරය ලබා දීමයි.

ඇමේසන් කලාපයේ  උග්‍ර පූජක හිඟයක් පවතියි. මේ නිසා එම කලාපයේ ඈත දුර බැහැර ප්‍රදේශවල අති විශාල කතෝලික ජනතාවකට දිව්‍ය පූජාවක් ලැබෙන්නේ ඇතැම් විට වසරක එක් වරකි. පාපොච්චාරණය වැනි සක්‍රමේන්තු සේ ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම ද එසේ ම දුෂ්කර කාරනාවක් වී තිබේ. මේ හේතුවෙන්, අදාළ රදගුරු හිමිවරුන් ගේ නිසි ප්‍රවිචය මත,"යහපත් චරිතයක් පවතින බවට සාක්ෂි සහිත විවාහක වැඩිහිටි පිරිමින්ට" පුදැදුරු වරය ලබා දිය යුතුය යන්න සිනොඩ් සාමාජිකයන් බහුතරයක ගේ මතය විය. එය එම කලාපයේ  දැනට ස්ථිර තේවාචාරී දූත සේවාවේ යෙදී සිටින විවාහකයන ගෙන් ආරම්භ කල හැකි බවට ද සිනොඩ් අවසන් ප්‍රකාශනය මගින් නිර්දේශ අර තිබිණි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අපෝස්තලික අනුශාසනය මගින් එම නිර්දේශයට සිය අනුමැතිය ලබා දෙනු ඇති බවට බොහෝ විචාරකයෝ  අනාවැකි පළකරමින් සිටියහ.

එහෙත් සභාව තුළ ප්‍රැන්සිස් සසුන් පිය ධුර කාලය අවලංගු කිරීමේ ව්‍යාපෘතියක නිරත වී සිටින අති ගතානුගතික මතවාදී සහ අන්ත දක්ෂිනාංශික පූජකවරුන්, රදගුරු වරුන් සහ ජනමාධ්‍ය කිහිපයක් එවැනි පියවරකට විරුද්ධව මත පළකරන්නට පටන් ගත්හ. ඔවුන් කියා සිටියේ මේ මගින් සභාව මෙතෙක් පිළිගත් "පූජක බඹසර" ඉගැන්වීම ප්‍රතික්ෂේප වන බවයි. මෙම නව පියවර හුදෙක් ඇමේසන් කලාපයට බලපාන විශේෂ  අවස්ථාවක් බවත් එමගින් සභාවේ පොදු "පූජක බඹසර" ඉගැන්වීම අවලංගු නොවන බවත් තවත් දේවධර්මවේදීහු  රැසක් පෙන්වා දුන්හ. එහෙත් පෙර කී කණ්ඩායම් ඒවා පිළිගත්තේ නැත.

කතෝලික සභාව තුළ දැඩි කම්පනයක් ඇති කරමින් සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප්තුමා සම කර්තෘත්වය දැරූ මේ පොත පිලිබඳ පුවත වාර්තා වුයේ ඒ අතර ය. ඉකුත් සතියේ සඳුදා ප්‍රංශ පුවත් පතක් ප්‍රථම වරට මේ පොත පිළිබඳව වාර්තා කලේ ය.

"අප ගේ හද පත්ලෙන් ම"

පොත නම් කර ඇත්තේ "අප ගේ හද පත්ලෙන් ම: පුදැදුරුවරය, පූජක බඹසර සහ කතෝලික සභාවේ අර්බුදය" (From the Depths of Our Hearts: Priesthood, Celibacy and the Crisis of the Catholic Church) යනුවෙනි. පොත ලියා ඇත්තේ ප්‍රංශ භාෂාවෙනි.



මේ පොත කර්තෘන් දෙදෙනා විසින් ම රචනා කරන ලද හැඳින්වීමකින් සහ දෙදෙනා විසින්ම ලියා අත්සන් තබන ලද අවසන් පරිච්චේදයකින් ද සමන්විත වේ. අතරමැදි පරිච්ඡේදවලට  එක් එක් කර්තෘ වරයා ගේ නිබන්ධන ඇතුළත් කොට ඇත.

සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ විසින් රචිත පරිච්ඡේදයෙන් විවාහක පූජකවරුන්  පිලිබඳ ප්‍රශ්නය එතුමා ගේ ම ශෛලියෙන් ඍජුවම ආමන්ත්‍රණය කර තිබේ. සිය දේවධර්මවේදී ප්‍රාමාණිකත්වය මත පිහිටන එතුමා  බයිබලීය උපුටන ගෙනහැර පාමින්, පූජක බඹසර  අපෝස්තුළුවරුන් ගේ සමයේ සිට පුදැදුරුවරය සඳහා අත්‍යවශ්‍ය පදනමක් බව විස්තර කරයි.

"විවාහය මගින් තමන් සම්පූර්ණයෙන් ම ස්වකීය පවුලට පිරිනැමීමට මිනිසෙක් කැපවෙයි. එසේ ම ස්වාමීන් වහන්සේට සේවාව කිරීමට කැපවන මිනිසා තමන් සම්පූර්ණයෙන් ම තිළිණයක් ලෙස සමිඳුන්ට ලබා දිය යුතු ය. මේ නිසා මෙම කැඳවීම් දෙක එකම අවස්ථාවේ කළ හැකි බවක් පෙනෙන්නට නැත. මේ අනුව, තමන් මුළුමණින් ම සමිඳුන්ට භාර කිරීමේ අරමුණින් විවාහය ත්‍යාජ කිරීමට ඇති හැකියාව පුදැදුරු දූත මෙහෙවර සඳහා උපමානයක් වූයේ ය," යි විශ්‍රාමික පාප් තුමා සිය පරිච්ඡේදයේ කියා සිටියි.

වතිකානයේ දේව වන්දනාව පිලිබඳ පර්ෂදයේ ප්‍රධානි ගීනියා ජාතික රොබට් සේරා කාදිනල් හිමි සිය පරිච්ඡේදයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ඍජුව ම ආමන්ත්‍රණය කරයි. "පූජක බඹසර පිලිබඳ නීතිය දුර්වල කිරීමට කෙරෙන ඕනෑම උත්සාහයක්, කිසියම් කලාපයකට සීමා කර හෝ එසේ කරන්නක්, සිය නිශේධ බලය යොදා අහෝසි කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගෙන් මම බැහැපත්ව ඉල්ලා සිටිමි." යි එතුමා කියා සිටියි.

කර්තෘ වරුන් දෙදෙනා විසින් ම රචනා කරන ලද අවසන් පරිච්ඡේදය මේ ගැන ඊටත්  වඩා ප්‍රබල වචන වලින් කතා කරයි. " අපචාර ගණනාවක් නිසා තුවාල ලබා සිටින  කතෝලික සභාව, සිය අභිෂේක ලත් බඹසර ගැන කෙරෙන ප්‍රශ්න කිරීම් නිසා කලබලයට පත්ව සිටියි" යයි ඔව්හු පෙන්වා දෙති.

ලොව පුරා සිටින සියලුම පුදැදුරු වරුනට මෙම පොත පුද දෙන කර්තෘ වරු, "පුදැදුරු බඹසර සුරක්ෂිත කරන්නැයි" ඔවුන්ගෙන් ඉල්ලා සිටිති. එසේ ම "පුදැදුරු වරුන් ගේ බ්‍රහ්මචාරී දූත මෙහෙවරට සහාය වන්නැයි" සියලුම විශ්වාසිකයන් ගෙන් ඔව්හු ඉල්ලීමක් කරති.

ප්‍රතීයමාන  Implications

සොළොස්වන බෙනඩික් ගෞරවයෙන් විශ්‍රාමලත් ( Pope Emeritus) පාප් වහන්සේ ගේ මෙවැනි මැදිහත්වීම් අසාමාන්‍ය තත්වයන් බව මේ තත්වය විශ්ලේෂණය කරන සසුන්වේද විශේෂඥයන්  සහ සභා ඉතිහාසඥයෝ පෙන්වා දෙති.තමන් "ලෝකයෙන් සැඟවී ජීවත් වන බවත් නව පාප් වහන්සේට කීකරු වන බවත්" 2013 විශ්‍රාම ගන්නා අවස්ථාවේ එතුමා ප්‍රතිඥා දුන්නේ ය. බොහෝ දුරට එතුමා එම පොරොන්දුව ආරක්ෂා කළේය.

එහෙත් පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ක්‍රියා කරමින් සිටින අවස්ථාවේ එම පොරොන්දුවෙන් ඉවත් වූ එතුමා පූජක වරුන් ළමා අපයෝජනයට තල්ලු කරන ලද්දේ හේතු දෙකක් නිසා බව නිබන්ධනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. දෙවන වතිකාන කතිකාව මගින් සභා නීතිය තුළ ඇති වූ ලිහිල් බව සහ 1960 ගණන් වල සිදු වූ ලිංගිකත්ව විප්ලවය එම හේතු ය යන්න එතුමා ගේ අදහස විය. විශ්‍රාමලත් පාප් වහන්සේ දැරූ ඒ මතය දැනට සභා නායකත්වයේ සක්‍රීයව සිටින පාප් වහන්සේ දරන මතයට සේ ම වත්මන් පාප් තුමන් එම අර්බුදය සඳහා විසඳුම් සොයන මාර්ගයට ද පටහැනි විය.

පුදැදුරු  බඹසර කිසිසේත් වෙනස් කළ නොහැකි බවට  ගෞරවයෙන් විශ්‍රාමික පාප් වහන්සේ දැන් කරන අවධාරණය ද සභාවේ පරිධියේ ඇති ප්‍රදේශ වල පවතින දැවෙන එඬේරික ගැටළු විසඳීම සඳහා සේවාවේ සක්‍රීය පාප් වහන්සේ දරන ප්‍රයත්නයේ හදවතට ම එල්ල වූ ප්‍රහාරයක් බව එම විචාරකයෝ පෙන්වා දෙති. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම කලාපයේ ම රදගුරු, පූජක, පැවිදි සහ ගිහි යන සියල්ලන් ඇතුළත් සෛනෝඩීය ක්‍රියා මාර්ගයක් ඔස්සේ මෙම ගැටලුව විසඳීමට වෑයම් කරද්දී කෙරෙන මෙම විවේචනය හිටපු පාප් වහන්සේ විසින් සේවාවේ සක්‍රීය පාප් වහන්සේ ගේ ක්‍රියාමාර්ග වෙනස් කිරීමට දරන ප්‍රසිද්ධ උත්සාහයක් ලෙස අර්ථ දැක්විය හැකි බව ද ඔව්හු පෙන්වා දෙති. එසේ ම එය සක්‍රීයව දූත මෙහෙවරේ යෙදී සිටින නීත්‍යනුකුල පාප් වහන්සේ ට නිදගසේ සිය පාලනය කරගෙන යාමට කරන බාධාවක් බව ද ඔව්හු පෙන්වා දෙති.

බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ මෙම මැදිහත් වීමේ ප්‍රතීයමාන බරපතල විය හැකිය. මන්ද එතුමන් ගේ 'ඕතඩොක්ස්' හෙවත් අති සම්ප්‍රදායවාදී සසුන් පිළිවෙත තුළ  දැඩි ලෙස එල්බගෙන ප්‍රැන්සිස් පාප් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන සභාවේ සම්ප්‍රදාය මත වාදීන් සහ සංස්ථිතික මත වාදීන් සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ විශ්‍රාම ගැනීම "නීත්‍යනුකුල නොවන  බව" තවමත් විශ්වාස කරන නිසා ය.

මෙම පසුබිම තුළ තමන් විශ්‍රාම ගන්නා විට "විශ්‍රාමික රදගුරු" යන තත්වය ගන්නවා වෙනුවට "විශ්‍රාමික පාප් වහන්සේ" යන පදවිය තබා ගැනීමට සොළොස්වන බෙනඩික් පාප් තුමන් ගත් තීරණය ඥානාන්විත ද යන්න ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. පාප් වහන්සේ නමක් විශ්‍රාම ගැනීම සභා ඉතිහාසයේ සිදු නොවූවක් තරම් ම විරල වූ නිසා එවැනි තත්වයක් පිළිබඳව සසුන් නීතිය තුළ ද කිසිවක් සඳහන් නොවේ.  (ඉතිහාසයේ මෙය සිදු වී ඇත්තේ දෙවරක් පමණි. මේ ගැන පසුව සාකච්ඡා කෙරේ. ) තමන් විශ්‍රාම ගන්නට තීරණය කළ අවස්ථාවේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ද "විශ්‍රාමික පාප් වහන්සේ" යන නව පදවියේ භූමිකාව ගැන නෛතික විග්‍රහයක් කළේ නැත.එතුමන් විසින් තමන් වෙනුවෙන් ම ඇති කරගන්නා ලද මෙම පදවි තානාන්තරය නිසා වතිකාන උද්‍යානය තුළම,  එකම සමයේ, එක සමාන නිල ධවල වස්ත්‍ර අඳින "පාප් වහන්සේලා දෙනමක්"  ජීවත් වන තත්වයක් උද්ගත වී තිබේ. තත්වය බරපතල වී ඇත්තේ එතුමන් ගේ විශ්‍රාම ගැනීම "නීත්‍යනුකුල නොවන" බැවින් අවශ්‍ය වන්නේ නම් එතුමන්ට සසුන් පියධුරයට "යළිත් පැමිණිය හැකි බව" ප්‍රැන්සිස් විරෝධී ගතානුගතික මත වාදීන් විශ්වාස කරන නිසා ය.

සම කර්තෘ අති උතුම් රොබට් කාදිනල් සේරා හිමි


ශුද්ධාසනයේ දේව වන්දනාව පිලිබඳ පර්ෂදයේ ප්‍රධානී රොබට් කාදිනල් සේරා  හිමි ප්‍රැන්සිස් සුදොතුම් පිය විරෝධී කණ්ඩායමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නෙකු බව ලෝකය ම දන්නා කාරණයකි. විවිධ අවස්ථාවල එතුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දැක්මට හා ප්‍රතිපත්ති වලට විරුද්ධව ප්‍රසිද්ධියේ ම ක්‍රියා කලේ ය. එතුමා ගේ සමීප මිතුරන් වන්නේ සභාව තුළ සිටින ප්‍රැන්සිස් විරෝධී සංස්ථිතික මත වාදීන් පමණක් නොවේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දුප්පත් කම ගැන, මානව ගරුත්වය හා මානව අයිතිවාසිකම් ගැන, ධනේශ්වර අර්ථ ක්‍රමයේ  ආදීනව ගැන, පොදු නිවහන වන මිහිතල ආරාක්ෂා කිරීමේ වගකීම ගැන සහ සරණාගතයන් හා සාංක්‍රමනිකයන් ආරක්ෂා කිරීම ගැන කරන කියන දේ සම්බන්ධයෙන් එතුමන් සමග උරණ වී සිටින ලෝකයේ අති දක්ෂිනාංශික දේශපාලන බවත්තු ද කාදිනල්තුමා ගේ මිත්‍රයෝ ය.

(සබැඳි පුවත් මේ දිගුවෙන් කියවන්න:
ප්‍රැන්සිස් විරෝධී යුද්ධය
සභාවේ ගතානුගතිකවාදීන් ලෞකික දේශපාලන බලවතුන් සමග ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක?)

මෙම කණ්ඩායම නිරන්තරයෙන් වෑයම් කරමින් සිටින්නේ තීරණයක, යෝජනාවක හෝ නිර්දේශයක පසුබිම නො බලා, නොවිමසා  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගන්නා සෑම පියවරක් ම විවේචනය කිරීම ය.

මේ හේතුවෙන් මුහුකුරා ගිය විවාහක පිරිමින්ට පුදැදුරුවරය ලබා දීමට එරෙහිව මෙම පොත ලිවීම සඳහා එතුමන් සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ පොළඹවා ගනු ලැබුවේ ද යන්න ගැන ඇතැමෙක් සැක පළකරති. එතුමන්ට තවමත් ඉතා සමීපව සිටින මෙම කණ්ඩායම මීට කලින් වතාවල කල ආකාරයෙන් 92 හැවිරිදි වියේ පසුවන එතුමන්ට නිසි පසුබිම පෙන්වා නොදී එසේ කලේ ද යන්න සැක මතු වන කාරණයකි.  පොතේ සම කර්තෘත්වයෙන් ස්වකීය නම ඉවත් කරගන්නා බවට විශ්‍රාමික පාප් වහන්සේ ප්‍රකාශ කර ඇති බවට දැන්  වාර්තා වන්නේ ඒ නිසා විය හැකි ය.

සැලකිල්ලට ගත යුතු පසු බිම් කරුණු

සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ සහ රොබට් කාදිනල් සේරා හිමි මෙම පොත මගින් කතෝලික සභාව තිළිණයක් සේ සලකන පුදැදුරු බඹසර පිළිබඳව තර්ක රැසක් ඉදිරිපත් කරති.  එහෙත් මෙම පොත ලිවීමේදී ඔවුන් කරුණු කිහිපයක් අමතක කර හෝ නොසලකා හැර හෝ තිබේ. නැතහොත් එම කරුණු සඟවන්නට උත්සාහ කර තිබේ.

ඉන් ප්‍රධාන කරුණ වන්නේ පුදැදුරු බඹසර පිළිබඳව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ස්ථාවරය, දැක්ම සහ ඉගැන්වීම යි. "පුදදුරු බඹසර යනු කතෝලික සභාව ලැබූ තිළිණයක්" යයි මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රශ්න නැගුනු අවස්ථා කිහිපයක දී ම අවධාරණය කර තිබේ. පූජක වරුන් ගේ ළමා ලිංගික අපයෝජන සහ පූජක බඹසර අතර කිසිදු සම්බන්ධයක් නැති බව එතුමා පැහැදිලිව පෙන්වා දී තිබේ. එම සභා සම්ප්‍රදාය තමා කිසි කලෙකත් වෙනස් නොකරන බව ද එතුමා අවධාරණය කර ඇත.

දෙවැන්න නම්, පුදැදුරු බඹසර සම්බන්ධයෙන් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සිය අදහස් ප්‍රකාශ කරන්නට යන්නේ කවර පදනමක් මත පිහිටා ද යන කාරණයයි. මෙය මහා ඇමේසන් සිනඩ් කථිකාවේ දී එම කලාපීය රදගුරු, පුදැදුරු, පැවිදි සහ ගිහි (පිරිමි සහ කාන්තා) සමස්ත සභා නියෝජනය විසින් පුණ පුණා මතු කරන ලද ගැටලුවකි. එම කලාපයේ දුර බැහැර බොහෝ ප්‍රදේශවල කතෝලික ජනතාවට දිව්‍ය පූජා යාගයකට සහභාගී වීමට ලැබෙන්නේ බොහෝ විට මාසයකට එක් වතාවක් පමණි. දිව්‍ය පූජාව කතෝලික ජීවිතයේ උල්පත සහ කුඨප්‍රාප්තිය බව එම නියෝජිතයෝ පෙන්වා දුන්හ. දිව්‍ය පූජාවෙන් ලැබෙන ආධ්‍යාත්මික ජීවයෙන් තොරව කතෝලික ජීවිතයක් මිලින විය හැකි ආකාරය ඔව්හු පෙන්වා  දුන්හ. ඔවුන් ගේ යෝජනාව වූයේ එම ප්‍රදේශ වල පවතින පුදැදුරු හිඟයට විසඳුමක් ලෙස නිසි ප්‍රවිචයකින් පසුව "යහපත් චරිතයක් පවතින බවට සාක්ෂි සහිත විවාහක වැඩිහිටි පිරිමින්ට" පූජකවරය ලබා දීමයි. මේ ක්‍රියාවලිය දැනට එම ප්‍රදේශවල දූත මෙහෙවරේ නිරත ස්ථිර තේවාචාරීන් ගෙන් ආරම්භ කළ හැකි බවට ඔව්හු යෝජනා කළහ. එම සිනොඩ් සමුළුව කැඳවූ සසුනිසුරාණන් ලෙස  පියතුමා ප්‍රැන්සිස් පියතුමා සැරසෙන්නේ මේ දැවෙන දහම් සේවා අවශ්‍යතාව සම්බන්ධයෙන් ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කිරීමට මිස පුදැදුරු බඹසර සම්බන්ධයෙන් සභාවේ ඉගැන්වීම වෙනස් කිරීමට නොවේ. මේ වැදගත් කාරණය සැඟවීම තුළ පොතේ කර්තෘ වරුන් ගේ අරමුණ ගැන සැක මතු වේ.

පාප්වහන්සේ දෙනමක් එක විට? ඉතිහාසයෙන් පාඩම් ...

දේවධර්ම සහ සසුන්වේද ශාස්ත්‍රඥයන් රැසක් දැන් ප්‍රශ්න කරන්නේ  තමන් විශ්‍රාම ගනිද්දී "ගෞරවයෙන් විශ්‍රාමලත් පාප් වහන්සේ" යන  පදවියක් ස්ථාපනය කිරීමට සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ තීරණය කිරීම  කෙතරම් ප්‍රඥාගෝචර ද යන්නයි.

තමන් ලෝකයෙන් සැඟවී සිටින බවටත් නව පාප් වහන්සේට කීකරු වන බවටත් එතුමන් ප්‍රතිඥා දුන්න ද පසුගිය වසරක පමණ කාලයක සිට  එතුමන් ගේ ක්‍රියා තුළින් ප්‍රදර්ශනය වූයේ එතුමන් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ "විරුද්ධ පක්ෂයේ" දේව ධර්මය පිලිබඳ අනුශාසකයා හෝ ඔවුනට සහය දෙන බලවේගය ලෙස ක්‍රියා කරන බව ය. "විශ්‍රාමික" යන විශේෂණයට "පාප් වහන්සේ" යන පදවිය ඈඳී පවතින නිසා එතුමන් කරන කියන කාරණා වලට එයින් දැවැන්ත අධිකාරී බලයක් ලැබේ. ඇතැම් විට එතුමාට නොදැනී  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධුර කාලය අවලංගු එකක් කිරීමට වෑයම් කරමින් සිටින  සංස්ථිතික මතවාදී, ගතානුගතික මත වාදී කණ්ඩායම එතුමන් සිය අරමුණු සඳහා භාවිත කරනවා විය හැකිය. එය කුමක් වුවත් මේ තත්වය  පාලනයේ සිටින ක්‍රියාකාරී පාප් වහන්සේ (reigning Pope) කෙනෙකු ගේ  දැක්ම, දූත මෙහෙවර සහ මේ කාලයට උචිතව සභාව සඳහා වූ වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කිරීමේ නිදහසට බාධාවකි.

එබැවින් මෙය පාදක කරගනිමින් පාප්ධුරයේ ප්‍රතිසංස්කරණ ඇති කල යුතු බව සසුන්වේද විශාරදයෝ කියා සිටිති. (පාප් ධුරයේ වෙනසක් ඇති විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද  කිහිප වතාවක් ම ප්‍රකාශ කර තිබේ.) පාප් වහන්සේ නමකට විශ්‍රාම ගැනීමට අවකාශ සලසමින් විශ්‍රාමලත් පාප් වහන්සේ ගේ භූමිකාව සසුන් නීතියට හෝ වෙනම සුදොතුම් පිය නියෝගයකට ඇතුළත් කිරීම මගින් මෙය කල හැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ සඳහා ඉතිහාසයෙන් ද පාඩම් ඉගෙන ගත හැකි ය.

සොළොස්වන බෙනඩික් පාප් වහන්සේට පෙර  අවසන් වතාවට පාප් ධුරයෙන් ඉවත් වූයේ 1294 දී එම ධුරයට තේරී පත් වූ 5 වැනි සෙලස්ටීන් පාප් තුමා ය. පාලන අත්දැකීම් නොමැති වීම හේතුවෙන් පත් වී මාස 5 කින් එතුමා නිලය අත්හළේ ය (Abdicated). එතුමා බෙනදිකාන තාපසයෙක් විය. නිලය අත්හැරීමෙන් පසුව තමා  යළිත් තාපසාරාමය වෙත යන බව එතුමා දැන්වී ය. එහෙත් එතුමාගේ අනුප්‍රාප්තිකයා වූ 8 වන බොනිපස් පාප් තුමන් විසින් එතුමා සිර ගත කරනු ලැබීය. ඊට හේතුව එතුමා නව පාප් තුමාට විරුද්ධ බලවේගයක් ගොඩ නගනු ඇති බවට වූ සැකය යි. 1415 දී බටහිර දිග සහා භේදය නවත්වනු සඳහා එවකට පාප් තුමන් වූ 12 වන ග්‍රෙගරි පාප් තුමන්ට ඉල්ලා අස්වන ලෙස බල කරනු ලැබිණි. එම තත්වය තුළ ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එතුමන් හඳුන්වන ලද්දේ  "විශ්‍රාමික පාප් තුමන්" ලෙස නොව  "පෝර්තෝවේ කාදිනල් රදගුරු තුමා" ලෙස ය.

මේ ආකාරයෙන් පාප් වහන්සේ නමකට විශ්‍රාම ගත හැකි වන පරිදි නීති සංශෝධනය විය යුතු බව සසුන් වේද විශාරදයෝ පෙන්වා දෙති. එසේ වූ විට විශ්‍රාම ගන්නා පාප් තුමන් "රෝමයේ විශ්‍රාමික රදගුරු" වැනි නමකින් හඳුන්වනු ලැබීම වඩා යෝග්‍යය යන්න ඔවුන් ගේ මතය යි. එවිට ඔවුනට සිය අනුප්‍රාප්තිකයාගේ කටයුතු වලට මැදිහත් වීමේ හැකියාව නොලැබේ. මන්ද දැනට පවතින සසුන් නීතිය අනුව විශ්‍රාමික රදගුරු තුමෙකුට සිය අනුප්‍රාප්තිකයා ගේ කටයුතු වලට මැදිහත්වීම හෝ ඒ ගැන අදහස් දැක්වීමේ පවා තහනම් වී ඇති බැවිනි.

කෙසේ නමුත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එවැනි සංශෝධනයක් නොකරනු ඇත යන්න බොහෝ දෙනෙකු ගේ මතය යි. එතුමා විශ්‍රාමික සොළොස්වන බෙනඩික් පාප්තුමන් වෙත සලකන්නේ මහත් භක්තියකින් හා ගෞරවයකිනි. විශ්‍රාමික පාප් ධුරය සංශෝධනය කිරීම  වැනි පියවරක් මගින් එතුමන්ට සිත් රිදවීමක් ඇති වනවාට එතුමන් කිසිසේත් කැමැත්තක් නොදක්වයි.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය