"සභාව 'නැති වුවන්' ගේ ගෙදර යි" - සුදොතුම් පියතුමා අල්බානෝවේ දී කියයි- "අපට නැති වූ අය අප මඟ හරින්නේ නම් අප ජේසු සමිඳුන් ගේ ජනතාවක් නොවෙයි"

"The Church is a home for the lost"  - Holy Father says at Albano


ජේසු සමිඳුනට කිසිවෙකුත් නැති වී නොමැත. සභාවට සහ එහි සාමාජිකයනට ද එසේ විය යුතුය. කිසිවෙකුත් නැති වී ඇති බවක් සභාව හෝ එහි සාමාජකයන් නොසැලකිය යුතුය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම පණිවිඩය දුන්නේ සැප්තැම්බර් 21 වන සෙනසුරාදා ඉතාලියේ අල්බානෝ ලසේල් හි සාන්ත පන්ක්‍රාස් ආසන දෙව් මැදුරේ පවත්වන ලද දිව්‍ය පූජාවේ දී ය.

එම ආසන දෙව්මැදුර 1865 දී 9 වන පියුස් පාප් වහන්සේ විසින් කුඩා බැසිලිකා දෙව් මැදුරක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සුදොතුම් පියතුමා  සති අන්තයේ දී අල්බානෝ ලසේල් නගරයට පැමිණියේ එම පදවියේ ආසන දෙව්මැදුර කුඩා බැසිලිකාවක් ලෙස උසස් කිරීමේ 159 වැනි සංවත්සරය සැමරීම සඳහා ය.

මෙදින එතුමා ගේ මෙනෙහි කිරීමට පාදක කරගන්නා ලද්දේ "ජේසු සමිඳුනට නම මතක තිබූ, උන්වහන්සේ සොයා ගොස් තමා සමග රාත්‍රී භෝජනයකට ආරාධනා කළ" බදු අයකරන්නකු වූ සකේවුස් ගේ සිද්ධිය යි.

මිනිසුන් තලා පෙළා රෝම අධිරාජ්‍යයාට බදු එකතු කල බදු අයකරන්නන්  එකල ජුදෙව්වන් විසින් සලකන ලද්දේ  අධම ම පව්කාරයන් ලෙසය. සකේවුස් ද එවැන්නෙකි. එහෙත් ජේසු සමිඳුන් සිය නගරය ඔස්සේ ගමන් කරන බව දැනගත් සකේවුස්ට උන්වහන්සේ දැකගැනීමට අවශ්‍ය විය. තමා මිටි බැවිනුත් ජනතාව ගේ විරෝධයට ලක් වූවකු බැවිනුත් ඔවුන් අතරට ගොස් උන්වහන්සේ  දැක ගැනීමට නොහැකි බැවින් හේ ජේසු සමිඳුන් යන මාවතේ තිබුණු හොඳින් අතු පතර ඇති ගසකට නැග්ගේය. ඔහු සිටින තැන කවුරුත් නොදක්නා ලද නමුත් ජේසු සමිඳුන් ඔහු සිටි ගස යටටම පැමිණ, "සකේවුස් ගසින් බසින්න" යයි ඔහුට ආරාධනා කර "අද මම ඔබේ ගෙදර රාත්‍රී භෝජනයට එමි"යි පැවසුවේය. එසැන මහත් සාමයක් අත්දුටු සකේවුස් තමන් අයුක්ති සහගතව ලබා ගත සියලු මුදල් මෙන් සිව් ගුණයක් අදාළ තැනැත්තන්ට ලබා දීමට පොරොන්දු වී සිත් මාරුවක් ඇති කර ගත්තේය.

"අප අපට නැති වූ අය සේ පෙනෙන තැනැත්තන් මඟ හරින්නේ නම් අප ජේසු සමිඳුන් ගේ ජනතාවක් නොවෙයි" සුදොතුම් පියතුමා මේ සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ ය. "අප දේව වරම් ඉල්ලන්නේ සෑම තැනැත්තෙකුව ම සහෝදරයකු සහෝදරියක සේ හමුවීමට මිස කිසිවකු සතුරකු ලෙස දැකීමට නොවේ. අපගේ අසල්වැසියන්ට  සහ දැන හඳුනන අයට  සභාව සිය ගෙදර සේ දැනෙන්නේ නම් එය කෙතරම් සුන්දර ද?"

"කෙනෙකු ගේ මිතුරු කවය වසාගෙන, තමන් ප්‍රභූ කණ්ඩායමක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා පහසු පාප පරීක්ෂාවක්. එහෙත් තමන් ගේ ගෙදරට පැමිණීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන නමුත් තමන් නොපිළිගනු ඇතැයි පවතින චකිතය නිසා පැමිණීමට තරම්  ධෛර්යයක් නොමැති සහෝදර සහෝදරියන් රාශියක් සිටිනවා."

"සමිඳුන්ගේ අපේක්ෂාව   වන්නේ  සවකීය සභාව නිවෙස් අතර ගෙදරක් වනු දැකීමයි; තවත් ආකාරයකින් කියන්නේ නම්, සිය සභාව, සෑම මිනිසෙකුම,  මේ ජීවිතයේ සැරිසරන සෑම මගියකු ම තමන් වහන්සේ මුණගැසෙන,උණුසුම් ආගන්තුක සත්කාරයෙන් ඔවුන් පිළිගන්නා  කූඩාරමක් වනු දැකීමයි, උන්වහන්සේ ගේ අපේක්ෂාව. අප නිදහසේ නොමිලේ සියල්ල දෙන්නේ නම්, අපට ආපසු ගෙවන්නට නොහැකි තැනැත්තන්ට සහ දුප්පතුන්ට අප ප්‍රේම කරන්නේ නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අප පොහොසත් වේවි."

අයකැමියකු වූ සකේයුස්ට බොහෝ දෙනෙකු වෛර කරන්නට ඇති බව සුදොතුම් පියතුමා කියා සිටියේය. "ඔවුනට පෙනෙන ආකාරයට එම සමාජයේ සිටි අයහපත් ම තැනැත්තා වූයේ සකේයුස් ය. එහෙත් ජේසු සමිඳුන් ගේ නෙත් ඉදිරියේ එසේ වූයේ නැත. උන්වහන්සේ ඔහු ඇමතූයේ ඔහු ගේ නමින් ම ය; 'සකේයුස්'. 'සකෙයුස්' යන නමේ තේරුම "දෙවියන් වහන්සේ මතක තබා ගනියි' යන්නයි. අමතක වූ මෙම නගරයේ සිටි නරක ම පව්කාරයා ගේ නම දෙවියන් වහන්සේට මතකය."

මෙය එක් එක් මිනිසා වෙත අදාළ වන්නේ කෙසේදැයි සුදොතුම් පියතුමා විස්තර කළේය.
"මුලින්ම සමිඳුන්ට අප  සියලු දෙනා ම මතක ය. උන්වහන්සේ අප අමතක කරන්නේ නැත. අප උන්වහන්සේගෙන් දුරස් කරන බාධක කෙතරම් දරුණු වුව ද උන්වහන්සේ අප වෙතින් සිය නෙත් ඉවත් කර නොගන්නා සේක.  ජේසු සමිඳුන්ට අත්‍යවශ්‍ය දේ -එනම් තමන් වහන්සේ ප්‍රේම කරණ  මිනිසා ගලවා ගැනීම - අමතක කිරීමට කිසිදු බාධාවක් සමත් නැත."

ජේසු සමිඳුන් සේ සභාව ද සෑම කිතුණුවෙකු ම ද නැති වූවන්, අමතක කරන ලද්දන්, ව්‍යාකුල වූවන් සොයා යා යුතු බව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා පෙන්වා දුන්නේ ය. උන්වහන්සේ කියා සිටියේ මේ සියල්ලන්ට සභාව සිය 'ගෙදර' ලෙස හැඟී යා යුතු බවයි.
"ජේසු සමිඳුන් සේ ඔබේ නගරයෙන් 'එතෙර වීමට' ඔබ බිය නොවිය යුතු ය.  එසේ මගේ නගරයෙන් 'එතෙර වී' , බොහෝ සෙයින් අමතක වූ තැනැත්තන් මෙන් ම  ලැජ්ජාවේ, තනිකමේ, චකිතයේ සහ බියේ  අතු පතර අතර සැඟවී සිටින්නන්  සොයා ගොස් 'දෙවියන් වහන්සේට ඔබව මතකයි' යයි කියන්නට ඔබ බිය නොවිය යුතු ය"යි   එතුමා අවධාරණය කළේය.

සභාවේ සහ සෑම කිතුනුවකු ගේ ම දූත මෙහෙවරේ ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජේසු සමිඳුන්ට මිස අපගේ ලෞකික ව්‍යහයන් නොවන බව ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.
"අපගේ ප්‍රමුඛතාව විය යුත්තේ ජේසු සමිඳාණෝ ය. සභාව ලෙස අපගේ ප්‍රමුඛතාව ලැබෙන්නේ ජේසු සමිඳුන්ට ද නැතහොත් අපගේ ම ව්‍යහයන් සහ න්‍යාය පත්‍ර වලට ද යන්න අපි අපෙන් ම විමසා බලමු."

"සකේයුස් සේ ඔබට ජීවිතයේ අරුතක් සොයා ගත නොහැකි ද? එසේ නොමැති නම්,  වස්තු සම්පත්, වෘත්තීය, කාම සම්භෝග, ඇබ්බැහිකම් වැනි ආදරයේ 'හදා ගත් මාපියන්'  තුළ ඔබ අතරමං වී සිටිනවා ද? එසේ නම් සකේයුස් සේ ජේසු සමිඳුන්ට ඔබ දෙස බලන්නට ඉඩ දෙන්න."

   

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය