විවාහ වූ පුදැදුරු වරුන් සහ කාන්තා ස්ථිර තේවාචාරී වරුන් : ඇමේසන් සිනොඩ් කතිකාවේ සාකච්ඡා වන අනෙක් උණුසුම් මාතෘකා දෙක

Married Priests and Women Deacons: Two "hot" topics in Amazon Synod


(2019 ඔක්තෝබර 15)
ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් කතිකාව තුළ පසුගිය සතියේ සාකච්ඡාවට ගැණුනු කරුණු අතර උණුසුම් මාතෘකා දෙකක් වූ බව වතිකාන නිල නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා වලින් හෙළිදරව් වේ.

එම මාතෘකා දෙක නම් විවාහක  පිරිමින්ට පුදැදුරුවරය දානය කිරීම සහ කාන්තා තේවාචාරී වරය එම ප්‍රදේශ සඳහා ස්ථාපිත කිරීම යි. මෙම "උණුසුම් මාතෘකා" දෙක එක් අතෙකින් මෙම සිනොඩ් කතිකාව කෙරෙහි සභාවේ සම්ප්‍රදාය මතවාදී කණ්ඩායම් වපරැසින් බැලීමේ හේතුවක් ද වී තිබේ. ඊට හේතුවකතෝලික පූජක වරුන් ගේ අනන්‍යතාවක් වන පූජක බඹසර නීතිය වෙනස් කිරීම 'දුර්ලබ්ධියක්' තරම් වරදක් බවට වොඋන් තර්ක කිරීමයි.

එහෙත් ඇමේසන් කලාපයේ පුදැදුරු වරුන්, රදගුරු හිමිවරුන් සේ ම ගිහියන් ද පවසන්නේ විවාහක පූජක වරුන් එම කලාපයේ ධර්ම දානය හා සක්‍රමේන්තු දානය සඳහා මේ වන විට අත්‍යවශ්‍යම කරුණක් වී තිබෙන බවයි.

ඉකුත් සතියේ බදාදා සාකච්ඡා වලදී මෙම මාතෘකා කෙරෙහි පුළුල් අවධානය යොමු වූ බව ඒ පිළිබඳව නිකුත් කරන ලද  වතිකාන නිල නිවේදනයේ සඳහන් විය. එම මාතෘකාව සාකච්ඡාවට ගැණුනේ ඇමේසන් කලාපයේ කිතු දහම වඩාත් ගැඹුරින් කුලගැන්වීම, ස්වදේශික සංස්කෘතීන් සහ ජනතාව කෙරෙහි වැඩි ගෞරවයකින් යුතුව සිදුකෙරෙන ධර්ම දානය සහ  සභාවේ ජනවන්දනා පැවැත්වීම යන පුළුල් පසුබිම තුළ බව එම නිවේදනය කියයි.
"විවාහක පුදැදුරු වරුන් ඇතුළු විසඳුම් ප්‍රතික්ෂේප නොකිරීම සඳහා රදගුරු හිමිවරුන් වෙතින් සාවධාන ප්‍රවිචයක් අපේක්ෂා කෙරෙන බව" මෙහිදී සඳහන් විනැයි එම නිවේදනය ප්‍රකාශ කරයි.

එදින ම පවත්වන ලද මාධ්‍ය හමුවක දී බ්‍රසීලයේ ෂින්ගු පදවියේ විශ්‍රාමික රදගුරු අර්වින් ක්‍රොට්ලර් හිමි එම කරුණ සනාථ කරමින් අදහස්  දැක්වී ය.

"මේ හැරෙන්නට (විවාහක පුදදුරු වරුන් ඇති කිරී හැර)  වෙනත් විකල්පයක් නැහැ. ස්වදේශික ආදිවාසී ජනතාවට  පූජක බඹසර කියන සංකල්පය තේරුම් ගන්නට බැහැ. ඔවුන් එය ඉතා විවෘතව ප්‍රකාශ කරනවා," යි එතුමා මාධ්‍ය කරුවන්ට කියා සිටියේ ය. "මා ස්වදේශිකයන ගේ  ගමකට ගිය විට ඔවුන් මගෙන්  මුලින් ම අහන්නේ 'කෝ ඔබේ බිරිඳ?' කියායි. මිනිසකු අවිවාහකව සිටීම ඔවුනට පිළිගත නොහැකියි," එතුමා විස්තර කළේය.

එහෙත් ඊටත්  වඩා දරුණු අර්බුදයක් තිබෙන බව ක්‍රොට්ලර් රදගුරු හිමි පෙන්වා දුන්නේ ය. එනම් ඇමේසන් කලාපයේ පවත්නා පූජක වරුන් ගේ උග්‍ර හිඟය යි. මේ නිසා එම කලාපීය ජනතාවට සක්‍රමේන්තු ලබා ගැනීමේ දුෂ්කරතාවකුත් විශේෂයෙන් ම දිව්‍ය පූජාවට සහභාගී විය නොහැකි තත්වයකුත් පැන නැගී ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය.
"ඇමේසන් කලාපයේ කිතුනු සංඝ දස දහස් ගණනකට වසරකට දිව්‍ය පූජාව ලැබෙන්නේ එක් වරක් දෙවරක් හෝ තුන් වරක් පමණයි. ප්‍රායෝගිකව සලකා බැලු විට  එම ප්‍රජාවන්ජීවත් වන්නේ හරියට සභාවෙන් පිටමං කරලා වගෙයි. අපට අවශ්‍ය වන්නේ අපේ සහෝදර සහෝදරියන්ට දේව වාක්‍යයේ මේසය පමණක් නොව දිව්‍ය භෝජනයේ මේසයත් සුලබ ලෙස විවෘත කර දෙන්නටයි" යි රදගුරු තුමා පෙන්වා දුන්නේ ය.

ඇමේසන් කලාපයේ පුදැදුරු වරුන් රහිත කිතුනු ප්‍රජා අතරින් තුනෙන් දෙකකටම නායකත්වය දෙන්නේ කාන්තාවන් බව ද රදගුරු තුමා කියා සිටියේ ය. මේ නිසා එම කලාපය සඳහා කාන්තා තේවාචාරීවරය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද එතුමා විස්තර කර දුන්නේ ය.

"පරීක්ෂා කරන ලද වැඩිහිටි පිරිමින්ට" පුදදුරු වරය ලබා දීම - "viri probati"

මෙම සිනොඩ් කතිකාවේ දී යෝජනා වී තිබෙන්නේ "පරික්ෂිත වැඩිහිටි පිරිමින්ට" පුදදුරු වරය දානය කිරීම (" viri probati" ) බව වතිකානයේ ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි පාඔලෝ රුෆීනි එම මාධ්‍ය හමුවේදී ම කියා සිටියේ ය. මෙයින් අදහස් කෙරෙන්නේ  සභාව පූජක බඹසර පිලිබඳව පවතින සිය නීතිය වෙනස් කරන බව නොවේ. මෙයින් අදහස් කෙරෙන්නේ සෑම මිනිස් නීතියකටම  පොදු රීතියක් පවතින බව ය. එනම්   සෑම නීතියකට ම එක් එක් නිශ්චිත අවස්ථාවන්ට ගලපා ගැනීම සඳහා ව්‍යාතිරේක පවතින බවයි" යයි ඔහු පෙන්වා දුන්නේ ය.

කාන්තා තේවාචාරී වරය යනු අලුතින් යමක් ස්ථාපනය කිරීමක් නොවන බව මාධ්‍ය හමුවට එක්  වූ ඉතාලි ජාතික ජියාකොමෝ කොස්තා ජේසු නිකායික පියතුමා පැහැදිලි කලේ ය.

ඇමේසන් කලාපයේ විවාහක වැඩිහිටි පිරිමින්ට පුදදුරු වරය ලබා දීම - තේරුම් ගැනීම

ඇමේසන් කලාපය තුළ වැඩුණු විවාහක පිරිමින් සඳහා පූජකවරය දානය කිරීම ගැන පුළුල්ව තේරුම් ගැනීම් සඳහා කරුණු කිහිපයක් සලකා බැලිය යුතු ය.

මෙහි තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය වන්නේ මේ මගින් කතෝලික සභාව පූජක බඹසර පිලිබඳ සිය නීතිය වෙනස් නොකරන බවයි. පූජක බඹසර  (celibacy) දේව තිළිණයක් ය යන්න සභාවේ නිරන්තර ඉගැන්වීමයි. පූජක බඹසර "වරණයක්" හෙවත් කැමැති නම් තෝරාගත හැකි දෙයක් ලෙස හඳුන්වා දීමට තමන් එකඟ නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම ජනවාරි 27 වැනිදා මාධ්‍ය කරුවකුට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. මේ නිසා ඇමේසන් කලාපය පිළිබඳව මෙම සාකච්ඡාව පන නැගී ඇත්තේ එක්තරා නිශ්චිත දහම් සේමා අවශ්‍යතාවක් අරභයා ය. 

අනෙක් අතින්,  ඇත්ත වශයෙන් ම කතෝලික සභාට දැනටමත් විවාහක පූජක වරු සිටිති. කතෝලික සභාව සමග සම්බන්ධව සිටින නැගෙනහිර යුරෝපා  සභාවල්  23 තුළ සිටින පුදැදුරු වරුනට විවාහ  විය හැකිය. ඇමෙරිකාවේ එපිස්කෝපල්, මෙතෝදිස්ත, ලුතෙරානු සහ ඇන්ග්ලිකාන සභා වල සිට කතෝලික සභාවට ඇතුළු වී කතෝලික පූජක වරය ලබාගත් දේවගැති වරුනට ද විවාහකව සිටීමේ අවසරය දානය කර තිබේ. පූජක බඹසර "වරණයක්" (Optional Celibacy) හෙවත් කැමැති නම් තෝරාගත හැකි දෙයක් ලෙස හඳුන්වා දීමට තමන් එකඟ නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම ජනවාරි 27 වැනිදා මාධ්‍ය කරුවකුට පිළිතුරු දෙමින් කියා සිටියේ ය. මේ නිසා ඇමේසන් කලාපය පිළිබඳව මෙමෙ සාකච්ඡාව පැන  නැගී ඇත්තේ එක්තරා නිශ්චිත දහම් සේමා අවශ්‍යතාවක් අරභයා ය.

2009 දී එංගලන්ත සභාවේ ඇතැම් ප්‍රතිපත්ති සමග එකඟ නොවීම නිසා කතෝලික සභාවට ඇතුළු වීමට සුදානමින් සිටි එම සභාවේ ජනතාව පිළිගැනීම සඳහා සොළොස්වන බෙනඩික් පාප් තුමා Anglicanorum coetibus නමැති සසුන් ව්‍යවස්ථාව ප්‍රකාශට පත් කලේ ය. ඒ අනුව විවාහක දේවගැති තුමන්ලාට ඒ අයුරින්ම කතෝලික සභාව සමග සංයෝග වීමට හැකියාව ලැබිණි. එසේ වුව ද ලතින් සම්ප්‍රදාය තුළ පූජක බඹසර නීතිය එලෙසින්ම පැවතුනේ ය.

ඇමේසන් කලාපයේ රදගුරු හිමිවරු "විවාහක වැඩිහිටි පිරිමින්ට" පරීක්ෂනයකින් පසු පුදැදුරු වරය දානය කිරීම ඉල්ලා සිටින්නේ ද සභාවේ පූජක බඹසර නීතිය අහෝසි කිරීමේ අරමුණින් නොවේ. එහි අරමුණ එම ප්‍රදේශයේ පවතින සුවිශේෂී දහම් සේවා  අවශ්‍යතා සපුරා ලීමයි. ඇමේසන් කලාපයේ ඈත දුර බැහැර නොහොත් පර්යන්ත වල වෙසෙන ස්වදේශික ආදිවාසී ජනයා විඳින දුක්කරදර වලට ප්‍රතිචාරයක් ලෙස මෙය යෝජනා වී තිබේ. එසේ ම පූජකවරය සහ කැපවුණු ජීවිත වෙත ස්වදේශික ජනතාව අතර දේව කැඳවීම් ප්‍රවර්ධනය කිරීම තවත් අරමුණකි. මෙහි අවසන් අරමුණ "සක්‍රමේන්තු ජීවිතය එම ජන ප්‍රජා වෙත මුණ ගැස්වීම" බව වතිකාන මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඇමේසන් රදගුරු හිමි නමක් කියා සිටියේ ය. 

පින්තුරය: ශු. ප්‍රැන්සිස් අසීසි මංගල්‍ය දින රෝමයට පැමිණි ඇමේසන් ස්වදේශික නියෝජිතයෙක්  සුදොතුම් පියතුමා හමු වී 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය