"කළමනාකරුවන් හෝ ස්වාමිවරුන් නොව සේවකයන් වන්න! වීදි වලට බැස ඔබට භාර කර තිබෙන ජනතාව ගේ ජීවිත මුහුණට මුහුණ මුණ ගැසෙන්න!" සුදොතුම් පියතුමා ආසියානු රදගුරු හිමිවරුනට දුන් අභියෝග; "ධර්මදානයට බාධා කරන යල් පැනගිය මානසිකත්වයන් සහ ව්‍යුහයන්ගෙන් ඉවත්ව ආසියානු සභාවේ අනාගතය නිර්මාණය කර ගන්න!"

"Be servants, not managers ..carve out Asian Church's future.." Pope's challenge to Asian bishops  


(2019 සැප්තැම්බර් 22)
කතෝලික නායකයන්, විශේෂයෙන් රදගුරු හිමිවරුන් "කළමනාකරුවන් හෝ ස්වාමිවරුන් නොව සේවකයන් විය යුතු" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උපදසේ දෙයි.

"අපත් මේ ජනතාව ගේ ම කොටසකි. අප තෝරා ගනු ලැබ සිටින්නේ සේවකයන් වීමට ය. ස්වාමිවරුන් හෝ කළමනාකරුවන් වීමට නොවේ. අපි  අප සේවය කරන ජනතාවට සවන් දෙමින්, ඔවුන් ගේ ගරුත්වයට ගෞරව කරමින්, ඔවුන් ගේ අපෝස්තලික මුල පිරීම් නිතර අගය කර ඒවා ප්‍රවර්ධනය කරමින්, ඉතා ඉවසිල්ලෙන් සහ කරුණාවෙන් ඔවුන් කැටුව යා යුත්තෙමු" යි එතුමා රදගුරු හිමිවරුන්ට  සහ කතෝලික නායකයනට අනුශාසනා කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම උපදෙස් දුන්නේ ඉකුත් දා තායිලන්තයේ  අපෝස්තලික සංචාරය කරන අවස්ථාවේ ආසියාවේ රදගුරු හිමිවරුන් අමතමිනි.

තායිලන්ත සංචාරයේ දෙවන දිනයේ, එනම් නොවැම්බර 22වනදා එතුමා එරට ප්‍රධානතම සිද්ධස්ථානායක දී ආසියානු රදගුරු හිමිවරුන් අමතා කතා කලේ ය. එය බැංකොක් අගනුවරට බටහිර දිගින් නඛෝන් පතෝම් නගරයේ පිහිටි භාග්‍යවන්ත නිකුලස් බන්කර්ඩ් කිතම්බරුන් තුමන් ගේ සිද්ධස්ථාන සංකීර්ණය යි. මෙම භාග්‍යවරයා තායිලන්ත ජාතික ධර්ම දූතයෙකි.

ආසියානු රටවල් රැසකට ධර්මදානය කරන ලද්දේ භාග්‍යවන්ත නිකුලස් බන්කර්ඩ් කිතම්බරුන් තුමන් වැනි ධර්මදූතයන්  විසින් බව ද ඒ අතරින් බොහෝ දෙනෙක් ගිහියන් වූ බව ද සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය. "මෙම ධර්මදූතයන් කතා කලේ සිය ජනතාව ගේ භාෂාව ය. එම භාෂාව න්‍යායාත්මක හෝ මතවාදීය භාෂාවක් නොවී ය" යි එතුමා කීවේ ය."

රදගුරු හිමිවරුන් සිය පහසු සහ ආරක්‍ෂිත කලාප වලින් පිටතට පැමිණ සිය ජනතාව ගේ දුක කඳුල, පීඩනය අත්දැකීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේ ය.
"වීදි වලට බැස ඔබට පවරනු ලබා සිටින ජනතාව ගේ ජීවිත මුහුණට මුහුණ මුණගැසීමට බිය නොවන්නැ" යි එතුමා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

"ආසියානු සසුනේ අනාගතය නිර්මාණය කර ගන්න"

තායිලන්ත චාරිකාව පුරාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධාන තේමාව වූයේ ධර්මදානය යි. නැවුම් ධර්මදානයක් සඳහා ආසියාවේ රදගුරු හිමිවරුන් මේ මහඟු මහාද්වීපයේ කතෝලික සභාවේ අනාගතය නිර්මාණය කර ගැනීමේ වැදගත් කම  සුදොතුම් පියතුමා අවධාරණය කළේය. මේ සඳහා නිෂ්ඵල සාකච්ඡා සහ ව්‍යුහයන් ගෙන් ඉවත් විය යුතු බව  එතුමා පෙන්වා දුන්නේ ය.

"නිෂ්ඵල සාකච්ඡා  වල යෙදීමෙන් තොරව සහ සභා ව්‍යුහයන් ගැන අවශ්‍යතාවට වඩා අවධානය යොමු නොකර ආසියානු සභාවේ අනාගතය නිර්මාණය කරගැනීමට රදගුරු හිමිවරුන් ක්‍රියා කල යුතු ය. ඔබගේ සහය ඇතිව ඔබ  විසින් ම නිර්මාණය කරගෙන ඔබ විසින් ම වැඩිදියුණු කරගන්නා වූ සසුන් අනාගතයක් උණුසුමින් පිළිගැනීමට ඔබ සූදානම් විය යුතු ය. මේ මගින් ආසියාවේ සභාවත් සමාජයත් නව පණක් ලැබුවා වූ ද පොදු බවට පත්වූවා වූ ද ධර්මදානීය ප්‍රවේශයේ ඵල භුක්ති විඳිනු ඇත."

"ආසියාවේ සියලුම ස්වදේශීය සභා තුළ ධර්මදානය කිරීමේ විශිෂ්ට උද්‍යෝගයෙන් අනුප්‍රාණය ලබමින්, සුපුවත සුගන්ධ ආලේපයක්  සේ මේ ශ්‍රේෂ්ඨ වූත් සුන්දර වූත් මහද්වීපය තුළ පතළ කිරීමට ක්‍රියා කරන්නැ" යි එතුමා රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

ආසියාන රදගුරු සමුළු මණ්ඩලයේ  50 වැනි සංවත්සරය - "ධර්මදූත මුල් වෙත ආපසු යන්න"

ආසියාන රදගුරු සමුළු මණ්ඩලයේ (FABC) 50 වැනි සංවත්සරය 2020 දී පැවැත්වීමට සූදානම් වීම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරු හිමි වරුනට සුබ පැතුවේ ය. එතුමා පෙන්වා දුන්නේ "එම දේශ වල ධර්මදානීය මුල් සිය පා සටහන් තැබූ සිද්ධස්ථාන වෙත  යළි ගමන් කිරීමට" මෙම  සංවත්සරය මහඟු අවස්ථාවක් කර ගත යුතු බවයි.

" අපගේ වර්තමාන තත්වය සහ දූත මෙහෙවර ගැන වඩා පුළුල් සහ වඩාත් පරිවර්තනාත්මක තලයක සිට   සමාලෝචනය කිරීමට ප්‍රථම ධර්මදූත වරුන් ගේ මතකය නූතන සභාවට මහත් පිටිවහලක් විය යුතු ය. නිරර්ථක සාකච්ඡා වල සරණ නොයාමටත් අපට අප වෙතට ම හැරීමට මඟ පාදමින් කිසිදු ආකාරයක පියවරක් ගැනීමට බාධා කරන චින්තනයන් ගෙන් වැළකී සිටීමටත් එය ඔබට උදව් කරනු ඇත."

"ධර්මදානය රැඳී පවතින්නේ සුබ අස්න ප්‍රකාශ කිරීම මත පමණක් නොවේ. අප විසින් ප්‍රකාශ කරනු ලබන සුබ අස්න විශ්වාස කිරීමට ඉගෙන ගැනීම සහ ඊට අප ආකර්ෂණය කොට ඒ මගින් අප පරිවර්තනය කරනු ලැබීමට ඉඩ හැරීම ද ධර්මදානයට අවශ්‍ය සාධක වේ. ..මග දිගට අප මත ඇලී  ඉදිරියට යන්නට අපට බාධා කරන සියල්ල අපි ඉවත් කරමු. ඇතැම් ශාසනික ව්‍යුහයන් සහ මානසිකත්වයන් ධර්මදානීය ප්‍රයත්න වලට අවහිර කරන බව අපි දනිමු. යහපත් ව්‍යුහයන් පවා උදව්වක් වන්නේ නිරන්තරයෙන් ඒවා ඉදිරියට ගෙන යාමටත්, තක්සේරු කිරීමටත් පෝෂණය කිරීමටත් අවශ්‍ය ජීවයක් ඇත්තේ නම් පමණකි. නව ජීවනයක් සහ විශ්වසනීය ධර්මදානීය ජීවගුණයක් නොමැති වූ විට නව ව්‍යුහයන් නිෂ්ඵල බවටත් අපගේ වැදගත් මෙහෙවරට බාධාවක් බවත් ඔප්පු කරනු ඇත" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සඳහන් කළේය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය