සුඛෝපභෝගී ජීවිතය ප්‍රතික්ෂේප කර දුප්පත්කම වැළඳ ගැනීමට, බසයෙන් දුම්රියෙන් ගමන් බිමන් යන්නට, ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කරන්නට ඇමේසන් රදගුරු හිමි වරු ගිවිස ගනිත; 'දුප්පත් සභාවක්- දුප්පතුන් උදෙසා වූ සභාවක්' පිලිබඳ ඇමේසන් ප්‍රඥප්තියකට අත්සන් තැබේ

Amazon bishops pledge poverty, spurning plastics and taking the bus; The Amazon Pact on a "Poor Church" signed by 40 Synod Bishops 

කිතුනුවන් ගේ රුධිරය සිඳ හෙලුනු 'කැටකුම්බ්' සොහොන් ගැබේ ක්ලවුඩියෝ හියුමෙස් කාදිනල් හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ඉරිදා අලුයම දිව්‍ය පූජාව  

(2019 ඔක්තෝබර 20)
වතිකානයේ දැන් පැවැත්වෙන ඇමේසන් සිනොඩ් කතිකාවට සහභාගී වන රදගුරු හිමිවරු 40 නමක් පුදැදුරුවරුන් සහ ගිහි සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සමග ඔක්තෝබර 20 වන ඉරිදා හිමිදිරියේ රෝමයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි ඓතිහාසික සහ පූජනීය සාන්ත දොමිටීලියා සොහොන් ගැබ වෙත ගියහ. එහි රැස්ව ඉරිදා දිව්‍ය පූජාව ඔප්පු කළ ඔව්හු තවත් ඓතිහාසික කටයුත්තකට එක් වූහ.

එනම් 1965 පැවැත්වුණු 2 වන වතිකාන කතිකාව අතරතුර ඊට සහභාගී වූ කතිකා රදගුරු වරුන් කණ්ඩායමක් විසින්   "දුප්පත් සභාවක්" ඉල්ලා අත්සන් කරන ලද "සොහොන් ගැබ් ගිවිසුම" (“Pacts of the Catacombs”) අලුත් කිරීමයි. 1965 ගිවිසුම අනුප්‍රාණය ලැබුවේ දෙවන වතිකාන  කතිකාවේ නැවුම් සුළඟින් ශකිත ලබා 'දුප්පත් සභාවක්-දුප්පතුන් උදෙසා වූ සභාවක්' ගොඩ නැගීමේ අරමුණ ඇතිව ය.

එම ගිවිසුම හා 2019 සිනොඩ් කතිකාව අතර තුර අත්සන් තැබුණ මේ ගිවිසුම අතර කැපී පෙනෙන වෙනස්කම් පවතින බව රෝමයෙන්  ලැබෙන වාර්තා කියයි.

මේ ගිවිසුම මුල් බැස  ඇත්තේ ඇමේසන් කලාපය තුළ ය. " පොදු නිවස උදෙසා, ඇමසෝනියාන මුහුණුවරකින් යුත් දුප්පත් වූ සහ සේවක වූ, දිවැසිවර වූ සහ සමරිතාන වූ සභාවක් උදෙසා වන සොහොන් ගැබ් සම්මුතිය" යන්න  එහි සම්පූර්ණ නමයි. (“Pact of the Catacombs for the Common Home, for a Church with an Amazonian face, Poor and Servant, Prophetic and Samaritan.”)

නව සම්මුතිය

1965 සම්මුතියට අත්සන් තබන ලද්දේ දෙවන වතිකාන කතිකාවට සහභාගී වූ රදගුරු, පුදැදුරු සාමාජිකයන් පිරිසක් පමණි. මෙම ඇමේසන් සම්මුතියට රදගුරු පුදැදුරු සාමාජිකයනට අමතරව හිගි පිරිමින් මෙන් ම කාන්තාවන් ද අත්සන් තැබීම එහි පවතින ප්‍රධාන වෙනසකි.

සොහොන් ගැබේදී පවත්වන ලද දිව්‍ය පූජාවට සහභාගී වූ  ලුතෙරාන සහ එසෙම්බ්ලීස් ඔෆ් ගෝඩ් සභාවල දේවගැතිවරු දෙදෙනෙක් ද ඊට අත්සන් කළහ.

නව සම්මුතිය වගන්ති 14 කින් සමන්විත ය.

ප්‍රථම  වගන්තියෙන් අත්සන් තැබූවන් ඉල්ලා සිටින්නේ සහ  ප්‍රතිඥා දෙන්නේ මිහිතලයේ එක් පෙනහල්ලක් බඳු ඇමේසන් වැසි වනාන්තරය ආරාක්ෂ කර  ගැනීමට යි. මිහිතලය උණුසුම් වීමේ සහ ස්වාභාවික සම්පත් සීඝ්‍රයෙන් ක්ෂය වීමේ අනතුර හමුවේ එම වැසි වනාන්තරය ආරක්ෂා කිරීමේ වගකීම ඔව්හු අවධාරණය කරති.

දෙවියන් වහන්සේ ගේ මැවිල්ල ආරක්ෂා කර ඊට සැලකිල්ල දක්වා එය  රැකබලා ගැනීමේ අත්‍යවශ්‍යතාව දෙවන සහ තෙවන වගන්ති වලින් පෙන්වා දී තිබේ. "මනුෂ්‍යයා මිහි මව ගේ අයිතිකාරයා නොවේ. ඔවුන් මිහි මව රැක බලා ගැනීමට කැඳවනු ලැබ සිටින පුතුන් සහ දූවරුන්" බව එම වගන්ති පැහැදිලි කරයි.

දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීම

1965 සම්මුතියේ රදගුරු හිමිවරුන් සේ  ඇමේසන් සම්මුතියට අත්සන් තැබූවන් ද "දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහ පූර්වක මනාපය" (preferential option for the poor) යළි තහවුරු කර තිබේ. දුප්පතුන් වෙනුවෙන් කෙරෙන තෝරාගැනීමේ දී ස්වදේශික ජනතාව සමාජයේ මෙන් ම සභාවේ ද ප්‍රධාන රංගධරයන් (protagonists) බවට පත් කෙරෙන අතර  ඔවුනට සිය ඉඩම්, සංස්කෘතීන්, භාෂා, ජනකතා, අනන්‍යතා සහ ආධ්‍යාත්මිකතා සුරක්ෂිත කරගැනීමට සහය දෙන බව ඔව්හු ප්‍රකාශ කරති.

සභාව සියලු ආකාරයේ යටත් විජිතවාදී මානසිකත්වයන් සහ ඉඟිතයන් අත්හැර දැමිය යුතු බව ඇමේසන් සම්මුතිය අවධාරණය කරයි.

ස්වදේශික ජනතාවට  (ආදිවාසීන්ට) එරෙහි සකල ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවට ද ඔව්හු ප්‍රතිඥා දෙති.

වෙනත් කිතුනු සභා සමග සෛනෝඩීය   ගමනක්

කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි සභා සමග සංවාදය වඩා ගැඹුරට, සවිමත්ව ගෙනයාමට ද ඔවුන් ශපථ කර තිබේ. කතෝලික මීසම් සහ සහ සමාජ වල තීරණ ගැනීමේ දී සෛනෝඩීය  ශෛලිය අනුගමනය කරමින් එම සභා නියෝජිතයන් ද හවුල් කර ගැනීම ඔවුන් ගේ යෝජනාව යි.
"සෙසු කිතුනු සභා සමග සංවාදයෙන් ගමන් කරමින් සෛනෝඩීය  ජීවිත ක්‍රමයක් ඇතිකර ගැනීමටත් ගිහියන්, ධර්මදූතයන්  මුල් ජනතාවන්, සම්බන්ධ කරගනිමින් පදවි රැස්වීම් මෙන් ම මීසම් සභාවලදී ද ප්‍රජා වලට අදාළ වන වෙනත් ස්ථාන  වලදී ද  ඔවුන් ගේ හඬට සහ ඡන්දයට අවකාශ සලසා දෙන බව අත්සන් තැබුවෝ ප්‍රකාශ කරති.

විවාහක වැඩිහිටියන්ට පුදැදුරුවරය ලබා දෙන්නේය යන්න ඍජුව සඳහන් නොකලත් ඒ බව වක්‍රාකාරයෙන් ප්‍රකාශ කිරීමක් ද මෙම සම්මුතිය තුළ දක්නට ලැබේ. "සියලු සංඝ වලට 'වාක්‍ය මේසය'ට මෙන්ම 'දිව්‍ය සත්ප්‍රසාදීය මේසය'ට ද සහභාගී වීම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී සහ ප්‍රතිඵලදායී පියවර ගනු ලැබේ" යි එම සම්මුතිය සඳහන් කරයි. කලාපයේ කාන්තාවන් දැනටමත් සභාව තුළ කරන සේවාව සහ  සැබෑ "ඩයකෝනියාව" පිළිගනිමින් සභාව තුළ කාන්තාවන් කරන සේවාවට නිල පිළිගැනීමක් ලබා දීමට ද ඔව්හු ප්‍රතිඥා දෙති.

දුප්පත් සරල ජීවිතය 

පුදැදුරු වරුන්, රදගුරු වරුන් සේ ම ගිහි ජනතාවක්  ලෙස අල්පෙච්ඡ්  ජීවිතයක් ගත කිරීමට ද ඊට අත්සන් තැබූවන් සහතික වී ඇත.
ලෝකය දැවැන්ත පාරිභෝගිකවාදී නායයාමකට ලක්ව ඇතැයි ඔව්හු ඇමේසන් සම්මුතිය මගින් පෙන්වා දෙති. "ඊට ප්‍රතිචාරයක් ලෙස අග හිඟ කමින් පෙලෙන ජනතාව සමග සහයෝගයෙන්   ඉතා ප්‍රීතිමත් . සරල , අල්පෙච්ඡ්, සන්සුන් ජීවිතයක් ගත කරමු;  ප්ලාස්ටික් භාවිතය සහ පරිසරයට කසල බැහැර කිරීම අඩු කරමු; පරිසර හිතවාදී නිෂ්පාදන නිෂ්පාදනය කර වෙළෙඳාමට දිරි දෙමු; එසේ ම හැකි සෑම අවස්තාවක ම පොදු මගී ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යන්නෙමු" යි ඔවුන් පවසා තිබේ.

"කැටකුම්බ්" සොහොන් ගැබ්

රෝමයේ 'කැටකුම්බ්' නමැති සොහොන් ගැබ් යනු ක්‍රි. ව. දෙවන සියවැසේ සිට  පස්වැනි සියවස දක්වා මියගිය මුල් කිතුනුවන් මිහිදන් කිරීමට යොදා ගත් සොහොන් ගැබ් ය. මේවායේ මිහිදන් කරන ලද්දේ රෝම අධිරාජයන් ගේ පීඩනය යටතේ ප්‍රාණ පරිත්‍යාගී වරයට පත් වූ කිතුනුවන් ය. ඔව්හු සභාවේ ප්‍රථම සාන්තුවරු ය.

සොහොන් ගැබක ඔප්පු කරන ලද දිව්‍ය පූජාවකින් පසුව ඇමේසන් සම්මුතිය අත්සන් කරන ලද්දේ එම සාන්තුවරුන් ද ඊට සාක්ෂි දැරීම සඳහා සහ ඔවුන් ගේ මැදිහත්කම සහ ශක්තිය ලබා ගනු සඳහා ය.

මෙම දිව්‍ය  පූජාව ඔප්පු කරන ලද්දේ බ්‍රසීලයේ ක්ලවුදියෝ හියුමෙස් කාදිනල් තුමන් ගේ ප්‍රධානත්වයෙනි. හියුමෙස්  කාදිනල් තුමා ඇමේසන් සිනොඩ් කතිකාවේ සභාපති වරයා ය. මෙම පූජාවේ දී එතුමා පැළඳ සිටියේ 1965 සම්මුතිය අත්සන් තබන දිව්‍ය පූජාව පැවැත්වු බ්‍රසීලියානු ජාතික හෙල්ඩ කමාරා අගරදගුරු තුමා පැලඳ  සිටි ඉස්තෝල පටිය ය.

සම්මුතිය අත්සන් තැබීම ගැන සියලු තොරතුරු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට දන්වා ඇති බව පීරු රාජ්‍යයේ පෙද්‍රෝ රිකාඩෝ කාදිනල් තුමා ප්‍රකාශ කළේය.

දේව වචනය ප්‍රකාශ කිරීමට  නව මං පෙත් සොයමු 

දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පැවැත්වූ ඇමේසන් සිනොඩ් කතිකාවේ සභාපති, බ්‍රසීලයේ ක්ලවුදියෝ හියුමෙස් කාදිනල් හිමි  නූතන ලෝකය තුළ පවතින අයහපතට හේතුවක් වී ඇති අධික ලෙස ධනය එක්රැස් කරගැනීමේ තරගය  දැඩි ලෙස විවේචනය කලේ ය. "අද ලෝකයේ දක්නට ලැබෙන යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු සෑම නපුරකට ම හේතුව මුදල්" බව එතුමා පෙන්වා දුන්නේය.

"දේව වචනය ප්‍රකාශ කිරීම සඳහා නව මාර්ග සහ වඩා යහපත් තත්වයන් ඇතිකර ගැනීම සිනොඩ් කතිකාවේ බලාපොරොත්තුව යි. සියල්ලන් ඉදිරියේ -දේව රාජ්‍යයට විරුද්ධ වූවන් ඉදිරියේ පවා -  දේව වචනය අවධාරණය කල යුතු " යැයි ද එතුමා කියා සිටියේය.

" 'කැටකුම්බ්' සොහොන්  ගැබ් වූ කලී 'ශුද්ධ වූ දේශයන්' ය. මන්ද ප්‍රථම කිතුනුවන් ගේ රුධිරය සිඳ හෙලුනේ මේ සොහොන් ගැබ් වලදී වීම නිසා ය. එසේ ම මේ සොහොන් ගැබ් රෝම  අධිරාජයන් ගේ පීඩනයට ගොදුරු වූ  ප්‍රථම කිතුනු සංඝ වල රක්ෂස්ථාන  වී තුබුණේ ය. ඇමේසන් සභාව දේව වචනය ප්‍රකාශ කිරීමේ නව මං පෙත් සොයන මේ මොහොතේ දෙවියන් වහන්සේ එදා ප්‍රථම කිතුනු සංඝ වලට දානය කළ ශක්තිය අද අපට ද දානය කරන සේක්වා!" යි හියුමෙස් කාදිනල් තුමා ප්‍රාර්ථනා කලේ ය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය