සුදොතුම් පියතුමා ගෙන් නවක රදගුරු හිමි වරුනට අනුශාසනයක්: "ඔබේ ඇඳුම් වල අත් නවා ගන්න; දෑත් කිළිටි කර ගැනීමට සූදානම් වන්න"

"Roll up your sleeves, get ready to get dirty"- Pope's advise to  new bishops

රදගුරු හිමිවරුන් ගේ වැඩමුළුවට පැමිණි සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ නායක මාර්ක් ඖලේ කාදිනල් හිමියන් සහ පෙරදිග සභා පිලිබඳ පර්ෂදයේ නායක ලියොනාඩෝ සන්ද්‍රි කාදිනල් හිමියන් සමග පිළිසඳරක 

(2019 සැප්තැම්බර් 21)
"රදගුරු හිමිවරුන් දෙවියන් වහන්සේ ගේ මවිත කිරීම්වලින් පිරුණු ජීවිතයකට සූදානම් විය යුතුය. මෙය, එදිනෙදා සැලැසුම් අවසන් මොහොතේ වෙනස් කරන්නට සිදුවන ජීවිතයකි. විශේෂයෙන් ම මෙය දෙවියන් වහන්සේ සමගත් උන්වහන්සේ ගේ ජනතාව සමගත් ජීවත්වීමට කාලය කැප කිරීමට සිදුවන ජීවිතයකි"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මේ අනුශාසනය කලේ සැප්තැම්බර මස 12 වන දා  වතිකානයට රැස් වූ රදගුරු හිමිවරුන් පිරිසක්  අමතමනි. ඉකුත් වසරේ රදගුරු වරය ලැබූ නවක රදගුරු හිමිවරුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක සිය දේශනය පවත්වමින් එතුමා මේ බව කියා සිටියේය. ශුද්ධාසනයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදය විසින් මෙම රදගුරු පුහුණු පාඨමාලාව සංවිධාන කර තිබිණි. ලොව පුරා විවිධ රටවලට අයත් රදගුරු හිමිවරු 130 නමක් ඊට සහභාගී වූහ.

"දෙවියන් වහන්සේ අප මවිතයට පත් කරති. ඇතැම්  විට උන්වහන්සේ අපගේ එදිනෙදා වැඩ සැලසුම් අවුල් කරති. බියෙන් තොරව ඊට සූදානම් වන්න" යි සුතුම් පියතුමා එම රදගුරු හිමිවරුනට උපදෙස් දුන්නේය.

යාච්ඥාවේ ජීවිතය. 

" රදගුරු හිමිවරුන් සිටින්නේ දෙවියන් වහන්සේ සිය ජනතාවට ඇති ප්‍රේමයත් සමීප බවත් ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ය. එහෙත් දෙවියන් වහන්සේ ගේ එම ප්‍රේමය ස්වකීය ජීවිතයෙන් දිනපතා  අත්නොදකින කෙනෙකුට, උන්වහන්සේ ගේ මෘදු ප්‍රේමයෙන් සිය ජීවිතය 'ආසාදනය' වන්නට ඉඩ නොහරින අයෙකුට, උන්වහන්සේ ගේ සමීප බවත් මෘදු බවත් සන්නිවේදනය කළ නොහැකි යැ" යි  එතුමා පෙන්වා දුන්නේ ය.

මේ නිසා සිය ජීවිතයේ හෝ දූත සේවාවේ වෙනත් කවර දේවල් සිදු වූවද රදගුරු හිමිවරුන් යාච්ඥාව සඳහා  කාළය වෙන් කල යුතු බව එතුමා අවධාරණය කළේය.
"දිනපතා යාච්ඥාව තුළ,  විශේෂයෙන් ම, (සහ) පාළුව හෝ වියළි බව සිත වෙලා ගන්නා අවස්ථා වලදී (පවා) , දෙවියන් වහන්සේ සමග මෙම සමීපත්වය වර්ධනය කර නොගතහොත්, අපගේ රදගුරු මෙහෙවරේ න්‍යෂ්ටිය බිඳ වැටෙන්නේ ය."

"යහපත් බීජ වපුරන්නා වන දෙවියන් වහන්සේ සමග බලවත් සම්බන්ධතාවකින් තොරව රදගුරුතුමකු දරන උත්සාහයන් ඵල රහිත බව පෙනී යන්නට පුළුවන. එසේ වූ විට සිදු වන්නේ  බීජ දළු ලන තෙක් බලා සිටීමට  අවශ්‍ය ඉවසිල්ල අහිමි වීමයි."

දේව ජනතාවට සමීප වීම 

රදගුරු තුමෙකු දෙවියන් වහන්සේ වෙත සමීප වන තරමට දේව ජනතාවට ද ලංවිය යුතු බව සුදොතුම් පියතුමා අවධාරණය කළේය. එතුමා පෙන්වා දුන්නේ මෙය නිල වැඩ කොටසක් නොව රදගුරුවරයේ  තිළිණයෙන් ගලා එන අනිවාර්ය අංගයක් බවයි,
"දෙවියන් වහන්සේට සමීප වීම උන්වහන්සේ ගේ ජනතාව සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අභිලාශය වෙත ඍජුවම අප යොමු කරයි" යි සුදොතුම් පියතුමා කීවේය. "අපගේ අනන්‍යතාව රඳා පවතින්නේ දේව ජනතාවට ලංවීම තුළයි .එය බාහිර බැඳීමක් නොව මෙම තිළිණයේ ම අනිවාර්ය අංගයකි."

"ජේසු සමිඳාණෝ අප තුළින්, දේව ජනතාව වැලඳ ගෙන ඔවුන් සනසන අපගේ දෑත් තුළින්, අපව නොව ලෝකය අභිෂේක කිරීමට අප ප්‍රකාශයට පත් කරන සුපුවතේ වචන තුළින් සිය සහෝදර සහෝදරියන් වෙත ප්‍රවේශ වීමට බලා සිටිති."

යහපත් සමරිතාන වරයා - අත් කිලිටි කර ගැනීම

රදගුරු තුමෙකුට තමන් ජනතාවට සමීප බව සරලව "ප්‍රකාශ" කල නොහැකි බව සුදොතුම් පියතුමා කීවේය. එතුමා පෙන්වා දුන්නේ  එය සිය ජීවිතයෙන් ජීවත් කළ යුතු බවයි.
"රදගුරු තුමෙකු යහපත් සමරිතානවරයා බඳු විය යුතු යි. ඔවුන් ජනතාව ගේ අවශ්‍යතා දුටු විට 'නොදුටුවා සේ පාරේ අනෙක් පසින් ගමන් නොකර' , එම අවශ්‍යතා දැක, උදව් කිරීමට නැවතී, තුවාලවලට බෙහෙත් දමා වෙලා, ඔවුන් පිලිබඳ වගකීම භාරගෙන, ඔවුන් රැකබලා ගැනීමේ වියදම ද දැරිය යුතුයි."

"මේ සියල්ල කිරීමට නම් ඔබ මාවතට පිවිසීමත් ඔබේ දෑත් කිලිකර ගැනීමට බිය නොවීමත් අවශ්‍ය වේ" යි වැඩමුළුවට එක්වූ  රදගුරු හිමිවරුන් අමතමින් සුදොතුම් පියතුමා කීවේය.

"ජනතාවට සමීප වීම යනු, අප කර තබා ගෙන යන කුරුස තුළින් පවා විශ්වාසවන්තව අප මත වැගිරෙන දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදය අප බියට පත්වන මඩ වලට වඩා උතුම් බව විශ්වාස කිරීමයි. අපි දෙවියන් වහන්සේ මෙම වරප්‍රදායේ නාලිකා වෙමු."

සරල ජීවිතය 

සරල ජීවිතය රදගුරු තුමකු ගේ මෙහෙවරේ අංගයක් විය යුතු බව සුදොතුම් පියතුමා එහි රැස්ව සිටි රදගුරු හිමිවරුනට පෙන්වා දුන්නේ ය. "මන්ද ජේසු සමිඳුන් පමණක් අපට ප්‍රමාණවත් බව මුළින්ම සහ පැහැදිලිව ම ප්‍රකාශ කළ හැකි මාර්ගය සරල ජීවිතයයි. එසේම අප අප වටා තබා ගැනීමට කැමති වන්නේ උන්වහන්සේව අපට සිහිපත් කරන්නා වූ ද උන්වහන්සේ නියෝජනය කරන්නා වූ ද දුප්පත්කම සහ දරිද්‍රතාවෙන් පෙලෙන ජනතාවය යන සත්‍යය ද සරල ජීවිතය  මගින් අපට ප්‍රකාශ කළ හැකි යැ" යි එතුමා පැහැදිලි කලේ ය. 

මීසම් බැහැදැකීම 

මීසම් බැහැදැකීමට  යාම රදගුරු ජීවිතයේ නිතිපතා සිදුවන අංගයක් බවට පත්විය යුතු බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. එහෙත් එවැනි බැහැදැකීම් ගෞරව සම්ප්‍රයුක්ත පිළිගැනීම් ඇතුළත් ඉහළ නිල ගමන් නොව සාමාන්‍ය  ඒවා විය යුතු බව ද එතුමා සඳහන් කළේය. 
"රදගුරු හිමිවරුන් සිය කාර්යාලයේ සිටින කාලයට වැඩ වැඩි කාලයක්  මීසම් සහ වෙනත් සංඝ බැහැදැකීම සඳහා වෙන් කල යුතු ය. එසේම එම බැහැදැකීම් අති ඉහල මට්ටමේ නිල ගමන් ලෙස නොපැවැත්විය යුතු ය."

"රදගුරු හිමිවරුන් යැයි කී විට ඇතැම් විට මතකයට එන්නේ ඉතා ජේත්තුවට සිටින පූජකවරුන් පිරිසකි. ඔවුන් කෙතරම් ජේත්තුවට සිටින්නේ ද යත් ආසුත ජලය (distilled water) සේ කිසි දු රසයක් නැත..... රදගුරු හිමිවරුන් සිය 'ලැකි'යන් සහ එහෙයියන් පිරිවරාගෙන නොසිට නිතර සිය ජනතාවට සැබවින් ම සවන් දිය යුතු යැ"යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනයේ දී කියා සිටියේ ය. 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය