"පාප් වහන්සේ ලෙස තේරී පත් වුණාය කියා කෙනෙකු ගේ පව් සේදෙන්නේ නැහැ.මට එදා වගේම පාප පරීක්ෂා එනවා," සුදොතුම් පියතුමා ජේසුනු පියවරුනට කියයි: "පේදුරු තුමා ගේ කෛරාටික කම මා සනසනවා; උණුසුම් කරනවා."

"Being elected pope doesn’t wash away one’s sins" Pope Francis tells Jesuits


(2019 ඔක්තෝබර 25)
පාප් වහන්සේ ලෙස තමා ගේ වගකීම් වඩා  විශාල වී ඇති අතර සිය යාච්ඥා ලේඛනය දීර්ඝ වී ඇති නමුත් මූලික වශයෙන් තමා 2013 මාර්තු මාසයට පෙර සිටි පුද්ගලයා ම යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. තමා  දෙසතියකට වරක් පාපොච්චාරණයට යන්නේ ඒ නිසා යැයි එතුමා පෙන්වා දෙයි.

"මා දැන් සම්පූර්ණයෙන් ම සුදු ඇඳුමක් ඇඳීම  එදාට වඩා මගේ පව්කාරකම අඩු  කිරීමට හෝ මා  ශුද්ධවන්ත කිරීමට හෝ හේතුවක් වී නැහැ. එදා වගේම මට  පාප පරීක්ෂා පැමිණෙනවා" යි එතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සැප්තැම්බර් මාසයේ මොසැම්බික්හි කළ අපෝස්තලික ගමන අතරතුර එරට ජේසු නිකායික පියවරුන් සහ සහෝදරවරුන් සමග පැවති සුහද පිළිසඳරේ දී ය. සුදොතුම් පියතුමා ජේසු නිකායිකයකු බැවින් එතුමා අපෝස්තලික සංචාරවල යෙදෙන රටවල දී එතුමන්ට සිය නිකායිකයන්  සමග විවේකීව සුහද කතාබහෙන් ගත කිරීමට කාලය වෙන් කර දෙනු ලැබේ. (එම අවස්ථාව එතුමන්ට ලබා නොදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ දී පමණි.) එය මාධ්‍යයට විවෘත නොවන පෞද්ගලික එකක් වන නමුත් එම සාකච්ඡාවේ පිටපත  පසුව මාධ්‍ය වෙත නිකුත් කරනු ලබයි. මොසැම්බික්හි ජේසුනුවන් සමග පැවති පිළිසඳරේ පිටපත ද දැන් නිකුත් කරනු ලැබ  තිබේ.

පාප් වහන්සේ ලෙස තේරී පත් වීමෙන් පසුව දෙවියන් වහන්සේ පිළිබඳව  එතුමන් තුළ පැවැති අත්දැකීම් වෙනස් වූයේ කවරාකාරයෙන් දැයි ජේසුනුවෙක් එහි දී එතුමා ගෙන් විමසුවේ ය.

"තවමත් පව් කාරයෙක්"

"මා හිතන්නේ දෙවියන් වහන්සේ පිලිබඳ මගේ අත්දැකීම මූලික වශයෙන් වෙනස් වී නැහැ," යි ඊට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේ ය. "මා කළින් වගේම සමිඳුන්ට කතා කරනවා. දෙවියන් වහන්සේ මේ කාලයට මට අවශ්‍ය දේව වරප්‍රසාද ලබා දෙන බව මට හැඟෙනවා. එහෙත් උන්වහන්සේ මීට කලිනුත් එම වරප්‍රසාද මට දානය කර තිබෙනවා. ඒ වගේම මම කළින් වගේම එකම පව් තවමත් කරනවා."

"මම පව්කාරයෙක්. මම තවමත් පව් කාරයෙක්. ඒ නිසයි මා හැම දෙසතියකට වරක් ම පාපොච්චාරණ සක්‍රමේන්තුවට යන්නේ," එතුමා පැහැදිලි කළේය.

"සමිඳුන් සමග මගේ සම්බන්ධතාව  වෙනස් වී නැහැ. එහෙත් මගේ වගකීම කළින් තිබුණාට වඩා විශාල  වී තිබෙනවා. ඒ වගේම මගේ යාච්ඥා මැදිහත් වීම් සමස්ත සභාව දක්වාත් සමස්ත ලෝකය දක්වාත් ව්‍යාප්ත වී දීර්ඝ වී තිබෙනවා. එහෙත් දුර්පරීක්ෂා වෙනදා වගේ මයි. ඒ වගේමයි පාපවලුත්" එතුමා සඳහන් කළේය.

පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීම වැදගත්

ලෝකය පුරා ජේසු නිකායිකයන් විසින් දැනට අවුරුදු ගණනාවක සිට ක්‍රියාත්මක කරන "පාප් වහන්සේ ගේ යාච්ඥාවේ අපෝස්තලික සේවාව" ගැන තවත් ජේසුනුවෙක් සුදොතුම් පියතුමා ගෙන් විමසුවේය. එය දැන් ක්‍රියාත්මක වන්නේ "පාප් වහන්සේ ගේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" (Pope’s Worldwide Prayer Network).යන නමිනි. (ශ්‍රී ලංකාවේ ද මීගමුවේ පිහිටි ජේසු නිකායික ප්‍රාදේශීය නායක නිවසේ සිට මෙම සේවාව ක්‍රියාත්මක වේ.)

"කතෝලිකයන් මධ්‍යස්ථ වීමේ යාච්ඥාවේ කලාව ඉගෙනගත යුතුයි" ඊට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. 'මධ්‍යස්ථ වීමේ යාච්ඥාව' (prayer of intercession) යනුවෙන් අදහස් කරන්නේ වෙනත් කෙනෙකු ගේ අවශ්‍යතා ඉතා ධෛර්යවන්තව  සහ එඩිතරව දෙවියන් වහන්සේ වෙත එසවීම සහ ඊට මැදිහත් වන ලෙස උන්වහන්සේ ගෙන් ඉල්ලා සිටීමයි. ලෝක ව්‍යාප්ත යැදුම් ජාලයෙන් සිදු කරන්නේ සුදොතුම් පියතුමන් ගේ අදහස්  වෙනුවෙන් යාච්ඥා කරන  ලෙස ලොව පුරා සිටින ජනතාව දිරිමත් කිරීම යි.

"ජනතාව පාප් වහන්සේ වෙනුවෙනුත් උන්වහන්සේ ගේ අදහස් වෙනුවෙනුත්  යාච්ඥා කිරීම වැදගත්.  පාප් වහන්සේටත් පාප පරීක්ෂා පැමිනෙනවා. ඇතැම් විට තමා වටලා ඇති බවක්  එතුමාට වැටහෙන්නට පුළුවන්. කතෝලික ජනතාව  ගේ යාච්ඥා වලට පමණයි එතුමන් එයින් නිදහස් කරන්නට පුළුවන් වන්නේ. මෙම මධ්‍යස්ථ වීමේ  යාච්ඥාවේ බලය අපෝස්තුළු වරුන් ගේ ක්‍රියා පොතේ විස්තර කරනවා. පේදුරු තුමන් සිරගතකොට සිටින විට එදා සභාව එතුමන් වනුවෙන් නොකඩවා යාච්ඥා කළා" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"සභාව ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් යාච්ඥා කරන්නේ නම්, එය දේව වරප්‍රසාදය යි. සෑම විටම යාච්ඥා කරන්නටය  කියා ආයාචනා කළ යුතු ය කියා  මට සැබවින් ම හැඟෙනවා. ජනතාව  ගේ යාච්ඥාව  ශක්තිය ඇති කරන සුලූයි" එතුමා සඳහන් කළේය.

"පේදුරු තුමන් තුළ ජීවත් වූ බියගුල්ලා සහ කෛරාටිකයා"

සිය සභාවේ නායකත්වයට ජේසු සමිඳුන් විසින් ම පත් කරනු ලැබූ පේදුරු තුමන් තුළ දක්නට ලැබෙන  පෞරුෂත්ව සහ මානසික දෙබෙදුම ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. එම තත්වය අද ද දක්නට ලැබෙන බව එතුමා කීවේ ය.

"පේදුරු තුමන් සුපුවත තුළ හමුවන අවසන් අවස්ථාවේ පවා එතුමා කළින් සිටියා සේ ම අනාරක්ෂිතව සිටින බව දැනගැනීම මා තුළ සැනසිල්ලක් ඇති කරනවා" යි එතුමා ඒ ගැන කතා කරමින් කීවේ ය.
"ගලීල මුහුදු තෙර දී ජේසු සමිඳුන් පේදුරු තුමන්ගෙන් විමසනවා ඔහු සෙසු අයට වඩා තමන් වහන්සේට ප්‍රේම කරන්නේ ද කියා. ඉන් පසුව උන්වහන්සේ 'මාගේ බැටළුවන් ආරක්ෂා කරන්නැ'යි ඔහුට උපදෙස් දී  එම නායකත්වය තුළ ඔහු ස්ථිර කරනවා. එහෙත් පේදුරු තුමන් ගේ මානසික හා පෞරුෂ ස්වභාවය නොවෙනස්ව එලෙස ම පවතිනවා: ඔහු දිගටම මුරණ්ඩු, අපරීක්ෂාකාරී, ඉක්මන් ගමන් යන කෙනෙක්. ඒ කෙතරම් ද කියන්නේ නම්, ජුදා ආගමේ සිට නොව  මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි වල සිට පැමිණ ක්‍රිස්තුන් වහන්සේ කිතු දහම වැළඳගත්   ජනතාව  වෙනුවෙන් පේදුරු තුමන් ගේ මුරණ්ඩු කමට විරුද්ධව ඔහු සමග සටන් කිරීමට පාවුළු තුමන්ට සිදු වෙනවා."

එම සිද්ධිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොත උපුටා දක්වමින් ජේසු නිකායිකයන් හමුවේ සිහිපත් කළේය.
"මුල් කාලයේ අන්තියෝක්හි ජීවත් වන කාලයේ පේදුරු තුමා දෙවියන් වහන්සේ ඔහුට ලබා දුන් නිදහස තුළ ජීවත්  වෙමින්, මිථ්‍යා දෘෂ්ටිකයන් සමග එකම කෑම මේසයේ වාඩි වුනා. එහිදී ඔහු ආහාර ගැනීම සම්බන්ධයෙන් පවතින ජුදා නීති සහ සම්ප්‍රදායයන් ඉවත් කරමින් මිථ්‍යා දෘෂ්ටිකයන් සමග එකම මේසයේ ආහාර ගත්තා. ඒ අතර ජෙරුසලමේ සිට (ජුදෙව් ආගමේ සිට කිතු දහම වැළඳගත්) පිරිසක් අන්තියෝකයට පැමිණියා. ඔවුන් පැමිණි විට ඔවුනට බියෙන් පේදුරු  තුමා (මිථ්‍යා දෘෂ්ටික ආගමේ සිට පැමිණි) කිතුනුවන් ගේ මේසයෙන් ඉවත් වී චර්මඡේදිතයන්  සමග පමණක් ආහාර ගන්නට පටන් ගත්තා."

"කෙටියෙන් කියන්නේ නම්, ඔහු නිදහසේ සිට බියගුළු බවේ  වහලකු බවට පත් වුනා. මෙන්න අපට හමුවෙනවා, පේදුරු නමැති කෛරාටිකයා; තමා ගේ නිදහස  හෙට්ටු කරන්නා" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"පේදුරු තුමා ගේ කෛරාටික කම ගැන කියවන විට මා තුළ සැනැසිල්ලක් ඇතිවෙනවා. එය මා උණුසුම් කරනවා" යි එතුමා කියා  සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "පර්යන්තයේ (පරිධියේ) සිට පැමිණි" පාප් වහන්සේ ය. එතුමා පර්යන්තයේ පවතින ශක්තීන් සහ නැවුම් දේ ධර්ම දානයට කුල වද්දන්නට ඇරියුම් කරන පාප් වහන්සේ ය. එසේම එතුමා සභාව මුහුණ දෙන නූතන අභියෝගවලට පාවුළු තුමන් ගේ දේව ධාර්මික දැක්ම තුළ විසඳුම් දකින පාප් වහන්සේ නමකි. එතුමා මොසැම්බික් ජේසුනුවන් සමග බෙදා ගත්  මේ අදහස් පාදක කරගත් විට එතුමා ඇමේසන් සිනොඩ් කතිකාව ගෙන යන දිශාව අවබෝධ කරගැනීමට පහසු වනු ඇත. 

පින්තුරය:මොසැම්බික්හි ජේසු නිකායික හමුව




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය