කතෝලික ධර්මයට 'පරිසර පාපය' හඳුන්වා දෙයි; සම්මානිත විවාහක පිරිමින්ට පුදැදුරු වරය ලබාදීමට පරීක්ෂාකාරී අනුමැතිය; කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනය යළි ඇරඹීමට යෝජනා; මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කිතුනු වගකීමක් බව අවධාරණය කෙරේ; "පූර්ණ පරිසර තුලනයක්" සහ ඇමේසන් ජන ප්‍රජාව කේන්ද්‍ර කරගත් නව ධර්මදාන තීරණ රැසක් සමග ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාව නිමාව දකියි

Synod ends offering  cautious support for married priests, suggesting further study of women deacons, introducing "Ecological Sin" and emphasizing Church's duty to defend human rights 

ඇමේසන් සිනොඩ් අවසන් සැසිය 

(2019 ඔක්තෝබර 26)
ඇමේසන් සිනොඩ් කතිකාවේ අවසන් මහා සැසිය ඔක්තෝබර 26 වැනි සෙනසුරාදා පස්වරුවේ පැවැත්විණ.
සිකුරාදා  පස්වරු සැසියේ දී නිකුත් කරන ලද සැසියේ අවසන් ලේඛනය සම්මත කරගැනීමේ ඡන්ද විමසීම මෙහිදී සිදු කෙරින. පිටු 33 කින් සමන්විත එම ලේඛනයට ඇතුලත් වූ වගන්ති   ම වැඩි ඊට අවශ්‍ය වැඩි ඡන්ද 2/3 කට වැඩි සංඛ්‍යාවකින් සම්මත විය.
ඉන් අනතුරුව, පැවැති  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සමාප්ති කතාවෙන් පසුව එම සැසිය පිලිබඳ තොරතුරු ජනමාධ්‍ය වේදීන්ට නිවේදනය කෙරිණි.

පරිසර සංරක්ෂණය සභාවේ වගකීමක් - 'පරිසර පාපය' නිර්වචනය කෙරේ

පරිසරය විනාශ කිරීම දෙවියන් වහන්සේටත් අසල්වැසියාටත් එරෙහි පාපයක් ය යන්න සිනොඩ් කතිකාවේ සාකච්ඡා  වූ ප්‍රධාන මාතෘකාවකි. මේ අනුව පරිසර පාපය මේ ලේඛනය මගින් නිර්වචනය කර තිබේ.

"පරිසර පාපය යනු දෙවියන් වහන්සේටත්, සෙසු ජනතාවටත් ජන ප්‍රජාවට සහ  පරිසරයටත් එරෙහිව කරන ක්‍රියාවකි" යි එය සඳහන් කරයි. "එය අනාගත පරම්පරාවට එරෙහි පාපයක් වන අතර එම පාපය පරිසර දූෂණය සහ පරිසරයේ සුසංගතබව විනාශ කරන ක්‍රියා සහ පුරුදු මගින් ද,  අන්‍යෝන්‍ය රැඳියාව (interdependence) පිලිබඳ මූලධර්ම උල්ලංඝනය කරන්නා වූ, ජීවීන් අතර පවතින සහ සම්බන්ධතා ජාල  බිඳ දමන්නා වූ, යුක්තියේ ගුණධර්මවලට විරුද්ධ වූ ක්‍රියා සහ පුරු දු මගින් ද ප්‍රකාශිත වේ" යැයි එම නිර්වචනය කියයි.

"වැසි වනාන්තරය විනාශ වුවහොත්, ඒ සමග අපගේ මරණයත් සිදුවේවි," යන්න ඇමේසන් ස්වදේශික ජනයා ගේ දුක්ගැනවිල්ල වූ බව සිනොඩ් අවසන් ලේඛනය මාධ්‍ය වෙත නිකුත් කිරීමේ මාධ්‍ය හමුවට හවුල් වූ පීරුහි විද් මාර්ටිනස් රදගුරු තුමා කීවේ ය.

එතුමා කියා සිටියේ  මේ නිසා පාරිසරික ගැටලුව මේ කතිකාවේ දී අවධාරණය වූ බවයි. මේ හේතුවෙන් "දේව වචනයට වඩා රත්රන් නිස්සාරණය  ඇමේසන් ජනතාවට වඩාත් සමීපයි. මේ තත්වය තුළ ධර්මදානීය උද්යෝගය ප්‍රවර්ධනය කිරීමත් ඇමේසන් වනාන්තරය ආරක්ෂා කිරීමත් යන කාරනා දෙකටම මැදිහත් වෙමින්  සභාව වඩාත් බහුල ලෙස එම කලාපය තුළ ක්‍රියාත්මක වීමක් මෙම කතිකාවේ දී පෙන්වා දෙන ලද" බව එතුමා කීවේය. මේ නිසා සභාව පරිසර සංරක්ෂණයට ක්‍රියාකාරීව දායක වීමට ආදාළ වගන්ති කිහිපයක් ම ඇමේසන් සිනොඩ් කතිකාවේ අවසන් ලේඛනයට ඇතුළත් වේ.

"පෘථිවිය මුහුණ පා සිටින අනපේක්ෂිත සමාජ-පාරිසරික  අර්බුදයට ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය කාරණයකි. මේ අනුව දේශ ගුණ වෙනස් වීම සීමා කිරීමෙහිලා  ඇමේසන් වැසි වනාන්තරය දක්වන දායකත්වය පිළිගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාවක් අපි අපේක්ෂා කරමු.  එම සහයෝගීතාව ගොඩනැංවීම  සඳහා සභාවේ මැදිහත්වීමක් අවශ්‍ය වේ. පෘථිවිය සහ ඇමේසන් කලාපය මුහුණ පා සිටින මෙම හදිසි තත්වය තුළ පූර්ණ පාරිසරික සමතුළිතතාවක් යන්න එම කලාපයේ අනාගතය වෙනුවෙන් සභාවට තෝරාගත හැකි මාර්ග අතරින් එකක් නොව එය ඒ සඳහා පවතින එකම මාර්ගය වේ" යයි ඇමේසන් රදගුරු හිමිවරු අවධාරණය කරති.

සරල, අල්පෙච්ඡ් ජීවිතයක් වෙත  "පාරිසරික සිත් මාරුවක්"

වීසි කිරීමේ (ඉවත දැමීමේ) සංස්කෘතිය නිසා මොර දෙන පෘථිවියේ වේදනාවට සවන් දිය යුතු බව ද රදගුරු හිමිවරු සිය අවසන් ප්‍රකාශනය මගින් අවධාරණය කරති. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම  සඳහා "සරල, අල්පෙච්ඡ් ජීවිතයකට" සිත් හැරීමක් ඇති කරගෙත යුතු බව ඔවුහු පෙන්වා දෙති. එම සරල ජීවිතයේ ආදර්ශය සුඛ විහරණය ඉහවහා ගිය ලෝකයටත් සභාවටත් සිය ජීවිතයෙන් අභියෝයක් වූ  අසීසියේ ප්‍රැන්සිස් තුමා බව ඔව්හු  පෙන්වා දෙති.
"පෘථිවියේ වේදනාත්මක විලාපයට සවන් දෙමින් සැබෑ සහ පූර්ණ ආභ්‍යන්තරික සිත් හැරීමක් ඇතිකරගන්නා ලෙස ඇමේසන් කලාපයේ ජනතාව මෙන්ම ලෝකයේ දුප්පත් ජනයා ද ඉල්ලා සිටියි. මේ සිත් මාරුව වූ කලී ශා. ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ ආධ්‍යාත්මිකත්වයෙන් පෝෂණය වන ආදර්ශවත්  සරල අල්පෙච්ඡ් ජීවිත රටාවකි" කතිකා අවසන් ප්‍රකාශනයේ  කියැවේ.

මෙම සිත් මාරුව දහම් සේවා සිත් මාරුවක් ද විය යුතුය. "සභාව ඇමේසන් කලාපයේ ජනතාවට සේවාව කරමින් ඔවුන් කැටුව යාම සඳහා යහපත් සමරිතාන වරයා විය යුතුය. එම ආදර්ශය තුළ දයාකරුණාවෙන් සහ සෙසු ජනතාව සමග සහයෝගීතාවෙන් ජීවත් වෙමින් ද වෙනත් සභා සමග අහ සමයාන්තර සංවාදයට වඩා ගැඹුරින් කැපවෙමින් ද සභාව ක්‍රියා කල යුතු ය."

මානව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කිරීම සභාවේ යුතුකමක් - තෝරාගැනීමක් නොවේ. 

පාරිසරික විනාශය සම්න්ධයෙන් හඬ නැගීමටත් ක්‍රියා කිරීමටත් ඉදිරියට පැමිණි ක්‍රියාකාරීන් රැසකට සිය ජීවිත පූජා කිරීමට සිදු වූ බව ඇමේසන් රදගුරු හිමිවරු සිය අවසන් ප්‍රකාශනයෙන් පෙන්වා දෙති, " අහිංසකයන් ගේ ලේ වැගිරීමත් ඇමේසන් වනාන්තරය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම අපරාධයක් ලෙස නම් කිරීමත් සමග පාරිසරික විනාශය එකට ගමන් කරන" බව ඔව්හු පවසති. මේ නිසා ඔවුන් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනු කිතුනුවන්  මනාප නම් කළ හැකි දෙයක් (option) නොව සභාවේ යුතුකමක් (duty)" බව  ය.

"මානව පුද්ගලයා මවනු ලැබූයේ මැවුම් කාර දෙවියන් වහන්සේ ගේ ස්වරූපය සහ සමාන කම අනුව ය. මේ නිසා මානව පුද්ගලයාගේ ගරුත්වය අනුල්ලංඝනීය ය. එබැවින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ඒ වෙනුවෙන් පෙනී සිටීම සහ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමත් හුදෙක් දේශපාලන යුතුකමක් හෝ සමාජ කාර්යයක් හෝ පමණක් නොව ඒ සියල්ලට ම වඩා ඇදැහිල්ලේ  අනිවාර්ය අංගයකි" යි ඇමේසන් අවසන් ප්‍රකාශනය අවධාරණය කරයි.

ඇමේසන් කලාපයේ විවාහක, වැඩිහිටි "සම්මානිත" පිරිමින්ට පූජාත්වරය දානය කිරීම 

ඇමේසන් කලාපයේ විවාහක පිරිමින්ට පූජාත්වරය දානය කිරීම සහ කාන්තා දූත මෙහෙවර  සිනොඩ් රදගුරු හිමිවරුන් ප්‍රමුඛ ඇමේසන් සිනොඩ් කතිකාවට සම්බන්ධ වූ සියල්ලන් සාකච්ඡාවට ගත් ඉතා සංවේදී වූත් ආන්දෝලනාමක  වූත් මාතෘකා දෙක විය.

ඉතා පරීක්ෂා කාරී තත්ත්ව යටතේ විවාහක, වැඩිහිටි, සම්මානිත (eminent) පිරිමින්ට පුදැදුරු වරය  දානය කිරීමට රදගුරු හිමිවරුන් එකඟ වූ බව සිනොඩ් අවසන් ප්‍රකාශනයේ සඳහන් වේ.

මෙම තීරණය ගැනීමට ඔවුන් පාදක කර ගත්තේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ "Ecclesia de Eucharistia" නැමති විශ්ව ලේඛනය යි. "සභාව සිය ජීවය උකහා ගන්නේ දිව්‍ය පූජාවෙනි" යි එතුමා එම විශ්ව ලේඛනයේ ප්‍රකාශ කරයි.

එහෙත් ඇමේසන් කලාපයේ ඈත දුර බැහැර ප්‍රදේශ රැසක කතෝලිකයන්ට දිව්‍ය පූජාවකට සහභාගී වීමට, දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ලබා ගනීමට සහ පාපොච්චාරණය වැනි සක්‍රමේන්තු ලබාගැනීම හැකිවන්නේ ඇතැම් විට වසරකට වරක් හෝ දෙකක් පමණි. පූජක  හිඟය එතරම් ම උග්‍ර ය. මේ නිසා එම ජනයාට දිව්‍ය පූජාවට සහභාගී වීමට ඇති අයිතිවාසිකම සැලකිල්ලට ගෙන මනා ප්‍රවිචයකින් සහ පුහුණුවකින් පසුව විවාහක වැඩිහිටි පිරිමින්ට පුදැදුරු වරය දානය කිරීමට ඇමේසන් රදගුරු හිමිවරු එකඟත්වයට පැමිණියහ. මෙහි මුල් අදියර වශයෙන්   දැනට එම කලාපයේ සේවාව කරන විවාහක ස්ථිර තේවාචාරී වරුනට පුදැදුරු වරය ලබා දෙන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ අවසර හා අනුමැතිය ඉල්ලා සිටින බව ද ඔව්හු අවසන් නිවේදනයේ සඳහන් කරති.

මෙලෙස පුදදුරු වරයට යෝජනා කෙරෙන අපේක්ෂකයන් සතුවිය යුතු සුදුසුකම් එම ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වේ. වෙනත් කාරනා අතර,  "ඵලදායි තේවාචාරී සේවා කාලයක් සහිත, පුදැදුරු වරයට අවශ්‍ය ප්‍රමාණවත් පුහුණුවක් හා හැඩගැස්මක් ලැබූ, නෛතිකව විවාහ වී ස්ථාවර පවුල් ජීවිතයක් ගත කරන පිරිමින්" යන සුදුසුකම් ඊට අවශ්‍ය වේ.

කාන්තා තේවාචාරී වරය

මෙය ඇමේසන් සිනොඩ් කතිකාවේ සංවාදයට ගැනුණු නමුත් ඉන් පිටත විවාද රැසකට ලක්වූ  මාතෘකාව වී තිබිණි. ඇමේසන් රදගුරු හිමිවරුන් බොහෝ දෙනෙකු පෙන්වා දී තිබුනේ ඇමේසන් ස්වදේශික ජනයා අතර මාතෘත්වයට පවතින කේන්ද්‍රස්ථානය සහ වැදගත්කමත් එම  කලාපය තුළ කාන්තාවන් දැනටමත් ඉටු කරන දූත සේවාවත් සැලකිල්ලට ගත්  කළ ඔවුනට තේවාචාරි වරයා ලබා දීමෙහි වරදක් නොමැති බවයි.

එහෙත්  කතෝලික සභා සම්ප්‍රදාය හෝ ශුද්ධ ලියැවිල්ල තුළ ඊට අවශ්‍ය ආදර්ශ හෝ ඉගැන්වීම් හමු නොවන බැවින් කාන්තා තේවාචාරී වරය ඇති කළ නොහැකිය යන්න සභා නීතිවේදීන් ගේ මතය  වී තිබිණි.

කෙසේ නමුත් ජේසු සමිඳුන් කාන්තාවනට භාර කළ "දූත මෙහෙවර" පිළිගන්නා බව ඇමේසන් රදගුරු හිමි වරු සිය අවසන් ලේඛනයේ ප්‍රකාශ කරති. එසේ ම කාන්තා තේවාචාරී වරය ගැන ආධ්‍යයනය කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පත් කරන ලද කොමිසම අවසන් නිගමනයකට පැමිණ නොමැති බව ද ඔව්හු පෙන්වා දෙති. මේ නිසා තමන් සතුව පවතින අත්දැකීම් ද එම කොමිසම සමග බෙදාගෙන එම වාර්තාවේ නිගමන දැනගැනීමට තමන් බලාපොරොත්තු වන බව එම රදගුරු වරු ප්‍රකාශ කළහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සමාප්ති කතාවේදී ඊට සිය ප්‍රතිචාරය ප්‍රකාශ කලේ ය. එතුමා කියා සිටියේ එම කොමිෂන්  සභාව යළි කැඳවීමට තමා පියවර ගන්නා බවයි.
" මම ඒ අභියෝගය  භාර ගන්නම්. විශ්වාස ධර්මය පිලිබඳ සසුන් පර්ෂදය සමග එම කොමිෂන් සභාව යළි කැඳවීමටත්, නව සාමාජිකයන් ඊට එක් කර එම අධ්‍යයනය යළි සිදු කිරීමට කටයුතු කරන්න පුළුවන්" එතුමා සඳහන් කළේය.

සුදොතුම් පියතුමා ගේ කාර්ය භාරය 

ඇමේසන් කලාපීය රදගුරු හිමි වරුන් සිය සිනොඩ් කතිකාව තුළ ඉතා නිර්භීත නිගමන රැසකට එළැඹ සිටින බව එම කතිකාවේ අවසන් ප්‍රකාශනය මොනවට පෙන්නුම් කරයි. එහෙත් එම නිගමන සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය. නිදසුනක් ලෙස විවාහක පිරිමින්ට පුදැදුරුවරය දානය කිරීම යන නිගමනය ක්‍රියාත්මක කළ හැකි වන්නේ සුදොතුම් පියතුමන් විසින් කළ යුතුව තිබෙන සභා නීති වෙනස් කමකින් සහ අනුමැතියකින් පසුව පමණි. මේ හේතුවෙන් මෙම නිගමන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉදිරියේ පවතින  වගකීම්  සහ අභියෝග තවත් වර්ධනය කරන්නක් බව විචාරකයන් ගේ අදහසයි.

මෙම අවසන් ප්‍රකාශනය ගැන තමන් වෙනම ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය නොවන බව සුදොතුම් පියතුමා සිය සමාප්ති අදහස් දැක්වීමේ දී කියා සිටියේ ය. එසේ වූවත් මේ වසර අවසානය වන විට ඒ පිලිබඳ ලේඛනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එතුමා සඳහන් කළේය. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය