"දුප්පත්කමේ සහ සරණාගත බවේ ඛේදවාචක ඉදිරියේ කිතුනුවන්ට අසංවේදීව අක්‍රීයව සිටිය නොහැකියි. අප ඊට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවිය යුතුයි" - ලෝක සරණාගත දින දිව්‍ය පූජාවේ දී සුදොතුම් පියතුමා කියයි.

"Christians cannot be indifferent and insensitive to the tragedy of poverty and refugees. We must not fail to respond.” - Holy Father emphasizes at the Mass on the International Day of Migrants 

ශ්‍රී ලාංකික සමාජය විසින් නොසලකා හරින ලද "ලාසරස්" ලා - නොරට දී අනාථ කරන ලද පකිස්තාන සහ ඇෆ්ගන් සරණාගතයෝ 


(2019 සැප්තැම්බර් 29)
අහිංසකයන් දුක්ඛිත බවට ඇද දමන දුප්පත්කමේ ඛේදවාචකය ඉදිරියේ  කිතුනුවන්ට අසංවේදීව, අලසව සහ අක්‍රීයව සිටිය නොහැකි යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කර

නූතන ලෝක රටාව තුළ මිනිසුන්, ගැහැණුන් සහ දරුවන් කොටි සංඛ්‍යාත පිරිසක් දුක්ඛිත කොට, අවතැන් කොට ඇති දුප්පත්කම, සංක්‍රමණය මෙන්ම සරණය සොයා අපේ රටවල දොරට තට්ටු කරන  සරණාගතයන් ගේ වික්ෂිප්ත බව හා  අසරණබව ඉදිරියේ අක්‍රීයව සිටීම ශුද්ධ ලියැවිලි ඉගැන්වීමට මෙන් ම ජේසු සමිඳුන් ගේ උපදෙස් වලට ද විරුද්ධ බව එතුමා පෙන්වා දෙයි.

"අපි දුප්පත්කමට සංවේදීව වැළපිය යුත්තෙමු. අපි   ඊට ප්‍රතිචාර දැක්විය යුත්තෙමු," යි එතුමා කියා සිටියි.

"නූතන ලෝකය, සමාජයෙන් බැහැර කරන ලද කොටස් සම්බන්ධයෙන් වඩ වඩාත් බමණුකුලවාදී වෙමින, වඩ වඩාත් කුරිරු වෙමින්  සිටියි.ඊට හේතුව සංවර්ධිත රටවල්  වරප්‍රසාද ලත් වෙළෙඳපොළවල් කිහිපයක ප්‍රතිලාභය තකා සිය වටිනා ම සම්පත් - එනම් ස්වාභාවික සහ මානව සම්පත් - හිඳෙන්නට සලස්වා තිබීමයි." යයි එතුමා පෙන්වා දුන්නේය.

ආයුධ නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයේ නිරත  වී සිටින රටවල් එම ආයුධ අලෙවි කරන්නේ  ලෝකයේ වෙනත් කලාප වලට බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එහෙත් ආයුධ භාවිතයෙන් ඇති වන බියකරු යුද්ධ වලින්  සරණාගතයන් වන ජනතාව පිළිගැනීම ආයුධ ව්‍යාපාරික රටවල් ප්‍රතික්ෂේප කරයි. යුද්ධවල සහ දුප්පත් කමේ මිළ ගෙවන්නේ පුංචි මිනිසුන් ය.  එනම් දුප්පතුන් සහ වඩාත් දුර්වල වූවන්  මෙන්ම "මේසයේ වාඩි වීම වලක්වා හුදෙක් භෝජන සංග්‍රහයේ මේසයෙන් වැටෙන ආහාර කැබලි පමණක් ඉතිරි වූ" ජනතාව බව මේ ඉරිදා සුපුවතේ එන උපමාව ගෙන හැර දක්වමින් එතුමා පෙන්වා දුන්නේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර 29 වන ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පවත්වන ලද 105 වන ජගත් සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් ගේ දිනයේ දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව කරමිනි. මෙවර ජගත් සාංක්‍රමනික සහ සරණාගතයන් ගේ දිනයේ තේමාව "එය සාංක්‍රමනිකයන්  පිලිබඳව පමණක් නොවේ" යන්නයි.

දේව ප්‍රේමය සහ අසල්වැසි ප්‍රේමය නම්.....

දේව පණත කිතුනුවනට උගන්වන්නේ "දෙවියන් වහන්සේටත් තම අසල්වැසියාටත්  ප්‍රේම කිරීමට බව එතුමා පේනවා දුන්නේය. " මේ කාරනා දෙක එකිනෙකින් වෙන් කල නොහැකි" බව එතුමා අවධාරණය කළේය.
"අපට මෙන් අප අසල්වැසියාටත් ප්‍රේම කිරීම යනුවෙන් අදහස්  කරන්නේ සෑම පුද්ගලයෙකුට ම මිහිමත ඇති සම්පත්වලට පිවිසීමට හැකියාව පවතින, සියල්ලන්ට තනි තනිව මෙන් ම පවුල් වශයෙනුත් සවර්ධනය වීමට හැකියාව පවතින, සියල්ලන්ගේ  මූලික අයිතිවාසිකම් සහ පුද්ගල ගරුත්වය සහතික කෙරෙන වඩාත් යුක්තිසහගත සහ සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා ස්ථිර ලෙස කැපවීම ය."

"අසල්වැසියාට ප්‍රේම කිරීම යනුවෙන් අදහස්  කරන්නේ අපගේ වීදි වල අත්හැර දමන ලද්දවුන් සහ අයහපත් ලෙස සලකන ලද්දවුන් වෙත සමීප වී, ඔවුන්  ගේ තුවාල සංසිඳුවා, ලඟම ඇති නිවහන වෙත ඔවුන් රැගෙන ගොස්  ඔවුන් වෙත දෙවියන් වහන්සේ දක්වන ප්‍රේමය ප්‍රායෝගික ලෙස ම පෙන්වා දීම යැ"යි සුදොතුම් පියතුමා  කීවේය.

සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය ආරම්භ කළේ ඉරිදා දිව්‍ය පූජාවේ දේව වාක්‍යයේ ආ කරුණු ගෙනහැර දක්වමිනි.

තම සමාජයේ සිටින වැන්දඹුවන්, අනාථ වූවන් සහ විදේශිකයන් රැකබලා ගෙන උවටැන් කරන්නැයි  දෙවියන් වහන්සේ තමන් අනුගමනය කිරීමට කැමති ජනතාවට බොහෝ වාරයක් උපදෙස් දෙන සේක. මේ ඉරිදා පළමු දේව ප්‍රකාශනයෙන් දිවැසිවර ආමොස් ගෙන් ඊශ්‍රායෙල් ජනතාවට ලැබෙන්නේ එම අවවාදයයි. එහෙත් ආමොස් දිවැසිවරයා ගෙන් පසු සියවස් 28ක් ගෙවී ගිය පසුවත් එම දිවැසිවරයා ගේ අවවාදය අදටත් අදාළ බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එම අවවාදය නොසලකා හරින ජනතාවට සිදුවන්නේ ඉරිදා සුපුවතේ ජේසු සමිඳුන් වදාළ උපමාවේ එන ධනවතාට අත් වූ ඉරණම ය. එනම් "දෙවියන් වහන්සේ ගේ ජනතාව ගේ විනාශය ගැන කනස්සලු නොවී මෙලොව සැප සොයන මිනිසුන් උන්වහන්සේ ගේ භෝජන සංග්‍රහයට ආරාධනා නොලැබීමේ සම්බන්ධයෙන් කනස්සල්ලට පත් විය යුතු" යැයි එතුමා කියා සිටියේ ය.

'ලාසරස්ලා' නොසලකන මිනිසුන්ගේ ඉරණම ....

"නුතන ලෝකය තුළ වැන්දඹුවන්, අනාථ වූවන් සහ විදේශිකයෝ නිරන්තරයෙන් අමතක කරනු ලැබීමටත් පීඩන වලටත් ලක්වෙති. දෙවියන් වහන්සේ තුළ වැන්දඹුවන්, අනාථයන් සහ විදේශිකයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් තිබේ. මන්ද ඔවුන් අයිතිවාසිකම් නොමැතිව, සමාජයෙන් බැහැර කරන ලදුව කොන් කරනු ලැබ  සිටින නිසා ය. මේ නිසා ඔවුනට විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ගීතාවලිය, ද්වීතීය කතාව සහ නික්මයාම යන පොත් ඊශ්‍රායෙල් ජනතාවට අවවාද කරයි. ඊට හේතුව ද එම පොතේම පැහැදිලිව සඳහන් කර තිබේ: එනම්, 'ඊශ්‍රායෙල් ගේ දෙවියන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන්නා වූ ද ගෙයක් දොරක් නොමැතිව රටින් රට සැරිසරන තැනැත්තන්ට  ප්‍රේම කරන්නා වූ ද ඔවුනට ආහාර සහ ඇඳුම් පැළඳුම් දෙන්නා වූ ද තැනැන්වහන්සේ ය' යන්නයි" යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"වරප්‍රසාද අඩු ජනතාව වෙත ප්‍රේම කිරීම ඊශ්‍රායෙල් ගේ දෙවියන් වහන්සේට අයත් ජනතාවට අනිවාර්ය වූ  ආචාර ධාර්මික වගකීමකි" යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

දිව්‍ය පූජාව අවසන් වීමෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන චතුරශ්‍රය තුළ අලුතින් පිහිටුවන  ලද සංක්‍රමණිකයන්  සහ සරණාගතයන් පිලිබඳ සුවිසල් මුර්තියක් නිරාවරණය කළේය. කැනේඩියානු ජාතික තිමති ෂුමල්ස් ගේ නිර්මාණයක් වන මෙය නම් කර ඇත්තේ "නොදත් දේව දූතයෝ" (“Angels Unaware") යනුවෙනි. මීට කලින් ලෝකයම දැනගත් "ගෙයක් දොරක් නැති ජේසු" () ගේ මුර්තිය නිමානය කලේ මෙම මුර්ති ශිල්පියා ය.

ලෝක ඉතිහාසයේ විවිධ යුග වලට හා විවිධ ජාතීනට අයත් සාංක්‍රමනිකයන්/ සරණාගතයන් 140 දනෙකු මෙම මුර්තියෙන් මුර්තිමත් කර තිබේ. (ඒ පිලිබඳ වාර්තාවක් වෙනම සකස් කෙරේ).

සුදොතුම් පියතුමා සාංක්‍රමනිකයන්  සිව් දෙනෙකු කැටුව ගොස් අඩි 20 ක් උසැති මෙම මුර්තිය විවෘත කළේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය