"ශුද්ධාත්මයානන් වහන්සේ ශාලාවෙන් පිටතට පන්නා නොදමන්න!" - ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාව ආරම්භ කරමින් සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලයි.

"Let us not kick the Holy Spirit out of the hall’- Pope Francis requests Synod participants 


(2019 ඔක්තෝබර 7)
ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් කතිකාව වතිකානයේ සිනොඩ් ශාලාවේ දී ඔක්තෝබර 7 වැනිදා උදාසන ආරම්භ විය.

සිය ආරම්භක දේශනය කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ස්වදේශීය ආදිවාසී සංස්කෘතීන්ට අගෞරව කරන දෘෂ්ටිවාදයන් හෙලා දුටුවේය. එම සංස්කෘතීන් පහත්කොට සැලැකීම යථාර්ථයෙන් අප දුරස්කරන බව එතුමා පෙන්වා දුන්නේය. සිනොඩ් කතිකාවේ කර්තෘවරයා ශුද්ධාත්මයානන් වහන්සේ බැවින් උන්වහන්සේ ශාලාවෙන් පන්නා නොදමන ලෙස ද එතුමා එහි රැස්ව සිටි රදගුරු හිමිවරුන් 185 දෙනා සහා සියයක් පමණ වන සෙසු සමාජිකයන් ගෙන් ඉල්ලා සිටියේ ය.

"දෘෂ්ටිවාදය (Ideology) යනු භයානක ආයුධයකි. එය ලඝුකාරකයක් වන අතර සංස්කෘතියකට ගෞරව කිරීමෙන් හෝ එය පිළිගැනීමෙන්  තොරව එම සංස්කෘතිය  බුද්ධිමත් ව තේරුම් ගෙන ඇති බව ව්‍යාජයෙන් පෙන්වීමට එය අප යොමු කරයි. එවැනි සටන් පාඨවල ප්‍රතිඵලය වන්නේ බෙදීම, විනාශ කිරීම සහ (සංස්කෘතියක්) මුලිනුපුටා දැමීම යි. ඇමේසන් කලාපයේ ජීවත් වූ ස්වදේශික ජනතාව ගෙන් බහුතරයක් මුලිනුපුටා දමනු ලැබීම තුළ මෙහි බියකරු  ප්‍රතිඵලය දැකගත හැකි" යයි එතුමා සිනොඩ් හැඳින්වීමේ කතාවේ දී කියා සිටියේ ය.

සංස්කෘතීන්ට කරන අගෞරවය අතීතයට සීමා වී නැති බව එතුමා පෙන්වා දුන්නේය. එය අද පවා සිදු වේ.  නිදසුනක් ලෙස  කුරුළු පිහාටු වලින් සමන්විත සිය හිස් පළඳනාව පැළඳගෙන  වතිකානයට පැමිණි ආදිවාසීයකු පිලිබඳව අයකු විහිලුවට මෙන් චෝදනා කල ආකාරය ගැන තමන්ට අසන්නට ලැබුණු බව එතුමා කීවේ ය.
"ඒ කුරුළු පිහාටු හිස් වැස්මත්   අපේ වතිකාන දෙපාර්තමේන්තුවල සමහර කාදිනල් තුමන්ලා පළඳින බිරෙට්ටාත් අතර ඇති වෙනස කුමක් දැ?" යි එතුමා සිනොඩ් ශාලාව සිනා සයුරේ ගිල්වමින් ප්‍රශ්න කලේ ය. (කාදිනල් හිමිවරුන් පළඳින රක්ත වර්ණ චතුරශ්‍රාකාර 'තොප්පිය' හැඳින්වෙන්නේ 'බිරෙට්ටාව" නමිනි.)
ඇතැම් සංස්කෘතීන් "දෙවන පන්තියේ ශිෂ්ටාචාර" ලෙස දැකීමේ ප්‍රවනතාව ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය කණගාටුව පල කළේ ය. "මෙම ප්‍රවනතාව ජනතාවක ගේ යථාර්ථයෙන් අප දුරස් කරයි. එසේම එය ඔවුන්ගෙන් අප වෙන්කරයි. මෙය ඔවුනට කරන නිගරුවකි," යි එතුමා පෙන්වා දුන්නේ ය.

සිනොඩ් කතිකාව පිළිබඳ දැක්ම

මෙම සිනොඩ් කතිකාව පිළිබඳව සිය දැක්ම ද එතුමා හැඳින්වීමේ කතාවේ දී  විස්තර කළේය.

"මෙම කතිකාව තුළ සාකච්ඡා කෙරෙන්නේ  තමන් ගේ ම සැලැසුම් සහ අදහස් ආරෝපණය කිරීමට බලය ඇත්තේ කවරෙකුට ද යන්න ගැන නොවේ. ..සිනොඩ් යන්නේ අර්ථය ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ හුස්ම අනුව එකට ගමන් කිරීම යි. එබැවින් සිනොඩ් කතිකාවේ ප්‍රධාන කර්තෘවරයා ශුද්ධාත්මයාණන් වහන්සේ යි. මේ නිසා අපි ශුද්ධාත්මයාණන් මෙම ශාලාවෙන් පිටතට පන්නා නොදමමු," යි එතුමා ඉල්ලා සිටියේ ය.

මේ අදහස තුළ වාර්තා කරුවනට කතා කිරීමේ දී පරෙස්සම්  වන්නැයි එතුමා සිනොඩ් සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටියේය.  ඉතා හොඳින් මෙනෙහි කර නුවණක්කාර බවින් සහ මෘදු පහසින් ඔවුනට පිළිතුරු දීමේ අවශ්‍යතාව එතුමා පැහැදිලි කළේය.

සිනොඩ් කතිකාව තුළ හාස්‍ය රසයෙන් ද අනූනව කටයුතු කරන ලෙස එතුමා අවසන් වශයෙන් සිනොඩ් සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටියේ ය.එතුමා ද මේ කතාව තුළට හාස්‍යය ඇතුළත් කරගෙන තිබිණි.
"සිනොඩ් කතිකා වල සෑම කතා හතරකටම පසුව විනාඩි හතරක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරනව. සමහර අය කියන්නේ ඒ නිශ්ශබ්දතාව හරිම අනතුරුදායක බවයි. මොකද, ඒ වෙලාවේ සාමාජිකයන් නිදා ගන්න පුළුවන් නිසා," සුදොතුම් පියතුමා කීවේ ය. "නමුත් යොවුන් සිනොඩ් කතිකාවෙ දි සිදු වුනේ ඒකෙ ප්‍රතිවිරුද්ධ දේ. ඒ අය කතා වලදී නිදා ගත්තා, අඩුම තරමේ කතා සමහරක දී වත්. නිශ්ශබ්ද වෙලාවේදී අවදි වුනා" ශාලාව යළිත් සිහනහවෙන් පුපුරුවා ලමින් එතුමා සඳහන් කලේ ය.

කතිකාවේ ආරම්භය 

පළමු දින උදාසන  ආරම්භ වූයේ සාන්ත පීතර බැසිලිකාව තුළ පවත්වන ලද යැදුම් මෙහෙයකිනි.

ඉන් පසුව රදගුරු හ්මිවරු 300 දෙනෙක් පමණ  පෙරහරින් දෙව්මැදුරින් පිටතට පැමිණ ඒ ඉදිරිපිට චතුරශ්‍රයට රැස්  වී කෙමෙන් කෙමෙන් වතිකාන සිනොඩ් ශාලවට පැමිණියහ.

එම අවස්ථාවේ ඇමේසන් ස්වදේශික ආදිවාසී පිරිස් ඔවුන් ගේ ම මව් භාෂා වලින් සහ ස්පාඥ්ඥ බසින් ගීතිකා ගායනා කළහ. ඔවුන් අත සංකේතාත්මක තිළිණ ද තිබිණි. මරිය මාතාවන් කුඩා කැනූ ඔරුවක් තුළ අඹා තිබූ ආදිවාසි ආකෘතියෙන් යුත් ප්‍රතිමාවක්, විවිධ වර්ණ වලින් යුත් මාළු දැලක් සහ ඇමේසන් ප්‍රාණ පරිත්‍යාගීන් ගේ ප්‍රතිමා ද ඒ අතර විය. එම ප්‍රතිමා අතර ශා. ඔස්කා රොමෙරෝ, සහ බ්‍රසීලයේ සිටි ජර්මානු මිෂනාරි වරයකු වූ රොඩොල්ෆෝ ලුන්කෙන්බෙයින් පියතුමා ගේ පිළිරූ ද තිබිණි.

සෑම රදගුරු තුමෙකුට ම සහ සාමාජික සාමාජිකාවකට ම සුදු පැහැති ගමන් මල්ලක් ලබා දී තිබිණි. මෙම ගමන් මලු නිෂ්පාදනය කර ඇත්තේ ස්වාභාවික තන්තු වලිනි. එහි අරමුණ සමස්ත කතිකාව පුරා දිවෙන "හරිත" ලාංඡනය අවධාරණය කිරීම යි.

මෙම කතිකාවේ "කාබන් පා සලකුණ" සනිටුහන් කිරීමේ අරමුණින්  ගිණිගෙන විනාශ වූ ඇමේසන් වනාන්තරයේ කොටසක් පුරා වතිකානයේ අනුග්‍රහයෙන් ගස් වැවීමට ද සැලසුම් කර තිබේ. 

අදාළ වෙනත් ලිපි:
"ගින්න 'ගින්නෙන්' නිවන්නට එක්වෙමු" - ඓතිහාසික ඇමේසන් සිනොඩ් රදගුරු කථිකාවේ සමාරම්භක දිව්‍ය පූජාව ඔප්පු කරමින් සුදොතුම් පියතුමා ඇරියුම් කරයි- "නුවණක්කාර බව යනු පවත්නා තත්වය රැක ගැනීමට සැකයේ අළු තුළ ආත්මයාණන් සිර කිරීම නොව ආත්මයාණන් ගේ නව්‍යතාවයට ඉඩ දීමයි"

පින්තුරය: සුදොතුම්  පියතුමා සාමාජික සාමාජිකාවන් සමග සිනොඩ් කතිකාවට පැමිණෙයි





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය