"ඔබගේ රදගුරු හිමිවරුන් සහ පුදැදුරු වරුන් තුළින් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමය විද්‍යමාන වන්නැයි කියා ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්න" බදාදා ධර්මෝපදේශය - "රදගුරු - පුදැදුරු තුමන්ගේ වගකීම අවදිව සිට මුරකිරීමයි

"Pray that bishops, priests will manifest Christ's love", Pope Francis urges at the General Audience


(2019 දෙසැම්බර් 7)
තමන් ගේ සේවාවට සහ රැකබලා ගැනීමට භාර වී සිටින කතෝලික ජනතාව ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ වගකීමක් පූජක වරුන් සහ රදගුරු හිමිවරුන් සතුව පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නිසා  ඔවුන් අතින් එම කාර්යභාරය නිසි ලෙස ඉටු වන පිණිස විශ්වාසිකයන් ඔවුන් වෙනුවෙන්  නිරන්තරෙන් යාච්ඥා කළ යුතු බව එතුමා පවසයි.

" සභාව වෙතත්, ඇය තමන් තුළ සංරක්ෂණය කරන විශ්වාසයේ නිධිය වෙතත් අප තුළ පවතින ප්‍රේමය ප්‍රබෝධවත් කරන ලෙස ඉල්ලා සමිඳුන් යදිමු. එසේම අපගේ පුදැදුරු-රදගුරු වරුන් සිය ජීවිතයෙන් දිව්‍ය එඬේරාණන් ගේ ස්ථිර බවත් මෘදු බවත් ප්‍රකාශ කරනු පිණිස ඔවුනට යාච්ඥාවෙන් ආධාර කරමින් අප ද බැටළු රැල රැකබලා ගැනීමට සම වගකිවයුත්තන් කරන ලෙස ද අප සමිඳුන්ට යාච්ඥා කළ යුතු ය. ...රදගුරු හිමි වරුන්  සිය ජනතාව රැකගැනීම පිණිසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පිණිසත් නිරන්තරයෙන් ම ඔවුනට සමීප විය යුතු" යයි ද එතුමා කියා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කලේ දෙසැම්බර් 4 වන බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පවත්වන ලද පොදු හමුවේ සිය ධර්මෝපදේශ කතාව කරමිනි. ඉකුත් මාස තුන තුළ සිය ධර්මෝපදේශ දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා භාවනා කලේ අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොත ගැනයි. මෙදින එතුමා එම පොතේ 20 වන පරිච්ඡේදය කෙරෙහි වන්දනාකරුවන් ගේ අවධානය යොමු කලේ ය.

"සෑම කිතුනු වකු ම අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ  20 වන පරිච්ඡේදය කියවිය යුතුයි."

අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ  20 වන පරිච්ඡේදයේ කියවෙන්නේ පාවුළු අපෝස්තුළු තුමා එපීසයේ සිය අපෝස්තලික මෙහෙවර අවසානයේ සමුගත් ආකාරය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. පාවුළු තුමා එපීසයෙන් සමුගනිමින් තමා නික්ම යාමෙන් පසුව, ඇතැම් විට යළිත් කවරදාක වත් තමන් මුණනොගැසෙන, එම සංඝයට නායකත්වය දෙන්නට යන පිරිසට ලබා දෙන "ආධ්‍යාත්මික ගිවිසුමක්" මෙම පරිච්ඡේදයට ඇතුළත්ව තිබෙන බව එතුමා පැහැදිලි කළේය.

"20 වන  පරිච්ඡේදය ක්‍රියා පොතේ එන සුන්දරම කොටසයි. මේ නිසා මේ පරිච්ඡේදය කියවන ලෙස සෑම කිතුනුවෙකු ගෙන්ම මා ඉල්ලා සිටිනවා. සමුගන්නේ කෙසේද යන්න ඉගෙන ගන්නටත් මේ පරිච්ඡේදය උදව් වෙනවා ..."සිය ලිඛිත පිටපතෙන් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා කීවේ ය.

"මේ පරිඡේදය තුළ ශු. පාවුළු තුමා සිය සංඝයට අනුශාසනා කරනවා. එතුමා ඔවුනට කියන්නේ කුමක් ද? 'ඔබ ඔබවත් සමස්ත බැටළු රැලත් රැකබලා ගන්න.' එතුමා ගේ උපදේශය එයයි. මේ බැටළු එඬේරා ගේ කාර්ය භාරය යි. බැටළු එඬේරා ගේ කාර්ය භාරය කුමක් ද? අවදිව සිටීම සහ තමාව සහ තමා ගේ රැල ආරක්ෂා කිරීමයි," යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"පුදැදුරු වරුන් (පූජක වරුන්) අවදිව සිට ආරක්ෂා කළ යුතු යි; රදගුරු හිමි වරුන් සහ පාප් වහන්සේ අවදිව සිට ආරක්ෂා කළ යුතු යි. රැල මුර කිරීම සඳහා මෙන් ම තමන් මුර කිරීම සඳහා ද අවදිව සිටින්න. මේ අවදිව සිට මුර කිරීමේ වගකීම ඉටු කරන්නේ කෙසේදැ යි ඔබ ගේ හර්දය සාක්ෂිය පරීක්ෂා කර විමසන්න," යි එතුමා සියල්ලන් ගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියා පොතේ 20:28 උපුටා දැක්වූයේ ය.
"ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් භාරකාරයකු ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලා ගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන් ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන්වහන්සේ ගේ සභාවේ එඬේරුන් වන්න."

"ශුද්ධ වූ බයිබලය රැගෙන අපෝස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ 20 වැනි පරිච්ඡේදය කියවන්න අමතක කරන්නට එපා! විශේෂයෙන් ම එහි 17 වැනි වගන්තියේ සිට ඉදිරියට කියවන්න. එම කොටස මැණිකක් වගේ යි," යි එතුමා සඳහන් කලේ ය.

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය