"වෛරයේ සහ වෙනස් කොට සැලකීමේ වචන කතා කරමින්, වෛරයේ අවනීතික ක්‍රියා යුක්ති සහගත කරමින් අපට සාමය ගැන කතා කළ හැක්කේ කෙසේ ද?" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජපානයේ හිරෝෂීමාවේදී ප්‍රශ්න කරයි

“How can we speak about peace even as we justify illegitimate actions by speeches filled with discrimination and hate?” Pope Francis asks in Hiroshima



 (2019 නොවැම්බර් 24)
ජපානයේ අපෝස්තලික චාරිකාවේ යෙදුනු  පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොවැම්බර් 24 වැනිදා දහවල් එරට හිරෝෂීමා සාම සමරු උද්‍යානයට පැමිණියේ ය. එතුමන් එහි ගියේ  දෙවන ලෝක මහ යුද්ධයේ දී හිරෝෂීමාවට ඇමෙරිකාව විසින් හෙළන ලද පරමාණු බෝම්බයෙන් මිය ගිය, තුවාල වූ සහ විපතට පත් වූ සියල්ලන් සිහිපත් කොට  ඔවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම සඳහා ය.

එතුමා ගේ එකම  අරමුණ යාච්ඥා කිරීම පමණක් නොවේ. "යුද්ධය යළිත් එපා! එසේ ම මනුෂ්‍යයන් සමූල ඝාතනය කරන සකල ආකාරයේ න්‍යෂ්ටික අවි එපා!" යන්න ලෝකයට ම හඬ ගා කීමට ය.

"ක්‍රියාව ම පණිවිඩයක්" කරගෙන සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, පරමාණු බෝම්බය හෙලූ දා මිහිමත "නරකාදියක ජවනිකාවක්" වූ  හිරෝෂීමාවත් බැහැදැකීමෙන් ම ලෝකයට දැවැන්ත පණිවිඩයක් දුන්නේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හිරෝෂීමාවට සහ සහ නාගසාකියට ගියේ 1981 දී සීතල යුද්ධ සමයේ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා එහි සැපත් වීමෙන් පසුව අවුරුදු 38 කට  පසුව ය. න්‍යෂ්ටික අවි මුළුමනින් ම තහනම් කරන්නැයි එතුමා එදා මේ දෙනුවර දී දැඩි ලෙස ඉල්ලා සිටියේ ය.

සීතල යුද්ධයක් නොමැති නමුත් මේ වන විට එදාට වඩා දරුණු ලෙස අවි තරගය උණුසුම් වී තිබේ. එපමණක් නොව  තම රටේ සහ තම ජාතියේ ආධිපත්‍යය ලොව පුරා පැතිරවීමේ බලකාමය ද, අවි හරණය වෙනුවට අවි තරගයද දරුණු වී තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජපානයට පැමිණියේ මේ පරිසරය තුළ ය.

හිරෝෂීමාවේ දී එතුමා පරමාණු බෝම්බයෙන් විපතට පත් වූවන් ගේ ස්මාරකය අසල මල් පොකුරක් තබා මඳ වෙලාවක් යාච්ඥා  කළේය.

පසුව එතුමා එදා පරමාණු බෝම්බය හෙළන ලද මොහොතේ සිට මේ දක්වා ජීවත් වීමේ වාසනාව ලද කාන්තාවකගේ කතාවට සවන් දුන්නේ ය.

පරමාණු බෝම්බයෙන් ජීවිතය ගලවා ගත් යොෂිකෝ ගේ කඳුළු කතාව

ඇය 88 හැවිරිදි යොෂිකෝ කජිමොටෝ ය.දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකාව හිරෝෂීමාවට බෝම්බ හෙළන විට ඇයගේ වයස අවුරුදු 14 කි. පිපිරීම සිදු වූ දා එම ස්ථානයේ සිට සැතැපුම් එකහමාරක් දුර පිහිටි කර්මාන්ත ශාලාවක ඇය වැඩ කරමින් සිටියා ය.

"කර්මාන්ත ශාලාවේ වීදුරු කවුළුවෙන් හදිස්සියෙම විදුලියක් වගේ  නිල් පාට එළියක් දැක්කා. ඒ එක්කම මට සිහිය නැති වුනා," යෝශිකෝ සිය අත්දැකීම බෙදා ගත්තා ය. ඒ සමගම මුළු ගොඩනැගිල්ලම කඩා වැටිණ.

"මට සිහිය ඇවිත් වට පිට බලද්දී මම දැක්කෙ හීනයක් දකිනවා වගේ. මිනිස්සු හරියට අවතාර වගේ අමාරුවෙන් ඇවිදගෙන  යමින් හිටියා. ඒ අයගෙ මුළු ශරීරෙම පිච්චිලා. කොච්චර පිචිචිලා ද කියනව නම් ඒ ය ගැහැණු ද පිරිමි ද කියලවත් හොයා ගන්න බැහැ. ඒ අයගේ මුහුණු ඉදිමිලා. තොල් එල්ලෙමින් තිබුනා. දෑත් වල පිළිස්සුනු සම අත් වල කෙලවර එල්ලෙමින් තිබුනා. එය අපායේ දර්ශනයක් වගෙයි. මේ ලෝකයේ කාටවත් එහෙම දර්ශනයක් ගැන සිතා ගන්නටවත් බැහැ," යි ඇය කීවා ය.

"ඉන් පස්සෙ ගත වුණු කාලය පුරාම සුදු පාට දුමාරයෙන් හිරෝෂීමාවෙ අහස වැහිල තිබුණා. මුළු නගරයම ආදාහනාගාරයක් වෙලා තිබුණා. බොහෝ කාලයක් ගත වෙන තුරු 'ආදාහනය කරන ලද' මිනිස්සුන් ගේ ගන්ධය මගෙ ඇඳුම් වලිනුයි ශරීරයෙනුයි ඉවත් කරන්න මට බැරිව ගියා," යි ඕ සාම  සමරු උද්‍යානයේ දී සුදොතුම් පියතුමාට විස්තර කළාය.

පරමාණු බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූවත් ජීවත් වීමේ වාසනාව යොෂිකෝටත් ඇයගේ දෙමාපියන්ටත් ලැබිණි. ඇයගේ පියා වසර එකහමාරකින් පසුව මිය ගියත්  මව තවත් අවුරුදු විස්සක් ජීවත් වූවාය. බෝම්බයේ විකිරණ වල බලපෑම නිසා පිළිකාවකින් පීඩා විඳින යොෂිකෝ ගේ උදරයේ විශාල කොටසක් ඉවත් කර තිබේ.

"මගේ මිතුරු මිතුරියන් සියලු දෙනාම වගේ මිය ගියේ පිළිකාවෙන්. අපි ආයෙ කවදාවත් මේ විනාශකාරී න්‍යෂ්ටික බෝම්බ භාවිත නොකළ යුතුයි කියා කියන්න මම මහන්සි වී ක්‍රියා කරමින් සිටිනවා. එවැනි වේදනාවක් ලෝකයේ කිසිම මිනිසකුට යළිත් ඇති නොවේවා!" යි ඕ  සිය සාක්ෂි දැරීම අවසන් කරමින් කීවාය.

"සාමය වෙනුවෙන් කතා කරමින් යුද්ධයට සූදානම් වීම පාපයක්!"

ක්ෂණයකින් මරණයේ විනාශයට සියල්ල ගිල දැමූ  මෙම ස්ථානයට සාමයේ වන්දනා කරුවකු සේ පැමිණ නිහඬ යාච්ඥාවෙන් ගත කිරීම තම "යුතුකමක්" සේ සිතුනු බව යොෂිකෝ ගේ සාක්ෂියට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කීවේ ය. "එම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ අහිංසකයන් සිහි කරන අතර ම අද දවසේ සාමය ප්‍රාර්ථනා කරමින් එය දිනා ගැනීම සඳහා සිය ජීවිත කැප කරන ජනතාව ගේ යාච්ඥාව සිය හදවතේ ඔසවා ගනිමින් ද වෛරයේ සහ යුද්ධයේ අහිංසක සහ අසරණ ගොදුරු බවට පත්වන දුප්පතුන් ගේ කඳුල තමා තුළ දරා ගනිමින් ද මේ මොහොතේ තමා යාඥාවේ ධ්‍යාන ගත වූ" බව එතුමා කියා සිටියේ  ය.

"අද දවසේ ලෝකය තුළ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාවලට - එනම් මානව සහජීවනයට තර්ජනයක් වී ඇති විෂමතා සහ අසාධාරණයන් , පරිසරය රැකබලා ගැනීමට ඇති නොහැකියාව, අනාගත සාමයට ඇති එකම මාර්ගය ලෙස තෝරාගෙන ඇති නිරන්තර සන්නද්ධ ගැටුම් වැනි නොසන්සුන්තාවලට - ගොදුරුවන 'හඬක් නොමැති ජනතාව ගේ' හඬ වීම මගේ  නිහතමානී අභිප්‍රාය යි. ..න්‍යෂ්ටික බලය යුද්ධයක දී යොදා ගැනීම හුදෙක් මානව ගරුත්වයට එරෙහි අපරාධයක් පමණක් නොවේ. එය අප වෙසෙන මිහිතලයට ද එරෙහි අපරාධයකි. එය අධාර්මික ය. ශීල ධර්ම විරෝධී ය.  එපමණක් නොවේ. න්‍යෂ්ටික අවි තමන් සන්තකයේ තබා ගැනීම පවා එබඳුම අපරාධයකි. අප විනිශ්චය කරනු ලබන්නේ මේ මත ය. අප සාමය ගැන කතා කර සාමය මිහිමත ජනයා ගේ ජීවිත වලට ගෙන ඒමට අසමත් වීම ගැන අනාගත පරපුර අප වරදකරුවන් කරනු ඇතැ" යි එතුමා කීවේය.

"බියකරු නව යුද අවි නිපදවමින් අපට සාමය ගැන කතා කල හැක්කේ කෙසේද? වෛරයේ සහ වෙනස් කොට සැලකීමේ වචන වලින් පිරි කතා කරමින් සහ වෛරයේ අවනීතික ක්‍රියා යුක්ති සහගත කරමින් අපට සාමය ගැන කතා කළ හැක්කේ කෙසේ ද?" යි සුදොතුම් පියතුමා  ප්‍රශ්න කළේය.

"ආරක්‍ෂිත සමාජයක් ගොඩ නැගිය හැක්කේ අපගේ අත්වලින් ආයුධ බිම දමන්නේ නම් පමණක් මය" යි එතුමා අවධාරණය කළේය.

"පරමාණු බෝම්බ වලින් සහ එම අත්හදාබැලීම් සහ පරීක්ෂණ වලින් ද සියලු ගැටුම් සහ අරගල වලින් ද විපතට පත් වූවන් වෙනුවෙන් අපි සෑම දෙනා එක්ව මෙසේ හඬ නගමු: යුද්ධයක්  යළි කවදාවත් ඇති නොවේවා! සන්නද්ධ ගැටුම් යළි කවදාවත් ඇති නොවේවා! ඒ තරම් වේදනාවක් දුකක් යළි කවදාවත් නොවේවා! අප ජීවත් වන කාළය තුළ අප ජීවත් වන ලෝකයට සාමය පැමිණේවා!" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රාර්ථනා කලේ ය.

පින්තුරය: සුදොතුම් පියතුමා හිරෝෂීමා සාම උද්‍යානයේ දී මල් පොකුරක් තබමින් විපතට පත් වූවන් වෙනුවෙන් යාච්ඥා කළේය 






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය