"නූතන ප්‍රාණපරිත්‍යාගීන් 'නව කිතුනුවන් ගේ බීජ යි'" - බදාදා පොදු හමුවේ ධර්මෝපදේශය

Pope Francis: "contemporary martyrs are the ‘seed of new Christians’"


(2019 සැප්තැම්බර් 25)
අද්‍යතන කතෝලික සභාව 'ප්‍රාණපරිත්‍යාගී වරුන්ගෙන් පොහොසත්' බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ඔවුන් ගේ රුධිරය "නව කිතුනුවන් ගේ බිජුවට" බව ද තුන් වන සියවසේ ජීවත් වූ සභා පිතු වරයකු වූ ටර්ටූලියන් ගේ වචන උපුටා දක්වමින් එතුමා සඳහන් කළේය.

එතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 25 බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වුණු බදාදා පොදු හමුවේ දීය. එම පොදු හමුවේ දී එතුමා ගේ ධර්මෝපදේශ දේශනයට සවන් දීම සඳහා අදත් දස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් පිරිසක් සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ.

මේ වසරේ ධර්මෝපදේශ දේශනයේ තේමාවට එතුමා පාදක කරගෙන තිබෙන්නේ අපෝස්තුතුලුවරුන් ගේ ක්‍රියා පොතේ එන කතෝලික සභාවේ  ආරම්භක වකවානුව පිලිබඳ කතා පුවතයි. සභාවේ ප්‍රථම තේවාචාරිවරයා සේ ම ප්‍රථම ප්‍රාණපරිත්‍යාගී වරයා ද වූ සාන්ත ස්තේවන් තුමා ප්‍රාණ පරිත්‍යාගී වරයකු වීමේ සිද්ධිය එතුමා අද දේශනාවට පාදක කරගත්තේ ය.

අයුතු චෝදනා නැගීමේ දුෂ්ට පිළිකාව 

කිසියම් පුද්ගලයකු විනාශ කිරීමේ අරමුණින් බොරු සාක්ෂි දැරීම සභා දේහයට විරුද්ධ ප්‍රහාරයක් යයි සාන්ත ස්තේවන් තුමා ගේ මරණයට අදාළ සිද්ධිය විස්තර කරමින් සුදොතුම් පියතුමා කීවේ ය.

අයුතු සහ බොරු චෝදනා නගන තැනැත්තන් ශා. ස්තේවන් තුමා ගේ මරණයට වගකිව යුත්තන් බඳු බව එතුමා පෙන්වා දුන්නේය. මිනිසකු  විනාශ කිරීම සඳහා ඔව්හු ඉතා සුළු හා ඉතා නොවැදගත් ම විසඳුම තෝරා ගනිති; එනම් අපහාස කිරීම සහ බොරු සාක්ෂි කීමයි."
"අයුතු සහ බොරු චෝදනා පුද්ගලයකු මරා දමන බව අපි දනිමු. පුද්ගලයකු ගේ ගෞරවය විනාශ කිරීමේ අභිලාෂයෙන් උපදින  බොරු චෝදනා නමැති මෙම ඉතා දරුණු පිළිකාව .සභා දේහයේ සෙසු අංගවලට ද පහර දෙයි. එසේම තමන් ගේ නොවැදගත් හා සුළු බැඳියාවන් නිසා හෝ තමන් ගේ ම වැරැදි ආවරණය කර ගැනීම සඳහා කෙරෙන බොරු චෝදනා නැගීම සභාවට ද බරපතල ලෙස තුවාල සිදු කරයි" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

තේවාචාරි ධුරය සේවාවේ ධුරයක් 

ශාන්ත ස්තේවන්  තුමා අපොස්තුළුවරුන් විසින් තෝරා පත්කරගන්නා ලද ප්‍රථම තේවාචාරීන් සත් දෙනා ගෙන් එක අයෙකු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේය. මෙය පදනම් කරගනිමින් තේවාචාරීන් ගේ මෙහෙවර ගැන එතුමා අනුශාසනා කළේය.

"අපොස්තුළුවරුන් විසින් තෙවාචාරීන් පත් කරන ලද්දේ දයාවේ ක්‍රියා මගින්  එදා පළමු කිතුනු ප්‍රජාවට සේවාව කිරීම සඳහා ය. මේ නිසා තෙවාචාරී වරයකු වීමට කැඳවනු ලබන තැනැත්තන් හඳුන්වනු ලබන්නේ සභා සේවාවේ ආරක්ෂයන් වශයෙනි. ඔවුන් දෙවැනි පන්තියේ පුදැදුරු වරුන් නොවේ. තේවාචාරී වරයා සිටින්නේ පුදසුන අසල සිටින්නට නොව සේවාව සඳහා ය. තේවාචාරී වරයකු නිතරම පුදසුනට යන්නට උත්සාහ කරන්නේ නම් ඔහු වැරැදියට තේරුම් ගෙන තිබේ. එය ඔහුගේ මාර්ගය නොවේ. දේව වචනය දේශනා කළ අපොස්තුළුවරුන් සහ දයාවේ සේවාව කළ තේවාචාරී වරුන් අතර පැවැති සුසංයෝගය සසුන් දේහය වර්ධනය කළ මුහුන් වූයේ යැ" යි එතුමා පැහැදිලි කළේය. 

නිර්භයව සත්‍යයට  සාක්ෂි දැරීම 

ස්වකීය විශ්වාසය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කරද්දී ශා. ස්තේවන් තුමා එඩිතරව සත්‍යයට සාක්ෂි දැරූ ආකාරයත් තමන්ට පහර දෙන තැනැත්තන්ට සමාව දුන් ආකාරයත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

ශා. ස්තේවන් තුමා ගේ සමයේ ආගමික සංස්ථාව විසින් අභියෝගයට ලක් කරන ලද විට එතුමා වචන සඟවා නොගත් බව සුදොතුම් පියතුමා කීවේ ය. "එතුමා ඉතා පැහැදිලිව කතා කළේය. එතුමා සත්‍යය ප්‍රකාශ කළේය. මරණය අබියස සිටියත් එතුමා එයින් ගැලවෙන්නට සිදුරු සෙවූයේ නැත. තමා ගලවා ගත හැකි පුද්ගලයනට ආයාචනා නොකෙළේය. ඒ වෙනුවට එතුමා කලේ සිය ජීවිතය ආපසු සමිඳුන් ගේ ශ්‍රී හස්ත වලට භාර කිරීම යැ"යි එතුමා කීවේය.

" අප දේව දරුවන්ය යන අනන්‍යතාව හෙළිදරව් කෙරෙන්නේ  සුන්දර කතා  හා දේශනා මගින් නොව තමන් ගේ ජීවිතය පියාණන් ගේ හස්ත වලට භාර කිරීමෙන්ය යන්න සහ  අපගේ විශ්වාසයේ ගුණාත්මක භාවය හෙළිදරව් වන්නේ අපට රිදවන තැනැත්තන්ට සමාව දීමෙන්ය යන්න ශාන්ත ස්තේවන් තුමා අපට උගන්වයි."

"ප්‍රාණපරිත්‍යාගී වරු 'ප්ලාස්ටික් සාන්තුවරු' නොවෙති.ඔව්හු, මසින් ලෙයින් සැදුනු, 'හෙළිදරව්ව' පොතේ කියන ආකාරයට 'බැටළු පෝතකයා ගේ ලෙයින් සිය ඇඳුම් දොවා ගෙන ඒවා සුදු කරගෙන සිටින මිනිස්සු සහ ගැහැණු' ය.   ඔව්හු ජයග්‍රාහකයෝ ය" යි එතුමා දේශනය අවසන් කරමින් කියා සිටියේ ය.














Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය