"කිතුනුවා ගේ තැන 'ප්‍රේමයෙන් තුවාල වූ' දෙවියන් දෙවියන් වහන්සේ ගේ දෑතයි" - කැටකුම්බ් සොහොන් ගැබේ මළවුන් ගේ මංගල්‍යය දා දිව්‍ය පූජාව

"The place of the Christian is in the hands of God, wounded by love" - Pope says at the Mass in the catacombs


(2019 නොවැම්බර 2)
සුදොතුම් පියතුමා නොවැම්බර 2 වන දින මළාවූ සියලු ආත්මයන් ගේ මංගල්‍ය දින දිව්‍ය පූජාව මෙවර පැවැත්වූයේ රෝමයේ ප්‍රිසිල්ලා 'කැටකුම්බ්'හි  (සොහොන් ගැබේ) දී ය.

කැටකුම්බ් ගැබ්

ප්‍රිසිල්ලාහි කැටකුම්බ් ගැබ මුල් කාලීන සභාවේ ප්‍රමුඛ පෙලේ සොහොන් ගැබ් අතරින් එකකි. රෝම ආධිරාජයන් විසින් කිතුනුවන් අරභයා දියත් කල අති කුරිරු පීඩනය හා හිංසනය හමුවේ කිතුනුවන් 'පූප කැඩීම'  සඳහා එක්රැස් වූයේ පොළොවෙන් යට පිහිටි මෙම කැටකුම්බ් ගැබ් තුළ ය. ප්‍රාණ පරිත්‍යාගී වූ සහ මිය ගිය මුල් කිතුනුවන් ගේ දේහ තැන්පත් කළ සොහොන් ගැබ් වූයේ ද කැටකුම්බ් ගැබ් ය. මේ නිසා රෝමයේ කැටකුම්බ් ගැබ් කිතුනු ලෝකයට ශුද්ධ ස්ථාන වේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ මළවුන් ගේ දින සිය දිව්‍ය පූජාව සිද්ධ කිරීමට ශුද්ධ වූ කැටකුම්බ් ගැබක් තෝරා ගත්තේ ද වැදගත් අරුතක් සහිතව බව එතුමා එම දිව්‍ය පූජාවේ සිදු කළ ධර්ම දේශනාවෙන් අවබෝධ කරගත හැකිය.

විශේෂයෙන් ම ඉකුත් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික සහ කිතුනු  ජනයා මුහුණ දුන් ඛේදනීය සිද්ධියේ සන්දර්භය තුළ විශ්ලේෂණය කරන විට එතුමා ගේ  පණිවිඩය  තේරුම් ගත හැකිය.

"දෙවියන් වහන්සේ ගේ සුරක්ෂිත දෑත්"

බාහිර තත්වයන් කවරක් වුව ද කිතුනුවන් සිටිය යුතු තැන "දෙවියන් වහන්සේ ගේ සුරක්ෂිත දෑත" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මළවුන් ගේ මංගල්‍ය දින දිව්‍ය පූජාවේ  ධර්ම දේශනාවේ දී පැවසී ය.

"දැහැමි මිනිසුන් ගේ ආත්ම වෙසෙන්නේ දෙවියන් වහන්සේ ගේ ශ්‍රී හස්ත මත ය - එනම් තුවාල වූ උන්වහන්සේ ගේ හස්ත වල යැ"යි එතුමා කීවේ ය.
"කිතුනුවන් ගේ ස්ථානය පියාණන් ඉදිරියේ ,මධ්‍යස්ථ  වන ජේසු සමිඳාණන් තුළ ය; දෙවියන් වහන්සේ ගේ හස්ත වල ය. උන්වහන්සේ ගේ දෑත් වල සිටින විට අප සුරක්ෂිත ය; සිදුවන්නට ඇති දේ සිදු වෙයි - එය කුරුසිය යි. මේ අනන්‍යතාව තුළ අප භාග්‍යවන්ත ය. එනම්, ඔවුන් අපට හිංසා පීඩා කරන්නේ නම්, ඔවුන් අපට එරෙහිව විවිධ දේ කියන්නේ නම්, එසේ කරන විට අප සිටින්නේ තුවාල වූ දෙවියන් වහන්සේ ගේ දෑත් වල නම්, අප සුරක්ෂිත ය. එය  අපගේ ස්ථානය යි" යි එතුමා විස්තර කලේ ය.

"බොහෝ වෙලාවල මා සුරක්ෂිත වන්නේ කොතැන ද? දෙවියන් වහන්සේ ගේ දෑත් මත ද, නැතහොත් වෙනත් දේවල හෝ වෙනත් 'ආරක්‍ෂිත දේ' වල ද?" යි එතුමා ප්‍රශ්න කළේය.

ලොව පුරා අදත් පීඩා විඳින කිතුනු ප්‍රාණ පරිත්‍යාගීන්

ක්‍රිස්තු සභාවේ ප්‍රථම සියවස් වල ජීවත් වූ කිතුනුවන් දිව්‍ය පූජාවට සහභාගී වීමට කැටකුම්බ් ගැබ් වලට  එක් රැස්වූ ආකාරය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේ ය. ඔවුන්  කැටකුම්බ් ගැබ් වලට රැස්වූයේ ආරක්ෂා සහිතව ස්තෝත්‍ර යාගික මෙහෙයට සහභාගී වීමට ය. ඒ අතරින් බොහෝ දෙනෙක් සිය විශ්වාසය නිසා ප්‍රාණ පරිත්‍යාගී වූ ආකාරය එතුමා පැහැදිලි කලේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ අද ද ලොව පුරා බොහෝ ස්ථාන වල කිතුනුජනතාව විවිධ හිංසා පීඩා වලට ගොදුරු වන බව යි.

"අදත් බොහෝ කිතුනුවන් හිංසා පීඩා වලට ලක් වෙනවා. ඇත්තෙන් ම ප්‍රථම සියවස් වලට වඩා වැඩියෙන් - ඊට වඩා වැඩියෙන් කිතුනුවන් පීඩනයට ලක් වෙනවා" යි එතුමා  කීවේ ය.

කොමියුනිස්ට්  පාලනය යටතේ ඇල්බේනියාවේ යළි-අධ්‍යාපන දීමේ කඳවුරකට යවන ලද කතෝලික පැවිදි කන්‍යා සොහොයුරියක පිලිබඳ කතාවක් සුදොතුම් පියතුමා සිහිපත් කළේය.

මේ කන්‍යා සොහොයුරිය අත්අඩංගුවට ගෙන ප්‍රති-අධ්‍යාපන කඳවුරට යවන ලද්දේ කොමියුනිස් පාලකයන් ගේ අණ නොතකාකිතුනු සේවා වල යෙදීම නිසාය. එකල කිතුනු පූජක වරුනට සක්‍රමේන්තු දානය කිරීම තහනම් කර තිබූ නිසා මේ සොහොයුරිය රහසේ සපත්තුවකට ජලය ගෙන දරුවන්ට ප්‍රසාද ස්නානය දානය කරමින් සිටියා  ය.

භාග්‍ය අට කිතුනුවකු ගේ අනන්‍යතාවයි 

මෙදින දිව්‍ය පූජාවේ සුපුවතට ඇතුළත් වූයේ ජේසු සමිඳුන් ගේ භාග්‍ය දේශනාවයි. ජේසු සමිඳුන් විසින් දේශනා කරන ලද මෙම භාග්‍ය වූ කලී කිතුනුවකු ගේ අනන්‍යතාව බව ඒ පිළිබඳව මෙනෙහි කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"මේ භාග්‍ය අට ඔබගේ අනන්‍යතා පත ('අයිඩෙන්ටිටි කාර්ඩ්' එක) යි. මෙය නොමැති වුවහොත් ඔබට කිතුනු අනන්‍යතාවක් නැත. භාග්‍ය අට දේශනාවේ සඳහන් ආකාරයට ඔබ ක්‍රියා කරන්නේ නම්, ජීවත් වන්නේ නම්, ඔබ කිතුනුවෙකි. කතෝලික ව්‍යාපාරයකට හෝ කණ්ඩායමකට ඇතුළත් වී සිටීමේත්  වලංගු භාවයක් තිබෙනවා.එහෙත් ඔබේ අනන්‍යතා පත භාග්‍ය අටයි. එය ඔබ සතු නොවේ නම් සංවිධාන හෝ  සමිති සමාගම් වල හෝ සාමාජිකත්වයෙන් ඵලක් ලැබෙන්නේ නැහැ" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"එක්කෝ ඔබ එලෙස ජීවත් විය යුතු ය. නැතහොත් ඔබ කිතුනුවකු නොවේ. මෙය  නොමැති  නම් ඔබ කරන්නේ කිතුනුවකු බව ව්‍යාජ ලෙස පෙන්වීමක් පමණයි. එහෙත් අනන්‍යතාව නැත."

දිව්‍ය පූජාවෙන් පසුව සාන්ත පීතර බැසිලිකා දෙව් විමනේ බිම් මහළට ගිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි මඳ වේලාවක් නැවතී එම බිමේ භූමදාන කර සිටින ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ලා වෙනුවෙන් යාච්ඥා කළේය.

මෑත කාලීන පාප් වහන්සේලා සම්ප්‍රදායයක් ලෙස මළවුන් ගේ මංගල්‍ය දින දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ කැම්පෝ වෙරානෝ සුසාන භුමියේ දී ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද සිය පාප්  ධුර කාලයේ පළමු වසර තුනේ දී මළවුන් ගේ දින දිව්‍ය පූජාව එහිදී සිදු කලේ ය.

එහෙත් 2016 දී එතුමා එදින දිව්‍ය පූජාව සිදු කලේ රෝමයේ ප්‍රීමා පොර්තා සුසාන භුමියේ ය. 2017 දී දෙවන ලෝකය යුද්ධය සිහිපත් කරමින් මළවුන් ගේ දින  දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා එතුමා සිසිලි-රෝම ඇමෙරිකා සුසාන භූමියට ගියේ ය. මෙය 2 වන ලෝක යුද්ධයෙන් මිය ගිය ඇමෙරිකානු සෙබළුන් මිහිදන් කර ඇති ස්ථානයකි.  එතුමා 2018 මළවුන්ගේ දින දිව්‍ය යාගය සිදු කලේ රෝමය සීමාවේ ඇති ලෞරෙන්තිනෝ සුසාන භුමිය තුළ පිහිටා ඇති "සුරදූතික උයන" නම් කොටසේ ය. මෙය මිය ගිය දරුවන් සහ නූපන් දරුවන් මිහිදන් කර ඇති ස්ථානයකි. 

පින්තුරය - ප්‍රිසිල්ලා හි කැටකුම්බ් ගැබ 







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය