ඇංග්ලිකාන-කතෝලික සභා දෙකේම ගෞරවාදරයට ලක් වූ ඉංග්‍රීසි ජාතික කාදිනල් ජෝන් හෙන්රි නිව්මන් සාන්තුවරයට: "නව සාන්තුවරු අන්ධකාරයෙන් වට වූ ලෝකය කරුණාබරව ආලෝකවත් කරති"- එතුමන් ඇතුළු පස් දෙනෙකු සාන්තුවරයට ඔසවමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

Pope at Canonization Mass: New saints "kindly lights" in the gloom of the world


(2019 ඔක්තෝබර 13)
මනහර සූර්යාලෝකයෙන් නැහැවී ආලෝකවත් වූ  සාන්ත පීතර චතුරශ්‍රය තුළ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැහැමි කතෝලික ජීවිත වලට සාක්ෂි දැරූ පස් දෙනෙකු සාන්තුවරුන් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  ඊට සහභාගී වීම සඳහා ලොව පුරා රටවලින් දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් වතිකානයට  පැමිණ සිටියහ.

19 වන වන සියවසේ එංගලන්තයේ ජීවත් වූ විශිෂ්ට දේවධර්මශාස්ත්‍රවේදියකු වූ කාදිනල් ජෝන් හෙන්රි නිව්මන් හිමි, සහ මාරියන් තෙරේසියා, ජිසේප්පිනා වන්නීනි, ඩුල්සේ පොන්ටෙස් හා මාර්ගරයිට් බේස් යන කන්‍යා  සොහොයුරියෝ එම පස් දෙනා ය.

මේ අතරින් ලොව පුරා සෑම රටකම ජනතාව ගේ නෙත් සිත් ආකර්ෂණය කර ගත්  නව සාන්තුවරයා වූයේ ඉංග්‍රීසි ජාතික ජෝන් හෙන්රි නිව්මන් කාදිනල් තුමා ය.

ජෝන් හෙන්රි නිව්මන් කාදිනල් තුමා

විද්වතකු, දේව ධර්ම ශාස්ත්‍ර වේදියකු මෙන් ම කවියකු ලෙස ගෞරවාදරයට පත්ව සිටි  ජෝන් හෙන්රි නිව්මන්, මුලින් ඇංග්ලිකාන සභාවේ දේවගැති තුමෙක් විය. ඔහු එංගලන්තයේ සහ ලෝකයේ අවධානයට ලක් වූයේ 1830 ගණන් වලදී ය.
විද්වතකු වූ හෙතෙම මුල් කාලයේ එකල ඉවැන්ජලිකල් ව්‍යාපාරයේ සංකේතයක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස සේවාව කළේය.

නිව්මන් දේවගැති තුමා එකල නැග  එමින් තිබූ ඔක්ස්ෆර්ඩ් ව්‍යාපාරයේ නායකයෙක් ද වුයේ ය.  ඇංග්ලිකාන ප්‍රතිසංස්කරණ වලට පෙර පැවැති කතෝලික විශ්වාසයන් සහ ජනවන්දනා සම්ප්‍රදායන් බොහොමයක් එංගලන්ත සභාවට යළි ඇතුළත් කරගැනීම එම ව්‍යාපාරයේ අරමුණ වී තිබුනේ  ය. මෙම උත්සාහය තරමක් දුරට සාර්ථක වී තිබුණත් නිව්මන් දේවගැති තුමා ගේ සිත කතෝලික සභාව වෙත වඩාත් ආකර්ශනය වී තිබිණි.

1945 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිය තනතුරු වලින් ද ඉවත් වූ එතුමා තවත් පිරිසක් ද සමග කතෝලික සභාව වෙත පැමිණියේ ය. එතුමා ඉක්මනින් ම කතෝලික පුදැදුරුවරයට ඇතුළත් කරන ලද්දේ ය. 1879 දී 13 වන ලියෝ පාප් වහන්සේ විසින් එතුමා කාදිනල් වරයෙකු ලෙස නිල ගැන්විණි.

එතුමා 1854 දී අයර්ලන්ත කතෝලික විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ පුරෝගාම්යකු විය. දැන් ඩබ්ලින් විශ්ව විද්‍යාල විද්‍යා පීඨය ලෙස පරිවර්තනය වී ඇත්තේ එම සරසවිය යි.

බටහිර දර්ශනය, දේවධර්මය, ආගමික  ඥාන විභාගය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පතළ විද්වතකු වූ එතුමා ඒවාට අදාළව ග්‍රන්ථ රැසක් ලියා පළ කර තිබේ. කතෝලිකයන් අතර අදත් ප්‍රකට " Lead, Kindly light, amid the encircling gloom - Lead thou me on" නමැති ගීතිකාව ලියා ඇත්තේ ද එතුමා ය.

කිතුනුවකු යනු ....?

නිව්මන් කාදිනල් හිමියන් සාන්තුවරයකු ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දිව්‍ය පූජාවේ දී එතුමා ගේ පත පොත හෝ දාර්ශනික දැක්ම ගැන කතා කරනු වෙනුවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළේ "කිතුනුවකු යනු කවුරුන් ද" යන්න ගැන ශා. ජෝන් හෙන්රි නිව්මන් තුමා ගේ  ගේ නිර්වචනය  ගැන කතා කිරීමයි.

"කිතුනුවකු කෙතරම් බැහැපත් සහ විනීත තැනැත්තකු ද යත් ඔවුන් 'සාමාන්‍ය ජනතාව' සේ පෙනී යා යුතුය" යන්න ශා. නිව්මන් තුමා ගේ නිර්වචනය යි.

"කිතුනුවකු තුළ ලෝකය නොදකින ගැඹුරු, නිශ්ශබ්ද,  සැඟවුණු සාමයක් තිබේ," යැයි ශා.  නිව්මන් කාදිනල් තුමා පෙන්වා දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය.
"කිතුනුවා උද්යෝගීමත් ය; ප්‍රීතිමත් ය; කලබලයක් නැති සැහැල්ලුවෙන් ජීවත් වන්නෙකි; මෘදු ය; ආචාරශීලී ය; ඍජුය; අවංක ය; බැහැපත් ය; විනීත ය; ව්‍යාජයෙන් තොර ය; කෙතරම් අව්‍යාජ ද කියන්නේ නම් ඔවුන් ගේ ඉවසිල්ලේ  සහ දරා ගැනීමේ කිසිදු සිත් ඇදගන්නා බවක් දැකිය නොහැකි ය. බාහිරෙන් දකින්නෙකුට පෙනී යන්නේ එය සාමාන්‍ය දෙයක් ලෙස ය" යි  නව සාන්තුවර ශු. ජෝන් හෙන්රි නිව්මන් තුමා උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.

නිව්මන් තුමා ගේ මෙමෙ නිර්වචනය උපුටා දැක්වූ සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ මෙම ස්වකීය ජීවිතයේ සාමාන්‍ය දේ අසාමාන්‍ය දේව ප්‍රේමයෙන් ගත කල නව සාන්තුවරුන් සාන්තුවරුන් "එදිනෙදා  සාන්තුවර භාවයට ආදර්ශයක්" සපයන බවයි.

මෙම ජීවිත සාක්ෂිය තුළ නව සාන්තුවරුන් "ලෝකය වට කරගෙන ඇති ඝනාන්ධකාරය බිඳ හැර දිලෙන ආලෝකයන්" ලෙස නම් කළ හැකි බව එතුමා සඳහන් කළේය.

"ශු. ජෝන් හෙන්රි නිව්මන් -"සභා දෙකක් - එක මිනිසෙක්"

නව සාන්තුවර ශා. ජෝන් හෙන්රි නිව්මන් තුමා කතෝලිකයන් ගේ සේ ම ඇංග්ලිකාන සභාවේ  ද අනූපම ගෞරවයට පාත්‍ර වූ කෙනකි.
මේ නිසා නව සාන්තුවරයා ප්‍රකාශයට පත්   කරනු ලබන දිව්‍ය  පුජාවට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු ද පැමිණ සිටියේ ය. දැන් එංගලන්ත සභාවේ නායකයා  වන එලිසබෙත් මහ රැජිනගෙන් පසුව එහි  අනාගත නායකයා වන්නේ චාර්ල්ස් කුමාරයා ය.

චාර්ල්ස් කුමාරයාට  අමතරව එංගලන්ත සභාවේ රදගුරු හිමිවරුන්, දේවගැතිවරුන් සහ ගිහියෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ නිසා ඇතැම් විචාරකයන් නිව්මන් තුමන් හඳුන්වා දී තිබෙන්නේ "සභා දෙකක් - එක මිනිසෙක්" ලෙසයි; නැතහොත් "ලෝක දෙකක් යා කල මිනිසෙක්" ලෙසයි.

කතෝලික සභාවේ මෙන් එංගලන්ත  සභාව තුළ සාන්තුවරයන් පිළිගැනීමේ  හෝ සාන්තුවරයන් ප්‍රකාශට පත් කිරීමේ හෝ සම්ප්‍රදායයක් හෝ නොමැත. එහෙත් ශුද්ධවන්ත ජීවිතයකට සාක්ෂි දැරූ කිතුනුවන් සිහිපත් කිරීමේ සම්ප්‍රදායයක් එම සභාව තුළ තිබේ. ඒ අනුව එම සභාවේ ජනවන්දනා දින දර්ශනය තුළ ජෝන් හෙන්රි නිව්මන් තුමන් සිහිපත් කිරීමේ දිනයක් (කතෝලික සාන්තුවරයන් ගේ දින සේ) පවතී යි.

පින්තුරය: 'අඳුර බිඳ ආලෝකය දල්වන" නව සාන්තුවරු 5 දෙනා 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය