"පාපොච්චාරණ ආසනය තුළ සමාව දෙන පාප දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් අමතක කරනවා ....මකා දමනවා" -තුන්කාල ආරාධනා භාවනාව - " උන්වහන්සේ ප්‍රේමයෙන් සහ පව් සමාවෙන් නපුර අභිභවනය කරනවා"

God conquers evil with love, forgiveness of sins, pope says at Angelus


(2019 සැප්තැම්බර් 16)
පාපොච්චාරණ ආසනය තුළ සමාව දෙන පාප දෙවියන් වහන්සේ අමතක කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි.

"ඔබ පාපය පරාජය කරන්නේ කෙසේ ද?  පාප පරාජය කරන්නේ දෙවියන් වහන්සේ ගේ සමාව පිළිගැනීම මගින්. අප පාපොච්චාරණය වෙත යන සෑම විටම එය සිදුවෙනවා. එහිදී අප අපගේ පාප මැඩපවත්වන පියාණන් ගේ ප්‍රේමය පිළිගන්නවා. එවිට එය (පාපය) තවදුරටත් එහි පවතින්නේ නැහැ, මන්ද දෙවියන් වහන්සේ එය මතක කරන නිසා" යි එතුමා කියා සිටියේය.

සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ සැප්තැම්බර් 15 වන ඉරිදා මධ්‍යාහ්නයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවති තුන්කාල ආරාධනා මරිය යදුමට පෙර භාවනාව කරමිනි.
"සමගි සන්ධානයේ සක්‍රමේන්තුව තුළ දෙවියන් වහන්සේ අපගේ ඇතුළාන්තය නවතාවට පත් කරමින්, අපට  ප්‍රමෝදමත් නව උපතක් දෙමින් අපගේ   පාප මකා දමනවා. ..මුළුමනින්ම අපගේ පාප අමතක කරනවා. .. උන්වහන්සේ අපට  එතරම්ම යහපත්" යි සිය පිටපතෙන් ඉවත් වෙමින් එතුමා අවධාරණය කළේය.

"දෙවියන් වහන්සේ පාප කමා කරන්නේ කෙනෙකු ගේ හදවත තුළ ශෝකය නොව ප්‍රීතිය විකසිත කරනු සඳහා" යි.එතුමා කීවේය
"පාපය පරාජය කර අපට ජයගත හැක්කේ කෙසේ ද?  දෙවියන් වහන්සේ ගේ සමාව, ආදරයෙන් පිළිගැනීම සහ අප ගේ සහෝදරයාටත් සහෝදරියටත් සමාව  දීම මගින්. පාපොච්චාරණය තුළ දෙවියන් වහන්සේ අපගේ අභ්‍යන්තරය  නවතාවට  පත්කරමින්  පාප ඉවත්කොට අපට සමාව දෙනවා. එයින්  පසු ශෝකය වෙනුවට හදවතේ ඉතිරි වන්නේ ප්‍රීතිය යි. අන්ධකාරය සහ සැකය වෙනුවට උදාවන්නේ ප්‍රීතියයි."

සිරිත් පරිදි තුන්කාල ආරාධනා දැහැනේ භාවනාවට එතුමා පාදක කර ගත්තේ ඉරිදා දිව්‍ය පූජා සුපුවතේ එන කොටසයි. ජේසු සමිඳුන් පව් කාරයන් සමග කන බොන බව පවසමින් පරිසිවරුන් උන්වහන්සේ විවේචනය කිරීම සහ උන්වහන්සේ ඔවුනට දුන් පිළිතුර මේ ඉරිදා සුපුවතට ඇතුළත් වී තිබිණි. 

ජේසු සමිඳුන් ඉතා 'අසිරිමත්' උපමා තුනකින් පරිසිවරුනට පිළිතුරු දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිළි කළේය. මේ නිසා දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයේ සුන්දරත්වය ගැන දැන ගැනීම සඳහා සෑම කෙනෙකු ම - විශේෂයෙන් ම උන්වහන්සේ නොදන්නා තැනැත්තන්  සහ සිය හදවත් උන්වහන්සේට විවෘත කිරීමට නොහැකි තැනැත්තන් - ලූක් සුබ අස්නේ 15 වන පරිච්ඡේදය කියවිය යුතු බව එතුමා කීවේය.

මෙම උපමා තුනෙන් - එනම්, නැති වූ බැටළුවා, නැති වූ කාසිය සහ අකීකරු පුත්‍රයා උපමා වලින් - ජේසු සමිඳුන් පෙන්වා දෙන්නේ කවර තත්වයක් මත වුව ද 'ඔබට දෙවියන් වහන්සේ ගේ හදවත තුළ තැනක් තිබෙන' බවත්  උන්වහන්සේ ගේ දෑස් ඉදිරියේ ඔබ "අගනා" බවත් යැයි එතුමා පෙන්වා දුන්නේය. "සිය පව්කාර දරුවන් තමන් වෙත පැමිණෙන තෙක් උන්වහන්සේ බලා  සිටින සේක. ආපසු පැමිණෙන දරුවන් ආදරයෙන් පිළිගෙන නැති වූ බැටළුවාට සේ ප්‍රේම කරන  සේක."

"බිය වනු එපා!දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබ සිටින ආකාරයෙන් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබගේ ජීවිතය වෙනස් කරන්නට හැකි වන්නේ උන්වහන්සේ ගේ ප්‍රේමයට පමණක් බව උන්වහන්සේ දන්නවා."

"එහෙත්, එතෙකුදු වුවත්, ඇතැම් ජනතාව දෙවියන් වහන්සේ ගේ සදාතනික ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්" යි සුදොතුම් පියතුමා කීවේය. "අකීකරු පුත්‍රයා ගේ වැඩිමහල් සහෝදරයා බඳු තැනැත්තන් විසින් එය කරන්නට පුළුවන්. තමන් යහපත් යයි සිතන ඔවුන් විශ්වාස කරන්නේ අයහපත සහ නපුර හමුවන්නේ තමන් තුළ නොව සෙසු තැනැත්තන් තුළ බවයි. එහෙත් අප යහපත් බව විශ්වාස කිරීමෙන්  අප වැළකිය යුතුයි. මන්ද, සදා යහපතාණන් වන දෙවියන් වහන්සේගෙන් තොරව නපුර අභිභවනය කිරීමට අපට නොහැකි නිසයි" යිසුදොතුම් පියතුමා කීවේය.

"දෙවියන් වහන්සේ පියෙකුට වඩා ස්වාමියෙකු බව ඇතැම් අය වරදවා සිතන්නට පුළුවන්. උන්වහන්සේ කරුණාවන්ත කෙනෙකු නොව ඉතා  දැඩි, ලිහිලක් නොමැති කෙනෙකු ලෙසත් සමාව දීම වෙනුවට බලය  යොදා නපුර පරාජය කරන්නෙකු ලෙසත් ඇතැමෙකු වරදවා සුතන්නට පුළුවන්"

"එහෙත් සැබෑව එය නොවේ" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "දෙවියන් වහන්සේ ගලවා ගන්නේ ප්‍රේමයෙන්; බලහත්කාරයෙන් නොවේ. තමන් පූජා කිරීමෙන්; බලහත්කාරයෙන් ආරෝපණය කිරීමෙන් නොවේ."

"දෙවියන් වහන්සේ සමග සිටින විට කිසිදු පාපයක් අවසාන තීන්දුව නොවේ" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය