"පාපොච්චාරණයේ දී සොබා දහමට එරෙහි පාප පිළිගන්න; ඒවාට සමාව ඉල්ලන්න" -සිනොඩ් කතිකාවේ දී ඇමේසන් අගරදගුරු හිමි නමක් ඉල්ලයි

"Admit sins against nature during confession" - An Amazon Archbishop says at the synod

ඇමේසන් සිනොඩ් කතිකාවේ ආරම්භක පෙරහරේ අවස්ථාවක් 

(2019 ඔක්තෝබර 12)
සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය හෙවත් පාපොච්චාරණ සක්‍රමේන්තුවේ දී කතෝලිකයන් සොබා දහමට - එනම් පරිසරයට - එරෙහිව තමන් කල පාප පිළිගත යුතු යැයි  වතිකානය් දී මේ දිනවල පැවැත්වෙන ඇමේසන් සිනොඩ් කතිකාවේ දී යෝජනා වී තිබේ. අප යුගය තුළ යථාවක් බවට පත්ව තිබෙන "විසිකිරීමේ සංස්කෘතියේ" ප්‍රතිඵලයක් ලෙස මිනිසා සොබා දහම  බරපතල ලෙස විනාශ කරමින් තිබේ. මෙය මැවුම්කාරයාණන්ටත් අසල්වැසියාටත්  එරෙහි පාපයකි. මේ නිසා එම පව් පාපොච්චාරණය අවස්ථාවේ පිළිගෙන සමාව ඉල්ලා ගත යුතු බව ඊට  සහභාගී වන අගරදගුරු හිමි නමක් කියා සිටියේය.

"අද දක්නට ලැබෙන පාරිසරික තත්වය භේද වලට පෙළඹවීමක් වී තිබෙනවා. එහෙත් පරිසරය අපට කෙතරම් වැදගත් ද යන්න සැලකිල්ලට ගැනීම වෙන කවරදාටත් වඩා අද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙනවා," යි බ්‍රසීලයේ පල්මාස් හි අගරදගුරු පෙද්රෝ බ්‍රිටෝ ගිමාරයෙස් හිමි ප්‍රකාශ කළේය. "පාරිසරික පාප. එය අපට නව වචනයකි. එසේ ම එය සභාවට ද නව වචනයකි. එහෙත් කනගාටුදායක ලෙස ජනතාව සොබා දහමට එරෙහිව කරන පාප පාපොච්චාරණයේ දී ප්‍රකාශ කරන්නේ නැතැ" යි එතුමා කීවේ ය.

පෙද්රෝ බ්‍රිටෝ ගිමාරයෙස් අගරදගුරු හිමි මේ බව කියා සිටියේ ඇමේසන් සිනොඩ් කතිකාව අතරතුර වතිකානයේ දී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

"සෑම දෙයක් ම දම්වැලක් සේ එකිනෙකෙට සම්බන්ධ වී තිබෙනවා. මේ කාරණාව  නිසා මෙම සිනොඩ් කතිකාව අතිශයින් වැදගත් එකක්. මානව වර්ගයා ගේ අනාගතය පවා මේ සිනොඩ් කතිකාවේ දී ගනු ලබන තීරණ මත රඳා පවතීවි" යි එතුමා අවධාරණය කලේ ය.

මෙක්සිකෝවේ මෙක්සිකෝ පදවියේ අගරදගුරු කාලෝස් අගියාර් කාදිනල් හිමි, බ්‍රසීලයේ රියෝ බ්‍රන්කෝ හි ජෝකින් ෆර්නැන්ඩස්‌ රදගුරු හිමි සහ පීරු රාජ්‍යයේ සේවාව කරන බ්‍රිජිට් වේලර් කන්‍යා සොහොයුරිය ද මේ මාධ්‍ය හමුවට එක්වූහ. ඔවුන්  තිදෙනාම අදහස් දැක්වූයේ "පූර්ණ පරිසර විද්‍යාවක්" සම්බන්ධවයි. මෙයින් අදහස් කරන්නේ මිනිසා සහ පරිසරය එකිනෙක සම්බන්ධ වූ නව මානයක සහ යථාර්ථවාදී පරිසර විද්‍යාවකි.  මිනිසා පරිසරයෙන් හෙවත් සොබා දහමින් වෙන් කළ නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය "වේ ප්‍රශංසා" සමාජ විශ්ව ලේඛනයේ පැහැදිලි ලෙස පෙන්වා දී තිබේ. මිනිසා ගේ යහ පැවැත්ම සඳහා සොබා දහම ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍යතාව එතුමා එම විශ්ව ලේඛනයේ විස්තර කරයි. මේ හේතුවෙන් පරිසර සංරක්ෂණය ද මූලික මානව අයිතිවාසිකමක් ලෙස එතුමා එම විශ්ව  ලේඛනයේ නව මානකින් හඳුන්වා දෙයි.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සභාවේ වගකීම 

ජාත්‍යන්තර සමාගම් සිය රටවල ආරක්ෂා කිරීමට බැඳී සිටින නීති රීති වලට ඇමේසන් කලාපයේ දී ගරු නොකරණ බව බ්‍රිජිට් වේලර් කන්‍යා සොහොයුරිය මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා ය. එම නීති නොතකා හරින ජාත්‍යන්තර සමාගම් ඇමේසන් කලාපයේ ස්වාභාවික සම්පත් සූරා කෑමට ලක් කරති. විදේශ සමාගම් වල මෙවැනි අවනීතික ක්‍රියා මාර්ගවලට එරෙහිව සිවිල් පැමිණිලි කිරීම සඳහා  ඇමේසන් කලාපයේ ජනතාව කතෝලික සභාවේ සහය අපේක්ෂා කරති. මේ සම්බන්ධයෙන්  කටයුතු කිරීමේදී ඇමෙරිකානු සහ කැනඩා සමගාම් කිසියම් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළත් චීන සමාගම් සමග "මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීම ඉතා අපහසු" යැයි එතුමිය කියා සිටියා ය. 

"මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයක් අවශ්‍ය ය. මේ සඳහා සෑම කෙනකුම - ව්‍යාපාර කොටස් කරුවන් පවා- ඇතුළත් විය යුතු ය. ඇමේසන් කලාපයේ මානව අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ඔවුන් ගේ හෘදය සාක්ෂි සංවේදී ද යන්න අප දැනගත යුතු යි. සියලු ජාත්‍යන්තර සමාගම් කලාපයේ ජීවත් වන ජනතාව ගේ  මෙන් ම පරිසරයේ ද අයිතිවාසිකම් වලට ගරු කරමින් ආචාර ධාර්මිකව වැඩ  කළ  යුතු" යයි වේලර් සොයුරිය සඳහන් කළා ය.

එසේ නොවෙතොත් යුරෝපයේ, ඇමෙරිකාවේ සහ කැනඩාවේ ජීවත් වන මිනිසකු ගේ ජීවිතය ලතින් ඇමෙරිකාවේ මිනිසකු ගේ ජීවිතයට වඩා වටින්නේ යැයි හැඟීමක් ඇතිවීම වැළක්විය නොහැකි බව ඇය පෙන්වා දුන්නා ය. එය එසේ නොවේ. අපගේ පොදු නිවස  වන මිහිතලයේ වැසියන් ලෙස අප සියල්ලන්ට ම ඇත්තේ එක සමාන අයිතිවාසිකම් බව එතුමිය අවධාරණය කළා ය.

ඉතිහාසයේ මේ මොහොත කතෝලික සභාවට අතිශයින් තීරණාත්මක එකකි. මේ මොහොතේ තමන් වෙතින් පිටතට පැමිණ, සිය දිවැසිවර හඬ ජීවත් කොට අපගේ ග්‍රහ ලෝකය නමැති මෙම අවකාශය ආරක්ෂා කර ගැනීමට සභාව මේ මොහොතේ ක්‍රියා කළ යුතුව තිබෙනවා" යි වේලර් කන්‍යා සොහොයුරිය කියා සිටියා ය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය