"ගින්න 'ගින්නෙන්' නිවන්නට එක්වෙමු" - ඓතිහාසික ඇමේසන් සිනොඩ් රදගුරු කථිකාවේ සමාරම්භක දිව්‍ය පූජාව ඔප්පු කරමින් සුදොතුම් පියතුමා ඇරියුම් කරයි- "නුවණක්කාර බව යනු පවත්නා තත්වය රැක ගැනීමට සැකයේ අළු තුළ ආත්මයාණන් සිර කිරීම නොව ආත්මයාණන් ගේ නව්‍යතාවයට ඉඩ දීමයි"

"Prudence is the virtue helping to discern, to be receptive to the newness of the Spirit" Pope tells Amazon Synod Fathers; "Fight fire with 'Fire' " - He invites them 

සිනොඩ් කථිකාවේ ආරම්භක දිව්‍ය පූජාවේ පඬුරු  පෙරහරට සිය ආදිවාසික ඇඳුමින් පැමිණි තරුණ තරුණියන්

(2019 ඔක්තෝබර 06)
මීට මාසයකට කළින් සමස්ත ලෝකයම බියෙන් තැතිගෙන දැවැන්ත බියකරු ගින්නක් දෙස බල සිටියේ ය. එනම් ලැව් ගිණි 80,000කට ආසන්න සංඛ්‍යාවක් විසින් ඇමේසන් වැසි වනාන්තරයේ වර්ග කිලෝ මීටර 4000 කට ආසන්න ප්‍රමාණයක්  ගිණි ගෙන දැවී විනාශ වන අකාරය යි. මිහිතලයේ වාතය පිවිතුරු  කරන  ඇමේසන් වැසි වනාන්තරය සැලකෙන්නේ පෘථිවියේ එක් පෙනහල්ලක් ලෙසයි. ලෝක ජෛව විවිධත්වයෙන් සියයට 10කට වැඩි ප්‍රමාණයක් හුස්ම ගන්නේ ද මේ වනාන්තරය තුළ වන අතර එය කෝටි  සංඛ්‍යාත සවදේශික ආදී වාසී ජනතාවක ගේ නිජ බිම ද වී තිබේ. ගින්නෙන් එය විනාශ වීම විශේෂයෙන් ම අමසෝනියන් කලාපීය ජනතාවට දැවැන්ත හානියකි.

ඇමසෝනියාන කලාපීය ජනතාව මේ වන විට ඉතිහාසයේ දැවැන්ත පාරිසරික, සමාජයීය, ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිති. මේ ගැටළු වලට කාලීන දහම් සේවා විසඳුම් සොයන ඇමසෝන් සිනොඩ් රදගුරු කතිකාව ඔක්තෝබර 6 වන ඉරිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද දිව්‍ය  පූජාවෙන් ආරම්භ විය.

තියුණු මත භේද රැසක් මැද සංවිධාන කරන ලද මෙම සිනොඩ් කථිකාවට මුල පුරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඇමේසන්  'ගින්න' ප්‍රබල පණිවිඩයක් දෙන රුපකයක් ලෙස යොදා ගත්තේ ය.

ගින්නට එරෙහිව  'ගින්නෙන්' සටන් කිරීම  

ලෝකය දවාලන සමාජයීය, ආර්ථික, මෙන් ම ආධ්‍යාත්මික ගිණි වලට එරෙහිව සටන් කිරීම සඳහා ශුද්ධාත්මයාණන් ගෙන් පෝෂණය ලබන "එඩිතර පැණසර බවේ"  (“daring prudence”) 'ගින්න' භාවිත කරමුයි එතුමා එම සමුළුවට එක්රැස්ව සිටි රදගුරු හිමිවරුන් 185 දෙනා ප්‍රමුඛ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
"ජේසු සමිඳුන් පැමිණියේ සුමුදු සැඳෑ මඳනලක් ගෙනෙන්නට නොවේ. උන්වහන්සේ පැමිණියේ පොළොව මත ගින්නක් දල්වාලීමට යැ"යි  දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"මෑතක දී ඇමසෝනියා වනාන්තරය දවා ලූ ගින්න බඳු විනාශකාරී බැඳියාවන් විසින් දල්වනු ලබන ගිණි සුපුවතේ හමුවන  ගින්න නොවේ. දෙවියන් වහන්සේ ගේ ගින්න එක්සත් කම වෙත ආකර්ෂණය කොට එක්තැන්  කරන උණුසුම යි. එම ගින්න පෝෂණය කරනු ලබන්නේ බෙදා ගැනීමෙන් මිස ලාබ ලැබීමෙන් නොවේ. අනෙක් අතින් ගත් කළ, විනාශකාරී ගින්න ඇවිලෙන්නේ තමන් ගේ ම කණ්ඩායම තුළ   තමන් ගේ ම අදහස් ප්‍රවර්ධනය කිරීමටත්, සෑම කෙනෙකුම සහ සෑම දෙයක් ම ඒක රූපී සහ ඒකාකාරී කරගැනීම සඳහා වෙනස්කම් මකා දැමීමටත් මිනිසුන්ට අවශ්‍ය වූ විට ය."

යටත් විජිතවාදී බලහත්කාරය වෙනුවට ධර්මදානීය පිරිනැමීම 

ඇමසෝනියා කලාපය විවිධ ජනකොටස් ජීවත් වන ප්‍රදේශයකි. විශේෂයෙන් ම එය  ස්වදේශික ආදිවාසී කණ්ඩායම් 400කට ආසන්න සංඛ්‍යාවක නිජ බිම ය. සම්පත් නිසි  සේ බැදී නොයාමෙන් හටගෙන ඇති අන්ත දුප්පත් කම එම ප්‍රදේශයේ එක ගැටලුවකි. ආදිවාසීන් වගකීමෙන් ජීවත් වෙමින් භාවිත කරන ඇමසෝන් වැසි වනාන්තරය මේ වන විට ලාබ පරමාර්ථ කරගත් බහු ජාතික ව්‍යාපාරිකයන් ගේ අවභාවිතය නිසා විනාශ වෙමින් තිබේ. අනෙක් අතින් එම ප්‍රදේශය අතීතයේ යටත් විජිත වාදී බලවේග විසින් සූරා කන ලද කලාපයක් ද වේ. එක් අතකින් ශුද්ධ බයිබලය රැගෙන ධර්මදානය පිණිස ආ බව කී යටත් විජිතවාදී පාලකයන් අනෙක් අතින් සිය බලය එම රටවල් මත යෙදවූහ. මේ තත්වය අද පවා පවතින බව සිය දේශනයේ දී සිහිපත් කළ ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා "යටත් විජිත වාදයේ නව ආකෘතී තුළ දක්නට ඇති තන්හාව" විවේචනයට ලක් කළේය.

"දෙවියන් වහන්සේ ගේ තිළිණය පිරිණමනු වෙනුවට කෙතරම් වාරයක් එය බලහත්කාරයෙන් පවරා ඇත් ද? ධර්මදානය වෙනුවට කෙතරම් වාරයක් යටත් විජිත වාදය තහවුරු කර තිබේ දැ ?" යි එතුමා ප්‍රශ්න කළේය.

ධර්මදානීය හා ආධ්‍යාත්මික වශයෙන් ද ඇමසෝන් කලාපයේ සභාව අභියෝග රැසකට මුහුණ දී සිටියි. කතෝලික ජනය වෙත දේව ප්‍රසාද නිධාන දානය කිරීම සහ දිව්‍ය පූජා යාගය පැවැත්වීම සඳහා පුදැදුරු වරුන් ගේ හිඟය එක් අභියෝගයකි. එම අභියෝගයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස නිසි ප්‍රවිචයකින් පසුව වයසින් වැඩුණු යහපත් ජීවිත ගත කරන  විවාහක පුරුෂයින්ට පුජාත්වරය දානය කිරීම ගැන සලකා බැලීමේ යෝජනාවක් ද මෙම සිනොඩ් කථිකාවේ සූදානම් වීමේ යෝජනාවට ඇතුලත් වේ. එහෙත් උතුරු ඇමෙරිකාවේ සම්ප්‍රදාය මතවාදී කාදිනල් හිමිවරුන් සහ රදගුරු හිමිවරුන්  කුඩා කණ්ඩායමක් එම යෝජනාවට දැඩි විරෝධතාව ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජාතික රේමන්ඩ් බර්ක්, කැනේඩියානු ජාතික, වතිකානයේ රදගුරු හිමිවරුන්  පිලිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මාක් අවුලේ සහ වෝල්ටර් බ්‍රෑන්ඩ්මලර් යන  කාදිනල් හිමිවරු  ඒ අතර වෙති.

"නූතන අභියෝගවලට විසඳුම් සෙවීමේ දී "පවත්නා තත්වය ආරක්ෂා කරගැනීමේ සැලකිල්ල සහ බිය නමැති  අළුවලින් ආත්මයාණන් ගේ ගින්න දැල්වීමට ඇති ඉඩ අහිරීමෙන් වලකින්නැ"යි  රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.
"එහෙත් සියල්ල නොවෙනස්ව පැවතුණොත්, ' සියල්ල නිරන්තරයෙන් සිදු වුනේ මෙයාකාරයටයි' යන්න  අපගේ යුගය කියවීමේ යතුර බවට පත් වුනොත්, ආත්මයාණන් ගේ තිළිණය අතුරුදන් වනු ඇත. මේ නිසා ආත්මයාණන් ගේ නව්‍යතාවයට විශ්වාසවන්ත වන්නැ" යි සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

මේ අවස්ථාවේ සිය ලියාගත් පිටපතින් මඳක්  ඉවත් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කීවේ ය: "නුවණක්කාර  බව (prudence) යනු වැරදීමක් ඇතිවීම වැලැක්වීම සඳහා සියල්ල නැවැත්වීමේ ගුණධර්මයක් යයි ඇතැම් කෙනෙකු සිතීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ නොවේ. එය ආණ්ඩුකිරීමේ ගුණාංගයකි."

"සභාව අත්‍යවශ්‍යයෙන් ම ධර්මදානීය සභාවක්" යයි සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ කල ප්‍රකාශය උපුටා දැක්වූ  එතුමා "මේ නිසා සභාව නිරන්තරයෙන් ම ගමනේ සිටිය යුතුය. සභාව තමා තුළ වැසී නොසිට පිටතට ගමන් කළ යුතුය" යි අවධාරණය කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය