"කාන්තාවන්ට එල්ල කෙරෙන සෑම හිංසාවක් ම දෙවියන් වහන්සේ කෙළෙසීමකි" සුදොතුම් පියතුමා නව වසර ආරම්භ කරමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙලා දකියි

“Every violence inflicted on women is a profanation of God" - Holy Father condemns violence against women in his first Homily in 2020


(2019 ජනවාරි 5)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2020 වසරේ ප්‍රථම ධර්ම දේශනාව වෙන් කළේ ගැහැණිය ගේ උත්තම භාවය අවධාරණය කිරීම සඳහා ය. එසේම කාන්තාවන්ට එල්ල වන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන් ම කාන්තා සිරුරට කෙරෙන අවමානයන් ද එතුමා එම ධර්ම දේශනාවේ දී දැඩි ලෙස හෙළා දුටුවේ ය. සමාජය කාන්තාවන්ටත් ඔවුන් ගේ සිරුරටත්  සළකන ආකාරය එහි මානුෂිකත්වය මිණිය හැකි මිනුම් දණ්ඩක් බව එතුමා අවධාරණය කලේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කෙළේ 2020 ජනවාරි පළමුවන දා උදාසන සාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ පවත්වන ලද දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව කරමිනි. කතෝලික සභාව ජනවාරි 1 වනදා සැමැරූයේ "දේව මාතාවන් වන මරිය වහන්සේ" ගේ මංගල්‍ය යයි. ගැළවුම් කරුවාණන් වන ජේසු සමිඳුන් මරියා නමැති මානව ලඳ ගේ කුසින් උපන් බව සිහිපත් කළ සුදොතුම් පියතුමා "මනුෂ්‍යත්වයේ නව උපත ආරම්භ වූයේ කාන්තාවකගෙන්" යැයි පෙන්වා දුන්නේ ය.

"ගැලැවීම නැගී සිටියේ ඇය ගෙන් - එනම් කාන්තාවගෙනි. මේ නිසා කාන්තාව නොමැතිව ගැලැවීමක් නොමැත. ...කාන්තාවෝ ජීවයේ උල්පත් වෙති. එහෙත් ඔව්හු නිරන්තරයෙන් හිංසාවලට, පහර දීම් වලට, දුෂ්‍ය කිරීම් වලට  ලක් කෙරෙති; බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට තල්ලු කෙරෙති; ඔවුන් ගේ කුසෙහි දරා සිටින ජීවිත විනාශ කිරීමට බලකරනු ලබති," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අනුශාසනාවේ දී පෙන්වා දුන්නේය.

"කාන්තාවන්ට පමුණුවනු ලබන සෑම හිංසාවක් ම කාන්තාවක ගේ කුසින් උපන් දෙවියන් වහන්සේ කෙළෙසීමකි" යි එතුමා අවධාරණය කළේය. "මානව සංහතියේ ගැලැවීම පැමිණුනේ ගැහැනියක ගේ කුසෙනි. මේ නිසා අප ගැහැණියට සලකන ආකාරයෙන් අපගේ මනුෂ්‍යත්වයේ තරම තේරුම් ගත හැකිය" යි එතුමා කියා සිටියේ ය.

ගැහැණිය ගේ සිරුර 'පූජා' කිරීම 

"වෙළෙඳ ප්‍රචාරණය සහ අසභ්‍ය ප්‍රකාශන වැනි ලාබ ලැබීමේ කර්මාන්ත නමැති දූෂිත ලෞකික පූජාසන මත කාන්තා සිරුරු පූජා කිරීම" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තරයේ හෙලා දුටුවේ ය.

"කාන්තාව ගේ සිරුර පාරිභෝගික වාදයෙන් නිදහස් කළ යුතු ය. ඊට ගෞරව හා බුහුමන් කළ යුතු ය. එය ලෝකයේ උතුම්  ම මාංශය ය. මන්ද එය අප ගලවා ගත් ප්‍රේමය පිළිසිඳ ගෙන ඉඉට උපත දුන් නිසා යැ" යි එතුමා අවධාරණය කළේය.

මේ වන විට මාතෘත්වය ද  අවමානයට ලක්ව ඇතැයි එතුමා පෙන්වා දුන්නේ ය. "මන්ද පොළියක් ලැබෙන එකම වර්ධනය ආර්ථික වර්ධනය නිසා ය."

දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරු ...

"තම කුසෙහි සිටින ජීවත් වන දරුවනට වඩා යහපත් අනාගතයක් පතා අතිශයින් අනතුරු සහිත ගමනක යෙදී වෙනත් රටකට යන්නට සිය ජීවිත වුව ද පරදුවට තබන මව්වරු ද අප අතර සිටිති. එහෙත් බඩ පිරෙන්නට සියල්ල තිබුණත් හදවත ප්‍රේමයෙන් හිස් වූ මිනිසුන් විසින් ඔව්හු ප්‍රතික්ෂේප කරනු ලබති" යි එතුමා පෙන්වා දුන්නේ ය.

සාමය අවශ්‍ය නම් ...කාන්තා ගෞරවය රකින්න 

"අපට වඩා යහපත් ලෝකයක් අවශ්‍ය නම්, එය යුද්ධයේ නොව සාමයෙන් පිරුණු නිවසක් වන්නට නම්, එහි හදවත වන්නේ සෑම කාන්තාවක ගේ ම ගෞරවය යි. සාමයේ කුමාරයා උපන්නේ කාන්තාවකගෙනි. සාමයේ දායකයා ද සාමයේ මධ්‍යස්ථ කාරිය ද වන්නේ කාන්තාවයි" යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

කාන්තාවට සිය තිලිණ බෙදා ගැනීමට හැකි වූ දාට ලොය වඩාත් එක්සත් සහ සාමකාමී එකක් වනු ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය.
"කාන්තාවන් ගේ ජයග්‍රහණය සමස්ත මනුෂ්‍යත්වයේ ම ජයග්‍රහණය වනු ඇතැ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය අවසන් කරමින් කියා සිටියේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය