සංවාදය පාගා දමන තක්කඩි දේශපාලනය වතිකානයටත් ඇතුළුවෙයි; සිනෝඩ් විරෝධීහු ආන්දෝලනාත්මක ඇමේසන් ප්‍රතිමාව පැහැරගෙන ටයිබර් ගඟට දමති

Controversial Amazon statue stolen from church, thrown into  River Tiber in  Rome

'ගැබිණි නිරුවත් ස්වදේශික ගැහැණිය'

(2019 ඔක්තෝබර 22)
ඇමේසන් සිනොඩ් කතිකාව ආරම්භයේ සිට ආන්දෝලනයක් ඇති කරන ලද සංකේතාත්මක ඇමේසන් ප්‍රතිමාව සොරකම් කරගත් පිරිසක් එය කැබලි කොට රෝමයේ ටයිබර් නදියට හෙලා ඇතැයි රෝමයෙන් ලැබෙන වාර්තා පවසයි.

මෙම මුර්තිය "නිරුවත් ගැබිණි ස්වදේශික ආදිවාසී ගැහැණියක ගේ" දැවමුවා මුර්තියකි. මුලදී ඇමේසන් සිනොඩ් කතිකාවේ ආරම්භක යැදුම් මෙහෙයක ප්‍රදර්ශනය කරන ලද  මෙම ප්‍රතිමාව ඇමේසන් මිථ්‍යා දෙවියකු ගේ බවටත් ඒ මගින් එම මිථ්‍යා ඇදහිලි කතෝලික සභාවට ඇතුළු කරන්නට උත්සාහ කරන බවටත් මුල සිටම සිනොඩ් කතිකාවට අකුල් හෙලන්නටම බලා සිටි සසුන් පිය ප්‍රැන්සිස් විරෝධීහු චෝදනා කරන්නට පටන් ගත්හ. එහෙත් වතිකාන ප්‍රකාශකයා එම මතය මුළුමණින්ම  ප්‍රතික්ෂේප කළේය. එම මුර්තිය සිනොඩ් සමුළුව වෙත ගෙන ආ කණ්ඩායමේ සාමාජික ජේසු නිකායික ෆර්නැන්ඩෝ ලෝපේස් පියතුමා කියා සිටියේ එය   "ජීවිතයේ ම නිරූපනයක්" බව  ය.

එම කතාව මෙතැනින් කියවන්න: 
සිනොඩ් කතිකාවට පැමිණ ආන්දෝලනයක් ඇති කළ 'ගැබිණි නිරුවත් ගැහැණිය' ගේ පසුබිම: "ඈ ජීවිතයේ පිළිබිඹුවයි. දෙවියන් වහන්සේ යම් ආකාරයකින් මවක් ලෙස සංකේතවත් කරන ජීවිතයේ ම අභිරහස යි" - ඇමේසන් පරිව්‍රාජක කණ්ඩායමේ පියතුමා කියයි.

එම මුර්තිය එක්තරා පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් කැබලි වලට කඩා රෝමයේ ටයිබර් නදියට හෙළා තිබේ.

මේ පුවත ඇතුළත් වීඩියෝවක් ද සහිතව එය  මුලින්ම වාර්තා කරන ලද්දේ මුල සිටම සිනොඩ් කතිකාව දැඩි ලෙස විවේචනය කල "ලයිෆ් සයිට් නිව්ස්" LifeSite News සහ "චර්ච් මිලිටන්ට්" Church Militant නමැති වෙබ් අඩවි දෙක විසිනි. මෙම වෙබ් අඩවි දෙක සසුන් පිය ප්‍රැන්සිස් විරෝධී අදහස් පතුරුවන එතුමන් ගේ ඕනෑම ප්‍රයත්නයක දෝෂ ම  දකින වෙබ් අඩවි දෙකක් ලෙස ද කුප්‍රකට ය. 

රෝමයේ දෙව්මැදුරක  මෙම ප්‍රතිමාව තබා තිබෙනු එම වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටයේ මුලින්ම දක්නට ලැබේ. ඉන් පසුව කිසියම් පිරිසක් විසින් එය රැගෙන යන අන්දම වීඩියෝ දර්ශන වලින් දක්නට ලැබේ. ඔව්හු රෝමයේ සාන්ට් ආන්ජෙලෝ මාලිගයට  ආසන්න පාලමක් අසලට සොරාගත් මුර්තිය  රැගෙන යති. මිනිත්තු කිහිපයකින් එම පිරිස ප්‍රතිමාවේ කැබලි එකිනෙක එම පාලම මත තබති. ටික වෙලාවකින් පසු ඔවුන් එම ප්‍රතිමාවේ කැබලි නදියේ මඩ  සහිත ජලයට විසි කරන අයුරු වීඩියෝ දර්ශනවල සටහන් වේ.

මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසුව වතිකාන ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී  පාඔලෝ රුෆිනි වාර්තාකරුවන් අමතමින් කතා කළේය.

"මෙම සිද්ධිය  මා දකින්නේ සිනොඩ් කතිකාවක් තුළ අඩංගු විය යුතු සංවාදයේ ලක්ෂණයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ලෙසයි" හෙතෙම කියා සිටියේ ය. එසේම මෙම ප්‍රතිමාවෙන් නිරූපනය වන්නේ "ජීවිතය, සරු බව සහ මිහි මව" යයි ඔහු යළිත් අවධාරණය කලේ ය.

කතෝලික සභාව මුල් සමයේ ඇතැම් දේවධාර්මික අදහස්  වරදවා වටහා ගත් සභා නායකයෝ එම අදහස්  වලින් අන්ධව නිදහස් අදහස්  සහ විද්‍යාත්මක චින්තනය පාගා දමන්නට උත්සාහ කළහ. එදා කතෝලික සභාව ඉගැන්වූයේ පෘථිවිය වටා සූර්යයා සහ චන්ද්‍රයා භ්‍රමණය වන බවයි. එහෙත් එය එසේ නොව සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වන බව පවසමින් ගැලීලියෝ ගැලීලි  විශ්වය පිලිබඳ විද්‍යාත්මක සත්‍යතාව ප්‍රකාශ කළේය. එය දේව ධර්මයට විරුද්ධ බව පැවසමින් ගැලීලියෝ ගේ විද්‍යාත්මක මතය යටපත් කරන්නටත් ගැලීලියෝ ට දඬුවම් කරන්නටත්  සභාව ගත් මෝඩ උත්සාහය එවැන්නකි.

එහෙත් විසි එක්වැනි සියවසේ දී සභාවට එවැනි මෝඩ ක්‍රියා කල නොහැකිය.

ඊටත් වඩා සංවාදයට  සංවාදයෙන් පිළිතුරු දෙනු වෙනුවට  තක්කඩි කමින් සංවාදීය ප්‍රස්තුතයකට පිළිතුරු  දීම කතෝලිකයකුට තරම් නොවේ. 

මේ පිළිමය සොරාගෙන එය කැබලි කල පිරිස පහර දුන්නේ එම පිළිමයට නොවේ. කතෝලික සභාව තුළ සංවාදාත්මක සිනොඩ් ගමනක් යන්නට උත්සාහ  කරන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ය. ඔවුන් පිළිමය කැබලි කලේ එතුමන් සමග පවතින වෛරය පිරිමසා ගන්නට බව පැහැදිලි ය. සභාවේ ප්‍රත්‍යන්තයේ පවතින ධර්මදානීය ගැටලුවලට ශුද්ධාත්ම මැදිහත්වීම  තුළ කාලීන, ප්‍රායෝගික, එඬේරික විසඳුම් සොයන එතුමා මේ අන්ත  සම්ප්‍රදාය මතවාදීන්ට අභියෝගයක් වී තිබේ. එසේම මේ වන විට ව්‍යාපාරිකයන් සහ ධනවතුන් වෙනුවෙන් කැප වූ ධනවත් බහු ජාතික සමාගමක් බවට පත් කරගෙන ඇති කතෝලික සභාව   "දුප්පත් සභාවක් -දුප්පතුන් වෙනුවෙන් වූ සභාවක් - දේව මැවිල්ල වන සොබා දහම සුරකින්නට පෙරමුණ ගන්නා දේව අනුග්‍රහයට නතු වූ සැබෑ ක්‍රිස්තු දේහයක්" කරන්නට එතුමන් දරන උත්සාහය වලක්වන්නට ලෝක ධනවතුන් දරන උත්සාහයේ කොටසක් ලෙස ද මෙම ප්‍රතිමා විනාශය හඳුන්වා දිය හැකිය.

මෙවැනි තර්ජන සහ ප්‍රහාර මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ගමන නැවතිය හැකි වනු ඇත් ද? 

සම්බන්ධ වෙනත් ලිපි:
ප්‍රැන්සිස් විරෝධී යුද්ධය


Comments

  1. A vontade de Deus sempre prevalecera acima de tudo, da lei e da ordem

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය