"ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යළි ශක්තිමත් කොට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට දේශපාලන නායකයන් අනලස්ව ක්‍රියා කල යුතු යි" : නව අවුරුදු තානාපති හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනතුරු අඟවයි; ගෝලීය උණුසුම් වීමට එරෙහි සටන,පූජකවරුන් ගේ ළමා ලිංගික අපචාර, සහ මානව අයිතිවාසිකම් ගැනත් දීර්ඝ ලෙස කතා කරයි.

"Political leaders should work diligently to  reinforce democratic institutions and promote respect for the rule of law", Pope says addressing Diplomatic Corps: "conflicts are mostly rooted in inequality, injustice"  


(2019 ජනවාරි 9)
ඇමෙරිකාව සහ ඉරානය අතර අලුතෙන් පැණනැගී ඇති නොසන්සුන් තත්වය "සිත්වල කරදරයක් ඇති කරන විශේෂ තත්වයක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එය වඩාත් "විශාල ගැටුමක්" වෙත පරිවර්තනය වීමේ අවදානමක් පවතින බවට එතුමා අනතුරු අඟවයි.

"දෙරට අතර නොසන්සුන්තාව වර්ධනය වුවහොත් එය ඉරාකය යළි ගොඩනැගීමේ ක්‍රමවත් වැඩපිළිවෙළට බාධා ඇතිවිය හැකි අතර එය අප සියල්ලන්ටම වැලක්වීමට අවශ්‍යව ඇති වඩාත් පුළුල් ගැටුමක් දක්වා පරිවර්තනය වීමේ අවදානමක් තිබේ."

"එබැවින්, ජාත්‍යන්තර නීතියට පූර්ණ ලෙස ගරු කරමින්  සංවාදයේ සහ ආත්ම-සංයමයේ ගිණි සිළුව දල්වා තබා ගන්නා ලෙස අදාළ සියලු පාර්ශව වලින් මම ඉල්ලා සිටිමි"යි එතුමා ආයාචනා කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රකාශය කලේ වතිකානයට පත්කොට සිටින ලොව පුරා තානාපතිවරුන් අමතා කළ සිය වාර්ෂික දේශනයේ දීය. වතිකානයේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත මණ්ඩල ප්‍රධානීහු නව වසර ආරම්භයේ සුදොතුම් පියතුමාට සුබ පැතීමට පැමිණීම සම්ප්‍රදායකි. එහි දී එතුමා ඔවුන් අමතා කරන දේශනය විචාරකයන් නම් කරන්නේ පාප් වහන්සේ ගේ "ලෝක තත්ත්ව දේශනය" ලෙසයි.

(සම්බන්ධ තවත් පුවතක්:
"යුද්ධය වපුරන්නන් කිතුනුවන් නොවේ" - සාන්තා මාර්තා භාවනාව)

මෙවර මේ හමුව සාම්ප්‍රදායික ලෙස පැවැත්වුණේ 16 වන සියවසට අයත් "සාලා රෙජියා" ශාලාවේ දී ය. පිටු හතකින් සමන්විත වූ දේශනය තුළ එතුමා ලෝකය සහ විවිධ කලාප මුහුණ දෙන අර්බුද විස්තර කල අතර  නව වසරේ ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැන ඉඟි ලබා දුන්නේ ය.

නොසන්සුන්තාව තුළ වුව ද අහෝසි නොවන බලාපොරොත්තුව

ඇමෙරිකා-ඉරාන නොසන්සුන්තාව ගැන වැඩිදුරටත් කතා කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, "අපගේ මානව පවුල විනාශකාරී බවින් ක්‍රමයෙන් දරුණු වෙමින් ඇති යුද්ධ වල වර්ධනයක් නිසා කැළැල් වී සහ තුවාල වී තිබේ; එම යුද්ධ වල  බලපෑමට විශේෂයෙන් ම ලක්වන්නේ දුප්පත් සහ දුර්වල ජනතාව" යයි කියා සිටියේ ය.

"කනගාටුදායක ලෙස නව වසර සලකුණු වී තිබෙන්නේ දිරිගන්වන සුළු  නිමිති වලින් නොවේ. දරුණු තත්වයට පත් වෙමින් ඇති  නොසන්සුන් තත්ත්ව සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඊටත් වඩා වැඩි වී තිබේ."

"ඇමෙරිකා ඉරාන නොසන්සුන් තත්වය සහ ලොව පුරා කලාප රැසක පවත්නා ගැටුම් හේතුවෙන් අප බලාපොරොත්තු නැති කර නොගත යුතු ය. බලාපොරොත්තුව නොකඩවා පවත්වාගෙන යාමට ධෛර්යය අවශ්‍ය වේ, එහි තේරුම නම්, අයහපත, නපුර, දුක  සහ මරණයට සියල්ල තීන්දු කළ නොහැකිය යන්නයි; එසේ ම අතිශයින් සංකීර්ණ ගැටලුවලට වුව ද මුහුණ දිය යුතු හැකි බව සහ ඒවා  විසඳාලිය හැකි බව සහ එසේ කල යුතු ය යන්නයි" යි එතුමා විස්තර කලේ ය.

ළමා සහ පෙර-යොවුන් දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම - දෙවියන් වහන්සේට එරෙහි අපරාධයක් 

දරුවන් සහ යොවුන් ජනතාව බලාපොරොත්තුවේ පෙර නිමිත්තක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.
"එහෙත්, පූජක සාමාජිකයන් ද ඇතුළුව, වැඩිහිටියන් රැසක්, දරුවන් සහ පෙර-යොවුන් ළමයින් ඇතුළු යෞවනයන්ට එරෙහි බරපතල අපරාධවලට  වගකිව යුතු ය. ඔවුන් මෙම අපරාධවල යෙදෙන්නේ ළමා පරපුරේ  අවිසිංහකත්වය සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමිනි" යි එතුමා පෙන්වා දුන්නේ ය.

" මේවා දෙවියන් වහන්සේට රිදුම් දෙන අපරාධ ය. මෙම අපරාධ ඒවාට ගොදුරු වන්නන් තුළ ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික තුවාල සහ හානි ඇති කරන අතර සමස්ත ප්‍රජා ජීවිත වලට ද හානි ඇති කරයි" යි එතුමා කීවේ ය.

කතෝලික පූජකවරුන් විසින් සිදු කෙරුණු ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් සහ ඒවා වැලක්වීමට වතිකානය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව එතුමා විස්තර කළේය. මේ අරභයා ඉකුත් පෙබරවාරි මාසයේ වතිකානයේ දී පවත්වන ලද ලොව පුරා රටවල කතෝලික රදගුරු මණ්ඩල සභාපති  වරුන් ගේ මහ සමුළුව ගැන ද එතුමා පැහැදිලි කලේ ය.

"දේශගුණ විපර්යාසය"ට එරෙහිව සටන් වැදීම - මිහිතලය සුරැකීම 

අති විනාශකාරී පරිසර විපර්යාසයේ ආදීනවවලට ප්‍රතිචාර දැක්වීමට ලෝකයේ   ආණ්ඩු ගන්නා ක්‍රියාමාර්ග "ඉතා දුර්වල" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේ ය. මෙය "බරපතල සැලකිල්ලට හේතුවක්" යයි එතුමා කියා සිටියේ ය.

""ඉකුත් දෙසැම්බර මාසයේ මැඩ්රිඩ් නුවර පවත්වන ලද කාලගුණික විපර්යාස සාකච්ඡාවලදී ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමට ප්‍රඥාවන්ත සහ ඵලදායක ගැනීමට අවශ්‍ය දේශපාලන අභිලාශයක් අන්තර්ජාතික ප්‍රජාව තුළ දක්නට නොලැබීම කෙරෙහි අපගේ බරතල සැලකිල්ල යොමු වී තිබේ," යි එතුමා කීවේය.

කෙසේ වුව ද පාරිසරික අර්බුදය පිළිබඳව දේශපාලන නායකයන් ගේ අවධානය යොමු කිරීමට ලෝකයේ යොවුන් ජනතාව ගන්නා උද්යෝගිමත් ක්‍රියාමාර්ගවලට අප ප්‍රශංසා කල යුතු බව එතුමා පෙන්වා දුන්නේ ය. මේ අතරින් ලෝක අවධානයට වඩාත් යොමු වී ඇත්තේ ස්වීඩන් ජාතික පෙර-යොවුන් දැරියක  වන ග්‍රේටා තන්බර්ග් ගේ "අනාගතය සඳහා සිකුරාදාවල්" විරෝධතා ව්‍යාපාරය යි. "මැවිලිකරුවාණන් විසින්  අපට දෙන ලද නිවස ආරක්ෂා කිරීම ප විසින් නොසලකා නොහැරිය යුතු ය. යොවුන්  ජනතාව අපට කියා දෙන්නේ එය එසේ නොවිය යුතු බවයි. මන්ද සෑම මට්ටමකම අපට අභියෝග කරනු ලබන්නේ අපගේ පොදු නිවාස අප ආරක්ෂා කර ගත  යුතු  බවයි. පාරිසරික සිත් හැරීමක් වහාම අවශ්‍ය බව යොවුන් පරපුර අපට මතක් කර දෙයි" යි එතුමා පෙන්වා දුන්නේ ය.

එක්සත් ජාතීන් ගේ සමාරම්භක ප්‍රතිපත්ති තවමත් වලංගුයි 

වසර 2020 දී එකසත ජාතීන් ගේ සංවිධානයේ 75 වැනි සංවත්සරය සමරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය.
"එම සංවිධානයේ සමාරම්භ ප්‍රතිපත්ති - එනම්, සාමය සඳහා අභිලාශය, යුක්තිය සහ සාධාරණත්වය ලුහුබැඳ යාම, මානව පුද්ගලයා ගේ ගරුත්වයට ගරු කිරීම සහ මානුෂවාදී සහයෝගිතාව සහ ආධාර කිරීම යන කාරණා - අදටත් එක සේ ම වලංගුය. ඒවා අදටත් අන්තර්ජාතික සම්බන්ධතාවල පදනම විය යුතු ය." යි එතුමා කීවේය.

23 වැනි ජුවාම් සුදොතුම් පියතුමා ගේ "Pacem in terris" විශ්ව ලේඛනය උපුටා දැක්වූ  එතුමා සමස්ත මානව ප්‍රජාව ම සියල්ලන් ගේ පොදු යහපත සඳහා වැඩ කිරීම ආචාර ධාර්මික මිනුම් දණ්ඩක් විය යුතු බව කීවේ ය. ඒ මත පිහිටා සිටි කල "මානව අයිතිවාසිකම් මානව ස්වභාවය තුළ නෛසර්ගිකවම  පදනම් වී තිබේ" යි එතුමා අවධාරණය කලේ ය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය