"මගේ අවාදර්ශය ගැන සමාවන්න" කාන්තාවක ගේ අත ගසා දැමීමේ සිද්ධිය ගැන සුදොතුම් පියතුමා සමාව ඉල්ලයි. කතෝලිකයන් සහ මාධ්‍ය තුළ බෙදීමක් ඇතිකළ දෙසැම්බර් 31 වන දා සිද්ධිය ගැන විමර්ශනයක්

"I apologize for my bad example" Pope Francis’s hand slap and apology a true moment of his appealing "humanity" 


(2019 ජනවාරි 4)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2020 වසර ආරම්භ කළේ ඊට කළින් දා - 2019 දෙසැම්බර 31 වන දා - සන්ධ්‍යාවේ තමන් ගේ ඉවසීම නොමැති වීම නිසා සිදු වූ සිද්ධිය ගැන සමාව ඉල්ලා සිටිමිනි.

දෙසැම්බර 31 වන දා සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද සන්ධ්‍යා මෙහෙයෙන් පසුව ශුද්ධෝත්තම පියතුමා සාන්ත පීතර චතුරශ්‍රයේ ඉදිකර ඇති ගවලෙන වෙත යමින් සිටියේ ය. ඒ අතර එතුමා සුපුරුදු  පරිදි දැඩි උද්‍යෝගයෙන් යුතුව චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනාකරුවන් - විශේෂයෙන් කුඩා දරුවන් - ස්පර්ශ කරමින් සහ ඔවුනට සිය අත දෙමින් ගමන් කරමින් සිටියේ ය.

එක් තැනක දී එතුමා කුඩා දැරියක ගේ අතට අත දී එතැනින් නික්ම  අනෙක් දිශාවට යන්නට හැරෙද්දී ම ඒ අසල සිටි කාන්තාවක් අනපේක්ෂිත ලෙස එතුමා ගේ අත වැරෙන් තමා වෙතට ඇද ගත්තා ය. මුලින් එක් අතකින් එතුමා තමා වෙතට ඇද ගත්  එම කාන්තාව පසුව සිය දෑතින්ම එතුමා තමා වෙතට අදින්නට වූවාය. මෙම අනපේක්ෂිත ග්‍රහණය නිසා සුදොතුම් පියතුමා පැකිලී වැටෙන්නට ගිය අතර එතුමාට වේදනාවක් හටගත් බව  පෙනෙන්නට තිබිණි. එම අනපේක්ෂිත ග්‍රහණයෙන් නිදහස්  වීම සඳහා එතුමා සිය අත ඉවත් කරගැනීමට කිහිප වරක් උත්සාහ කළත් ඇය තදින් අත ග්‍රහණය කරගෙන සිටීන බව පෙනෙන්නට තිබිණි. මේ නිසා නිසා එයින් මිදීම  සඳහා තරමක් වැරෙන් ඇගේ අතට පහර දීමට එතුමා සිදු විය.

ආසියානු මුහුණුවරක් සහිත මෙම කාන්තාව ගේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි නැත. ඇය සුදොතුම් පියතුමන් තමන් වෙතට ඇද ගත්තේ කුරුසියේ ලකුණ සලකුණු කරගැනීමෙන් පසුව ය. (මෙතරම් දෙයක් සිදු වෙද්දීත් සුදොතුම් පියතුමා ගේ ආරක්ෂක අංශය එදෙස බලාගෙන නිෂ්ක්‍රීයව සිටියේ මන්ද යන්න ද වෙනම විමසා බැලිය යුත්තකි.)

සජීවීව විකාශය කරන ලද මෙම අවස්ථාවේ වීඩියෝ දර්ශන සැනෙකින් ලොව පුරා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.


විචාර, විමර්ශන සහ කොමෙන්ටු 

මුහුණු පොත සහ ට්වීටර් ඔස්සේ මෙන් ම විවිධ වෙබ් අඩවි ඔස්සේ ද මේ සිද්ධිය ගැන විචාර සහ විමර්ශන පළවන්නට විය. 

ඇතැම් කතෝලික මෙන් ම අකතෝලික ජනතාව ද කියා සිටියේ ශුද්ධෝත්තම පියතුමන් ගේ මෙම ක්ෂණික  ප්‍රතික්‍රියාව සාධාරණ එකක් බවයි. සියාටිකා රෝග තත්වයේ ඉතිහාසයක් සහිත 83 වැනි වියේ පසුවන එතුමා තමා තුළ හටගත් ක්ෂණික වේදනාවෙන් මිදෙන්නට  එසේ කල බව ඔවුහු කියා සිටියහ. 

එහෙත් තවත් බොහෝ පිරිසක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම හදිසි ප්‍රතික්‍රියාව දැඩි ලෙස හෙළාදකිමින් සිය විචාර සහ අදහස් සටහන් කළහ. ඔවුන් පෙන්වා දුන්නේ මෙම සිද්ධියෙන් සොදොතුම් පියතුමා පැළඳගෙන සිටින "වෙස්මුහුණ" ඉවත් වූ බවයි. මේ සිද්ධිය පාදක කරගෙන එතුමන් විවේචනය කරන්නන් අතර ඉදිරියෙන් ම සිටින්නේ පසුගිය වසර හයකට අධික කාලය  පුරා ම එතුමන් විවේචනය කල කතෝලික ජනමාධ්‍ය සහ එතුමා ගේ කතෝලික සමාජ ක්‍රියාකාරකම් නිසා කිපී සිටින අති සම්ප්‍රදාය මතවාදී  කතෝලික දේශපාලකයන් ය. 

සසුන් පිය ප්‍රැන්සිස් විරෝධී නාලිකාවක් ලෙස ප්‍රකට ඇමෙරිකාවේ EWTN කතෝලික නාලිකාවේ විචාරක රේමන්ඩ් අරෝයෝ සුදොතුම් පියතුමන් හැඳින්වූයේ "කෛරාටිකයකු" ලෙස ය. දෙසැම්බර් 31 වැනිදා කාන්තාවක ගේ අතට "ප්‍රචණ්ඩ ලෙස පහර දී ඉන් පසුදා උදාසන කාන්තා අයිතිවාසිකම් ගැන කතා කිරීම කෛරාටික කමක්" බව ඔහු කියා සිටියේ ය. (ජනවාරි පළමුවන දා ධර්ම දේශනයේ දී සුදොතුම් පියතුමා කතා කලේ කාන්තාවනට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවත්වීම ගැන ය.
ඒ තොරතුරු මේ දිගුවෙන් කියවන්න:
"කාන්තාවන්ට එල්ල කෙරෙන සෑම හිංසාවක් ම දෙවියන් වහන්සේ කෙළෙසීමකි" සුදොතුම් පියතුමා නව වසර ආරම්භ කරමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙලා දකියි)

ඉතාලියේ අති දක්ෂිනාංශික නොදර්න් ලීග් පක්ෂයේ නායක, හිටපු ස්වදේශ කටයුතු ඇමැති මතෙයෝ සැල්වීනි ද  මෙම සිද්ධියේ විකට සේයාරුවක් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළකරමින් සුදොතුම් පියතුමන් විවේචනය කලේ ය. සැල්වීනි ද උග්‍ර ප්‍රැන්සිස් විරෝධියෙකි. ඊට හේතුව වන්නේ සුදොතුම් පියතුමා සරණාගත සහ සංක්‍රමණික ජනතාව ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමයි. සැල්වීනි මීට කලින් ආණ්ඩුවේ සභාග පක්ෂයේ නායකයා බවට පත් වූයේ සරණාගත විරෝධී හැඟීම් ඉතාලි ජනතාව තුළ ඇති කරමිනි.   

රොයිටර් ප්‍රවෘත්ති සේවාව සිද්ධිය වාර්තා කර තිබුණේ "“Disgruntled Pope Francis pulls himself free from woman’s grasp”යන සිරස්තලයෙනි. "අමනාපයෙන්? වීඩියෝව හරියට බලන්න. එතුමා ඉන්නේ දැඩි වේදනාවෙන්. එතුමා දැඩි වේදනාවෙන් ඉන්න බව පැහැදිලියි" යි ට්විටර් ගිණුම ඔස්සේ ඊට ප්‍රතිචාර දැක්වූ කෙනෙක් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ද ඇතැම් සිංහල වෙබ් මාධ්‍ය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම අවස්ථාව එතුමා දැඩි ලෙස විවේචනය කිරීමට යොදාගෙන තිබිණි. ඇතැම් ඒවායේ සඳහන් කරුණු කිසිදු ඓතිහාසික පදනමකින් තොර ඒවා ය. ඒවායේ විචාර වලද වූයේ සත්‍ය සාධක වලින් තොර කරුණු ය. ඇතැම් ඒවා ප්‍රැන්සිස් විරෝධී අන්තර් ජාතික මාධ්‍ය වලින් පරිවර්තනය කල කරුණු බව පෙනෙන්නට තිබිණි.

"සමා වෙන්න"

එහෙත්  එම සිද්ධියට පැය  24ක් ගත වීමටත් කළින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය පුරා දෝංකාර දෙන වඩාත් ආදර්ශවත් ක්‍රියාවක් කළේය. එනම් සිය ක්‍රියාවට සමාව ඉල්ලා සිටීමයි.

2020 ජනවාරි පළමු වන දින මධ්‍යහ්නයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවැත්වුණු තුන්කාල ආරාධනා මරිය දැහැනේ එතුමා ගේ දේශනාවේ තේමාව වූයේ දෙවි පියාණන් වහන්සේ විසින් ජේසු සමිඳුන් තුළ මනුෂ්‍යයා වෙත පිරිනමණ ලද ගැලවීම යි.

"ජේසු සමිඳුන් තුළ පියාණන් වහන්සේ විසින් පිරිනමණ ලද ගැලවීම ඇස් බැන්දුමක් නොවේ.  එය ඉවසිලිවන්ත ය. එනම් එය ප්‍රේමයේ ඉවසීම මත පදනම් වෙයි. එය පාපයට මුහුණ දී එහි බලය විනාශ කරයි" යි එතුමා එම දේශනාවේ දී විස්තර කළේ ය.
එතැන දී එතුමා සිය දේශනා පිටපතින් මඳක් ඉවත්ව මෙසේ කියා සිටියේ ය:
"ප්‍රේමය අපව ඉවසිලිවන්ත කරනවා. අපට බොහෝ විට ඉවසීම නැතිව යනවා. මටත් එහෙම වෙනවා. ඊයේ රාත්‍රියේ මගේ අයහපත් ආදර්ශය ගැන මම සමාව  ඉල්ලනවා."  

අපි වගේ මොහොතක් ....

"වැරදීම මනුෂ්‍ය ගතියකි; සමාව ඉල්ලීම දේව ගතියකි" යි අප හොඳින් දන්නා ප්‍රස්ථා  පිරුලක් අපට උගන්වයි. 

අප ජීවත් වන  යුගයේ දක්නට ලැබෙන ප්‍රමුඛ කාරනාවක් වන්නේ අපගේ  දේශපාලන, සමාජ මෙන් ම ආගමික නායකත්වය නිරන්තරයෙන් අනේකාකාර වැරැදි කළත්, ඇතැම් විට වැරැදි ඉක්මවා යන අපරාධ කළත්, ඒවා වැරැදි හෝ අපරාධ බව පෙනුනත්, දැනුණත්,  ඒවා පිළිගෙන සමාව ඉල්ලීමට තරම් බැහැපත් කමක්  ඔවුන් තුළ නොමැති වීමයි. ලෝක නායකයන් තුළ දක්නට ලැබෙන මෙම මුග්ධ අහංකාරය නූතන ලෝකය පුරා ඔඩු දුවා ඇති විවිධ සමාජයීය, දේශපාලන මෙන් ම ආගමික වූ ද 'පිළිකා' වලටත් අසහනයටත් ප්‍රධාන හේතුවක්  වී තිබේ.  

එම පදනමින් බැලූ කල තමන් ගේ ඉවසීම නොමැති වී සිදු වූ  ක්‍රියාව ගැන පැය 24ක් ඉකුත් වීමටත් කළින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දැක්වූ ප්‍රතිචාරය ලෝකය පුරා දෝංකාර දෙන්නක් බවට පත් වී තිබේ. 

තමාට ද "ඉවසීම නොමැති  වූ" බව සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශ මගින් පිළිගනියි. එසේ ම එය "අවාදර්ශයක්" බව ද එතුමා පිළිගනියි. එතැනින් නොනැවතී, ආගමික තනතුරේ බල පුළුවන්කාර කමින් ශුද්ධෝත්තම පිය ධුරයට ලැබෙන "අහංකාරය" ඉවත ලමින් එතුමා එම ක්‍රියාව ගැන බැහැපත්ව සමාව ඉල්ලයි.

මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමාව ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව නොවේ. ඊටත් වඩා වැදගත් තවත් අවස්ථාවක එතුමා ලෝකයෙන්  ම සමාව ඉල්ලා සිටියේ ය. එනම් ලිංගික අපයෝජන සිදු කල පූජක වරුන් ආරක්ෂා කල බවට චෝදනාවට ලක්ව සිටි චීලි රටේ හුවාන් බරෝසෝ රදගුරු තුමන් ආරක්ෂා  කිරීමට එතුමන් ගත් උත්සාහය වැරැද්දක් බව ඔප්පු වූ අවස්ථාවේ දී ය. චිලී දේශයේ කල අපෝස්තලික චාරිකාවේ දී සුදොතුම් පියතුමන් කියා සිටියේ බරෝසෝ රදගුරු තුමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා "එතුමා ගේ නම කෙලෙසීම්, මඩ ගැසීම්" බවයි.

එහෙත් ආපසු ඉතාලිය බලා යන ගුවන් ගමනේදී චීලි ජාතික යොවුන් වාර්තාකාරිනියක් බිඳුණු හඬින් එතුමාගෙන් මෙසේ ඇසුවා ය:

"මේවා අසත්‍ය චෝදනා බවට ඔබ චෝදනා කරන්නේ මොන පදනමක් මතද?"
එතුමා ඇයගෙන් මෙසේ විමසීය: "ඒවා සත්‍ය බවට ඔප්පු කරන්න සාක්ෂි දෙන්න...."
එවිට එම වාර්තාකාරිනිය ඉතා සෙමින් මෙසේ ඇසුවා ය: "මීටත් වඩා ඔබට අවශ්‍ය මොන වගේ සාක්ෂි ද?"

එහෙත් පෙරළා රෝමය  බලා ගොස් එක් දිනක් තුළ සුදොතුම් පියතුමා තීරණාත්මක පියවරක් ගත්තේය. එනම්, බොරෝස් අගරදගුරුතුමාට එරෙහිව ඇති චෝදනා ගැන සාක්ෂි විමසීම සඳහා ඉහල පෙළේ පර්යේෂණ කණ්ඩායමක් චීලියට පිටත් කර යැවීමයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කරන ලද්දේ අතිශයින් අපක්ෂපාතී, අවංක සහ නීතියට ගරු කරන පරීක්ෂයකු ලෙස ගෞරවාදරයට පත්ව සිටින සභා නීති විශාරදයකු වන මෝල්ටා ජාතික චාර්ල්ස් ෂික්ලූනා අගරදගුරු හිමිපාණන් ය.

පිටු 2,300 කින් සමන්විත ෂික්ලුනා අගරදගුරු හිමිපාණන් ගේ වාර්තාව ලැබුණු පසුව සුදොතුම් පියතුමා සත්‍යය අවබෝධ කරගත්තේය. ඉන් පසුව එතුමා චිලීයේ කතෝලික රදගුරු මණ්ඩලයට දීර්ඝ ලියුමක්  ලියුවේ ය.   ඒ ලියුම පුරා දිව ගිය අදහස මෙසේ ය: "පූජකවරුන්ගේ අතවර වලට ගොදුරු වී 'කුරුසියේ ඇණගැසුම් කෑමට ' ලක්වූවන්ගේ  වේදනාවත්  ලැජ්ජාවත්  මට දැනේ. ...මෙම තත්වය අවබෝධ කරගැනීමේදීත් තක්සේරු කිරීමේදීත්, සත්‍ය වූත් සමතුලිත වූත් තොරතුරු නොමැති වීම නිසා  මා බරපතල වැරැදි සිදුකර  තිබේ. ... මේ හේතුව නිසා මා විසින් සිත් රිදවන ලද සියල්ලන්ගෙන් මම සමාව ඉල්ලමි."

ඉන් අනතුරුව පූජක වරුන් ගේ අපචාර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ  දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතා නිර්භීතව ක්‍රියා කරන ආකාරය පැහැදිලි වේ.

තම වැරැද්ද අවබෝධ කරගෙන, එය පිළිගෙන ඊට බැහැපත්ව සමාව ඉල්ලා, එම වැරැද්ද නිවැරැදි  කරගන්නෝ සැබෑ නායකයෝ ය.

වෙනත් සුදොතුම් පියවරු

මෑත කාලීන පාප් වහන්සේ  කිහිප දෙනෙකු ම  ප්‍රසිද්ධියේ ඉවසීම නොමැති වී කළ තරවටු කිරීම් මෙන්ම සමාව ඉල්ලීම ගැන උදාහරණ සපයති.

ශු. දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා සිය පෝලන්ත ජාතික දැඩි බවත් , ඉක්මනින් කේන්ති යන බවත් නොසැඟ වූ පාප් වහන්සේ නමක් විය. එතුමා කියන්නට ඇති දේ ප්‍රසිද්ධියේ කියන කරන නායකයෙක් ද විය. එක් කැපී පෙනෙන උදාහරණයක් වන්නේ 1983 දේ එතුමා නිකරගුවාවට කල සංචාරයේ දී එරට පියතුමෙකුට ප්‍රසිද්ධියේ කළ තරවටුව යි. සුදොතුම් පියතුමා  මනගුවා ජාත්‍යන්තර ගුවන් තොටුපළට සැපත් වූ අවස්ථාවේ දී නිකරගුවා ජාතික අර්නස්ටෝ කාදෙනාල් පියතුමා  එතුමා ගේ මුද්ද සිපාචාර කොට පිළිගැනීම සඳහා එතුමන් අබියස දණ ගැසුවේ ය. ඒ වන විට කාදෙනාල් පියතුමා එරට සැන්ඩිනිස්ටා පාලනයට සහාය දෙමින් සිටියේය.  ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා සිය දබරැඟිල්ල ඔසවමින් ප්‍රසිද්ධියේ එම පියතුමාට තරවටු කළේය. එපමණක් නොව තමාට ආචාර කිරීමට සුදොතුම් පියතුමා කාදෙනාල් පියතුමාට ඉඩ නොදුන්නේ ය

පාප් වහන්සේලා විසින් සමාව ඉල්ලා සිටීම සම්ප්‍රදායක් බවට පත් කරන ලද්දේ ද ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි. වසර 2000 පවත්වන ලද මෙහෙයක දී එතුමා කතෝලික සභාව විසින් ජුදෙව්වන්, දුර්ලබ්ධිකයන්, කාන්තාවන් සහ ස්වදේශික ජනතාවන් වැනි විවිධ ජනකොටස් අරභයා කරන ලද  වැරදි වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ ය.

පාප් වහන්සේලා ගේ සමාව ඉල්ලීමේ සම්ප්‍රදාය තමන් වෙත පවරා ගත්  ප්‍රථම පාප් තුමා සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ බව විචාරකයෝ පෙන්වා දෙති. වසර 2008 දී එතුමා ඔස්ට්‍රේලියාවට සැපත් වූ අවස්ථාවේ එරට පූජකවරුන් විසින් සිදු කරන ලද සියලු ළමා අපචාර වෙනුවෙන් එතුමා පෞද්ගලිකව ම සමාව ඉල්ලා සිටියේ ය. එය පාප් වහන්සේ නමක් එලෙස සමාව ඉල්ලා සිටි ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව  විය. "ඔබගේ විශ්වීය පියතුමන් ලෙස මා ඔබගේ වේදනාව බෙදා ගන්නවා" යි එතුමා එහි දී සඳහන් කළේය.

නට්සි ජර්මනිය විසින් ජුදෙව් සංහාරයක් (හොලොකොස්ට්) සිදුකලේ නැතැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා සභාවෙන්  නෙරපා හැර සිටි යුරෝපීය රදගුරු තුමකුගේ එම නෙරපා හැරීම සොළොස්වන බෙනඩික් පාප් තුමා 2009 දී ඉවත් කළේය. එහෙත් පසුව එහි වැරැද්ද අවබෝධ වූ එතුමා 'කරුණු හරිහැටි නොදැන ගත් එම තීරණය ගැන' සමාව ඉල්ලා සිටියේ ය.

බෙනඩික් පාප් වහන්සේට ද සෙනග අතරින් හිරිහැර සිදු විය. එතුමා 2009 නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය  පූජාව  සඳහා බැසිලිකා දෙව් මැදුරට පෙරහැරින් පැමිණෙද්දී සෙනග අතර සිටි කාන්තාවක් කඩා පැණ එතුමන් තමා වෙතට ඇද ගන්නට උත්සාහ කලේ ය. මෙහිදී බිම ඇද වැටෙන්නට ගිය පාප් වහන්සේ නැගිටු වීමට ආරක්ෂක සේවාව කඩිනමින් ඉදිරියට පැමිණියේ ය.

මානුෂීය මොහොත 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ නව වසරේ සිද්ධිය ගැන ප්‍රතිචාර දක්වන ජනතාව පෙන්වා දෙන ප්‍රධාන කරුණක් තිබේ. එනම්, එම ක්‍රියාව එතුමන් තුළ වන සිත් ඇදගන්නා "මනුෂ්‍යත්වය" හෙළිදරව් කරන්නක් බව යි. මෙම සිද්ධි දෙක ගැන තැබූ ට්වීටර් සටහන් මගින් ජනතාව ගේ එම ප්‍රතිචාරය පෙනෙන්නට තිබේ.

එක් ට්වීටර් සටහනක මෙසේ කියැවී තිබිණි : "කිසිවෙකුත් පරිපූර්ණ නොවේ. සමාව ඉල්ලීම, සමාව දීම සහ විමුක්තිය ඊටත් වඩා යහපත් ය."

තවත් කෙනෙකු ගේ අදහස මෙසේ විය: "යමෙකු තමන් මෙයාකාරයෙන් තමන් වෙත ඇද ගැනීම බියකරු විය හැකියි. එහෙත් එතුමා මනුෂ්‍යයකු බව පෙන්නුම්කිරීම ඉතා අගෙයි. ඒ වගේ ම සමාව ඉලා සිටීමට තමන් සතු හැකියාව එතුමා පෙන්නුම් කිරීම ඊටත් වඩා හොඳයි. මේ ලෝකයේ අපට එය වැඩි වැඩියෙන් භාවිත කල හැකි නම් අපේ ලෝකය මීට වඩා  වෙනස් තැනක් වේවි."

නව වසර උදා වෙද්දී පැය 24ක් ඇතුළත සිදු වූ මෙම සිද්ධි දෙකෙන් ලැබෙන ආදර්ශය එයයි.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය