දයානුකම්පාවේ සහ කරුණාවේ දූත සේවාවට 'පක්ෂපාතී' වන්නැයි කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගන්වමින් සුදොතුම් පියතුමා අනුශාසනා කරයි

Holy father exhorts new cardinals to be 'loyal' to ministry of compassion and  kindness


(2019 ඔක්තෝබර් 5)
මීළඟ සුදොතුම් පියතුමන් තෝරාගන්නා කාදිනල් කණ්ඩායමට ඇතුලත් වන 10 නමක්  ඇතුළු 13 නමක් කාදිනල් හිමිවරුන් ලෙස නිල ගන්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලයේ මුල් ගලක් බඳු වූ ගුණධර්මයෙන් පිරිපුන් වන්නැයි ඔවුනට අනුශාසනා කළේය. එම ගුණ ධර්මය නම්, දයානුකම්පාව යි. 

ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයන් අතර දයානුකම්පාව ගැන කතා කළත් එය ජීවිතයෙන් ජීවත් කරන්නට අසමත් වන අයගේ දීර්ඝ ඉතිහාසයක් ඇති බව ද එතුමා කියා සිටියේ ය.

"දෙවියන් වහන්සේ සිය ජනතාව වෙත ඇති ප්‍රේමය දයානුකම්පා දියෙන් පෙඟී තිබේ. එය කෙතරම් දයා දියෙන් පෙඟී ඇත් ද යත් මෙම ගිවිසුම් සම්බන්ධය තුළ දිව්‍යමය වූයේ කවරක් ද එය කරුණාවන්ත ය; අනුකම්පා සහගත ය. එසේම, මනුෂ්‍යමය වූයේ කවරක් ද එය  දයානුකම්පා විරහිත බව පෙනී යන්නේ යයි අපට කනාගාටුවෙන් ප්‍රකාශ කළ හැකි යැ"යි  එතුමා පෙන්වා දුන්නේය. (“God’s love for his people is drenched with compassion, to the extent that, in this covenant relationship, what is divine is compassionate, while, sad to say, it appears that what is human is so often lacking in compassion.")

ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා මේ අනුශාසනය කලේ නව කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගැන්වීම සඳහා පවත්වන ලද දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. මෙමෙ නිල ගැන්වීමේ දිව්‍ය පූජාව ඔක්තෝබර 5 වන දා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී පැවැත්විණි.

"දයානුකම්පාව සුපුවතේ දොරටු හැර දෙන යතුරු පදයකි. එය සදාකාලයට ම දෙවියන් වහන්සේ ගේ හවතේ ලියැවුණු වචනයකි" යි එම මෙහෙයට සහභාගී වූ නවක කාදිනල් හිමිවරුන් 13 නම ඇතුළු කාදිනල් පර්ෂදයේ සියලු හිමිවරුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"දුක් විඳින්නන් කෙරෙහි ජේසු සමිඳුන් ගේ ප්‍රේමය සුබ අස්න තුළ තීව්‍ර ලෙස ඉස්මතු කර තිබේ. අප සුපුවත කියවන්නට කියවන්නට, ඒ ගැන මෙනෙහි කරන්නට කරන්නට අපට  වඩ වඩාත් අවබෝධ  වන කාරණයක් තිබේ. එනම්, උන්වහන්සේ ගේ දයානුකම්පාව කඩින් කඩ, ඉඳ හිට ඇති වන  චිත්තාවේගයක් නොව, ඇත්ත වශයෙන් ම උන්වහන්සේ ගේ හදවත තුළ ජීවමාන වන ආකල්පයක් ය යන්නයි."

සුපුවත තුළ ජේසු සමිඳුන් ගේ දයානුකම්පාව විද්‍යමාන වන සුවපත් කිරීමේ අවස්ථා කිහිපයක් සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය.

"මනුෂ්‍ය සංහතියේ මිදුම් කරුවාණන් වන ජේසු සමිඳුන් ගේ දූත මෙහෙවර අපි මේ සිද්ධි තුළ දකිමු. උන්වහන්සේ අනුකම්පාබර මිදුම් කරුවාණෝ ය. උන්වහන්සේ පාපයේ වසංගතයෙන් පීඩාවටත් දුකටත් පත් වූ මිනිසුන් පවිත්‍ර කිරීම සඳහා දෙවියන් වහන්සේ ගේ කැමැත්ත මාංශගත කරන සේකැ"යි එතුමා පෙන්වා දුන්නේය.

"කෙසේ නමුත්, ක්‍රිස්තුන් වහන්සේ  නිතරම දයානුකම්පාව දැක්වූවත් උන්වහන්සේ ගේ ගෝලයන් ප්‍රදර්ශනය කලේ තමන් නිරන්තරයෙන් අනුකම්පාවෙන් තොර වූ තැනැත්තන් බව යි. ජේසු සමිඳුන් පෙළහරකින් තමන්ගේ දේශනා අසන්නට පැමිණි ජනයාගේ කුසගිනි නිවූ නමුත් ගෝලයන් උත්සාහ කලේ කුසගින්නෙන් පෙළෙන මේ ජනතාව තමන් ම ආහාර සොයා ගැනීම සඳහා ඈත නගරයට පිටත් කර යැවීමටය. තවත් උදාහරණයක් ගතහොත්, සොරුන් ගේ පහර එල්ල වීමෙන් තුවාල ලබා මහමග අයිනේ මියයමින් සිටි මිනිසා මග හැර පූජක වරයා ද පූජක ශිෂ්‍යයා ද පාරේ අනෙක් පසින් තමන් ගේ ගමන යන්නට ගියහ."

"නිතරම මෙවැනි ක්‍රියා යුක්තිසහගත කිරීමටත් උත්සාහ කරනු ලැබේ. ඇතැම් විට ආයතනික නොසැකිල්ලත් මේ මගින් ඇති කරනු ලබයි. අතිශයින් ම මිනිස් ආකල්පයක් වන මෙවැනි ක්‍රියා මගින් දයානුකම්පාවෙන් තොර ආයතන උපත ලබයි.... මේ නිසා ඔබ ගේ ජීවිත දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ සහ දයානුකම්පාවේ නිෂ්පාදනයක් බව සිහිපත් කරමින් එය සෙසු මිනිසුන් සමග බෙදා ගන්නැ" යි එතුමා කාදිනල් හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

"දෙවියන් වහන්සේ ඔබ වෙත දක්වන දයානුකම්පාව ගැන ඔබ තුළ හැඟීමක් තිබෙනවා දැයි ඔබගෙන් ම විමසා බලන්නැ " යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුන් ගෙන් ඉල්ලුවේ ය.  "එය ඔබ කැමති නම් පමණක් කළ හැකි දෙයක් නොවේ. එය අනිවාර්ය දෙයකි. මන්ද, මා දෙවියන් වහන්සේ ගේ දයානුකම්පාවට බඳුන් වන කෙනෙකු  යැයි මට නොහැඟෙන්නේ නම් මට උන්වහන්සේ ගේ ප්‍රේමය  තේරුම් ගත නොහැකි වන නිසා ය."

කාදිනල් හිමිවරුන් ගේ දූත මෙහෙවර රඳා පවතින්නේ ඔවුන්ට කෙතරම් දුරට දයානුකම්පා කළ හැකි ද යන කාරණය මත බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "කාදිනල් හිමිවරුන් ගේ රක්ත වර්ණ පළඳනා වලින් සංකේතවත් වන්නේ 'තමන් ගේ රුධිරය වුව සැලීමට' තමන් සූදානම් ය යන්නයි. මේ සූදානම මුල් බැස ඇත්තේ දයානුකම්පාව ලැබීමටත් එය පිරිනැමීමටත් ඇති හැකියාව තුළ ය."

"එසේ නොවන්නේ නම් ඔබට පක්ෂපාතී විය නොහැකි ය. ශාසනික නායකයන් ගේ අපක්ෂපාතී ක්‍රියා උපත ලබන්නේ දයාව දැක්වීමට හෝ ලැබීමට තිබුණු නොහැකියාව සහ කෙනෙකු ගේ බැල්මෙන් වැළකී සිටීමට දරන උත්සාහය  තුළ ය."

"අප කෙරෙහි  අනුග්‍රහශීලීව බැලූවා වූ ද, අප තෝරාගෙන, ආලේප කොට සිය ගැලවීමේ සුපුවත සියල්ලන් වෙත ගෙන යාම සඳහා අප යවන්නා වූ ද   තැනැන්වහන්සේ ගේ සාක්ෂිකරුවන් වීම  සඳහා උන්වහන්සේ ඔබ වෙත දයානුකම්පාවේ හදවතක්  ලබා දෙන සේක්වා" යි කාදින හිමිවරුනට ප්‍රාර්ථනා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය අවසන් කළේය.

අද නිල ගන්වනු ලැබූ කාදිනල් හ්මිවරුන් 13 දෙනා අතර සිටින මීළඟ සසුන් පිය වරණ දැහැනක දී ඡන්දය දීමට සුදුසුකම් ලබන නවක කාදිනල් හිමිවරුන් 10 දෙන මෙසේ ය: 
කැනේඩියාන  ජාතික ජේසු නිකායික මයිකල් ක්සෙන්රි අගරදගුරු තුමා  යි. - ශුද්ධාසනයේ සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් පිලිබඳ කාර්යාලරේ ප්‍රධානි

අන්තර් සාමයික සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ ප්‍රධානි සපාඥ්ඥ ජාතික මිගෙල් අයුසෝ ගුයික්සෝ අගරදගුරු හිමි

රෝම සභාවේ ලේඛන සංරක්ෂනාගාර ප්‍රධානි සහ පුස්තකාලයාධිපති පෘතුගීසි ජාතික තොලෙන්තිනෝ කල්කා අගරදගුරු තුමායි.

ප්‍රජාතන්ත්‍රවාදී  කොන්ගෝ ජනරජයේ කින්ශාසාහි  අගරදගුරු  ෆ්‍රිඩොලින් අම්බෝන්ගෝ බෙසුන්ගු හිමි

මොරොක්කෝවේ රබාට් හි අගරදගුරු ක්රිස්ටෝබාල් ලෝපේස් රොමෙරෝ හිමි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සුහර්යෝ හර්ජෝඅට්මෝද්ජෝ අගරදගුරු හිමි

ගෝතමාලාවේ හුහෙන්ටේනංගෝ නුවර අල්වාරෝ රමස්සිනි රදගුරු හිමි

කියුබාවේ හවානා නුවර හුවාන් ඩි ලා කරිඩාඩ් ගාර්ෂියා රෝද්රිගුවෙස් අගරදගුරු හිමි

ලක්සෙම්බර්ග් හි ජාන් ක්ලෝඩ් හොල්ලෙරික් අගරදගුරු හිමි

ඉතාලියේ බොලොඥ්ඥා නුවර මතේයෝ සුප්පි අගරදගුරු හිමි

සුදොතුම් පිය වරණ දැහැනක දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වයස අවුරු 80ට වඩා වැඩි කාදිනල් හිමිවරුන්  තුන් නම:

මයිකල් ලුවිස් ෆිට්ස්ජෙරල්ඩ් අගරදගුරු හිමි - ටියුනීසියාවේ නේප්තේ හි විශ්‍රාමික අගරදගුරු සහ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ හිටපු සභාපති

සිගිටාස් ටම්කෙවිකුස් හිමි - ලිතුවේනියාවේ කවුනාස් හි විශ්‍රාමික අගරදගුරු- සෝවියට් ආණ්ඩු සමයේ එතුමා සිරගතකොට වද හිංසා කරන ලැබිණි.

එවුජෙනියෝ දල් කොර්සෝ හිමි - ඇන්ගොලාවේ බෙන්ගුවෙලා හි විශ්‍රාමික රදගුරු හිමි - එතුමා දීර්ඝ කාලයක්  එම රටේ ධර්ම දූතයකු සේවාව කළේය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය