සිනොඩ් කතිකාවට පැමිණ ආන්දෝලනයක් ඇති කළ 'ගැබිණි නිරුවත් ගැහැණිය' ගේ පසුබිම: "ඈ ජීවිතයේ පිළිබිඹුවයි. දෙවියන් වහන්සේ යම් ආකාරයකින් මවක් ලෙස සංකේතවත් කරන ජීවිතයේ ම අභිරහස යි" - ඇමේසන් පරිව්‍රාජක කණ්ඩායමේ පියතුමා කියයි.

"The image of the pregnant woman 'represents life',” Says Itinerant Priest: "It’s a mystery, life itself, signifies in a way that God is also mother."

පාද නමස්කාරය ආරම්භ වූ අවස්ථාව - "නිරුවත් ගැබිණි ගැහැණිය" ගේ මුර්තිය වම් පස යට කෙලවරේ දැකිය හැකිය 

(2019 ඔක්තෝබර 19)
ඇමේසන් සිනොඩ් කතිකාවට මුල පිරෙන මොහොතේ දක්නට ලැබුණු ඇමේසන් ස්වදේශික ගැහැණියක ගේ රුව ගත්  "ගැබිණි නිරුවත් ගැහැණිය" ගේ දැවමුවා කුඩා පිළිරුවක් සසුන් පිය ප්‍රැන්සිස් විරෝධීන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඇමේසන් කලාපීය සිනොඩ් කතිකාවේ නායක රදගුරු හිමි වරුන් සමග ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් යැදුම් මෙහෙයක් කළ වතිකාන උයනේ  මෙම පිළිරුව මුලින් ම දක්නට ලැබිණි. එය ඇමේසන් ආදිවාසී ස්වදේශිකයන් භාවිත කරන කැනූ ඔරුවක් මත අඹා තිබූ නිරුවත් ගැබිණි මවක ගේ දැවමුවා කුඩා පිළිරුවකි.

මුල සිට ම ඇමේසන් කතිකාවේ ඇද ම කතා කරන්නට පුරුදු වී සිටින විවේචකයන්  මේ පිළිරුව දුටු වහා ම කියා සිටියේ එය  ආදිවාසීන් ගේ මිථ්‍යා දෘෂ්ටික දෙවි කෙනෙකු බව ය. මේ මගින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මිථ්‍යා දෘෂ්ටික ඇදහිල්ලක් වතිකානය තුළට ගෙන ඒමට ඉඩ දී ඇති බවට ඔව්හු චෝදනා කළහ. මෙම සංකේතාත්මක මූර්තිය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් විචාරකයන් කියා සිටියේ එය කන්‍ය මරිය වහන්සේ නිරූපනය කරන බවයි. එහෙත් වතිකාන නිල ප්‍රකාශකයා එම උපකල්පනය ද ප්‍රතික්ෂේප කලේ ය.

කෙසේ නමුත් මෙම මුර්තිය ඔක්තෝබර 19 වන සෙනසුරාදා යළිත් වතිකානයේ දී දක්නට ලැබිණි. ඒ, සිනොඩ් සමුළුවට සහභාගී වන රදගුරු , පුදැදුරු, ගිහි සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් සහභාගී වූ කුරුසියේ පාද නමස්කාරයක දී ය.

කුරුසියේ පාද නමස්කාරය ආරම්භ වන ස්ථානයේ "කැනූ ඔරුවක සිටින ගැබිණි නිරුවත් කාන්තාව" ගේ පිළිරුව තබා තිබිණි. ඇමේසන් කලාපයේ ප්‍රාණ පරිත්‍යාගීන් ගේ සිතුවම් ඒ වටා බිම එලා තිබිණි. කුරුසියේ පාද නමස්කාරය ඇරඹුණේ එතැන සිදු කල ආරම්භක යාච්ඥාවකින් පසුවයි. ඇමේසන් වැසි වනාන්තරයේ ජීවත් වන ජනතාව සේ ම මිහිතලයේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විඳින දුක් වේදනා ජේසු සමිඳුන් ගේ කුරුසියේ ගමන සිහිපත් කෙරෙන මෙම කුරුසියේ පාද නමස්කාර ගමනේ දී  මෙනෙහි කෙරිණි.

"ඇමේසන්: පොදු නිවස" 

කුරුසියේ පාද නමස්කාරයේ තේමාව වූයේ "ඇමේසන්: පොදු නිවස" යන්නයි. එය
සංවිධාන කරන ලද්දේ ජාත්‍යන්තර කරිටාස් ව්‍යාපාරය, මිසේරියෝ, පැවිදි නිකාය ලෝක නායකයන්ගේ ජාත්‍යන්තර සංගමය සහ මහා ඇමසෝනියාන සභා ජාලය යන කතෝලික සංවිධාන වල අනුග්‍රහයෙනි.

 "කැනූ ඔරුවක සිටින ගැබිණි නිරුවත් කාන්තාව"  කවුද? 

මෙම නිරුවත් ගැබිණි මව ගේ මුර්තිය "ජීවිතය නිරූපනය කරණ" බව ජේසු නිකායික ෆර්නැන්ඩෝ ලෝපේස් පියතුමා කියා සිටියේය. එතුමා ඇමේසන් ප්‍රදේශයේ ඈත දුර බැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල තැනින් තැන යමින් සුබ  අස්න දේශනා කරන කාන්තා සහ පිරිමි, ගිහි සහ පැවිදි සාමාජිකයන් ගෙන් සැදුම්ලත් "පරිව්‍රාජක දේශනා කණ්ඩායමේ" සාමාජියෙකි. මේ නිසා එතුමා එම කලාපයේ ස්වදේශික සංස්කෘතිය තුළ තමන් ම කුල ගැන්වුණු කෙනෙකි.

"අප හැම කෙනකුම උපත ලබන්නේ මවක ගෙන්. ඉතින් අප හැම කෙනකුට  ම සිටිනවා, අපව ගැබ් ගෙන ජීවිතයට අප බිහි කල අම්මා කෙනෙක්. මෙය අභිරහසක්. ජීවිතය ම අභිරහසක්. දෙවියන් වහන්සේ එක්තරා ආකාරයකට මවක් බවත් උන්වහන්සේ අපට උපත ලබා දී ජීවිතය රැක බලාගන්නා බවත් මේ මගින් සංකේතවත් වනවා" යි "ක්‍රක්ස්" නමැති  ඇමෙරිකානු මධ්‍යස්ථ වෙබ් අඩවිය සමග පත්වන ලද සාකච්ඡාවක දී ෆර්නැන්ඩෝ ලෝපේස් පියතුමා  කියා සිටියේ ය.

"ඇමේසන්  නමැති ජීවයේ බීජය, ස්වදේශික ආදිවාසී ජනතාව සහ විවිධත්වයත් විවිධත්වය ම වන දෙවියන් වහන්සේත් අතර අතිශයින් ගැඹුරු සම්බන්ධතාවක් තිබෙනවා" යි ලෝපේස් පියතුමා පෙන්වා දුන්නේ ය. "විවිධත්වය වැඩි වන තරමට දේවත්වය වැඩි වෙනවා. (The more diverse, the more divine.) ජීවය බිහි විය හැක්කේ විවිධත්වය අතර පමණයි; කාටවත් තනිවම ගැබිණි විය නොහැකියි" යි  එතුමා විස්තර කළේය.

මෙම ගැබිණි නිරුවත් මව ගේ මුර්තිය සිය පරිව්‍රාජක කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ භාවිත කළ එකක් බව එතුමා හෙළිදරව් කලේ ය. එය ඔවුන් විසින් මිල දී ගන්නා ලද්දේ බ්‍රසීලයට අයත් ඇමේසන් ප්‍රදේශයේ මනාවුස් නගරයේ පැවැති කලාකරුවන් ගේ වෙළෙඳ පොළකිනි.

"ජීවිතය නොකඩවා විකසිත වීම" සඳහා මිහිතලය රැකබලා ගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය  "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයෙන් ඉල්ලා තිබෙන බව ලොපේස් පියතුමා සිහිපත් කලේ ය.
"අපගේ ආගමික විශ්වාසයන් කවරක් වූවත් ජීවිතය අප හැම කෙනෙකුට ම විෂය වෙනවා. එය අප සෑම කෙනෙකුට ම අර්ථයක් සපයනවා. අපගේ දරුවන් වගේ ම දරුවන් ගේ දරුවන් මිහි මව මත නොකඩවා ජීවිතයේ නර්තනය නටනු දැකීම අප සෑම කෙනෙකු ගේ ම අපේක්ෂාව යි," යි එතුමා කියා සිටියේය.

මේ මුර්තිය මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍රයක කොටසක් දැයි "ක්‍රක්ස්" වාර්තාකරු ප්‍රශ්න කළේය. "නැහැ",යි පියතුමා අවධාරණය කළේය. "මේ පිළිරුව කෙරෙහි බියක් තිබෙනවා නම්, අප තුළ මොකක් හෝ වරදක් තිබෙනවා" එතුමා අවධාරණය කලේ ය.

පාද නමස්කාරය ආරම්භයේ දී සංවිධායකයෝ මේ පිළිරුවත්   එය මේ පාද නමස්කාර ගමනට ඇති සම්බන්ධයත්  විස්තර කළහ.
"මේ පිළිරුව සූදානම් කර තිබෙන්නේ විශේෂ සංකේතයක් ලෙසයි. වර්තමානයේ ක්‍රිස්තුන් වහන්සේ මහා  ඇමේසන් කලාපය තුළත් එහි ජනතාව තුළත්  යළි මාංශගත වන ආකාරය , කටුක දුෂ්කරතා මැද අමාරුවෙන් ජීවත් වන ආකාරය , මිය යන  සහ උත්ථාන වන ආකාරය නිරූපනය කරමින් උන්වහන්සේ ගිය ගමන අත්දැකීම සඳහා සංකේතයක් ලෙස පිළිරුව යොදා ගෙන තිබෙනවා" ඔව්හු පැවසූහ.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය