විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම නිසා එතුළ සිරවීමෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුන්කාල ආරාධනා යැදුමට පමා වෙයි

Pope Francis late at Angelus after being stuck in elevator

වතිකානයේ ගිණි නිවන දෙපාර්තමේන්තුවේ රථයක්  

(2019 සැප්තැම්බර් 1)
සාම්ප්‍රදායික ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකාන අපෝස්තලික මාලිගාවේ පුස්තකාල කවුළුවේ සිට ඉරිදා දිනවල සිදුකරන තුන්කාල ආරාධනා යැදුම ආරම්භ වන්නේ මධ්‍යහ්න 12 ටය.  හරියට වෙලාවට වැඩකරන  තැනැත්තෙකු ලෙස ගෞරවයට ලක්ව සිටින එතුමා මෙම යැදුමට ද නියමිත වෙලාවට පැමිණේ.

එහෙත් සැප්තැම්බර් 1 වනදා එම යැදුමට එතුමා පැමිණෙද්දී විනාඩි හතක් ප්‍රමාද වී තිබිණි.

ඊට හේතුව එතුමා ඇතුළු වූ විදුලි සෝපානය ක්‍රියා විරහිත වී එතුමා එතුළ  සිර වීමයි.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කවුළුව අසලට පැමිනෙන තෙක් නොඉවසිලිමත්ව සිටි වන්දනාකරුවෝ එතුමා දුටු විගස දැවැන්ත අත්පොලසන් නාදයකින් එතුමා පිළිගත්හ.
වහාම එතුමා කළේ තමා ගේ ප්‍රමාදය පිළිබඳව  වන්දනාකරුවන් ගෙන් සමාව ඉල්ලීමයි. එසේම තමා පිටතට ගැනීමට වෙහෙස වූ වතිකාන ගිණි නිවන දෙපාර්තමේන්තුවට ස්තුති කිරීමයි.

"මුලින් ම මගේ ප්‍රමාදය පිළිබඳව මා ඔබගෙන් සමාව ඉල්ලා සිටිනවා" යි එතුමා කියා සිටියේය.
"මගේ ප්‍රමාදයට හේතුව හදිසි අවස්ථාවක්. විදුලි සෝපානය තුළ විනාඩි 25ක් සිර වී සිටින්නට මට සිදු වුනා.  වොල්ටීයතාවයේ බැසීමක් සිදු වූ නිසා විදුලි සෝපානය නැවතුනා."
"දෙවියන් වහන්සේට ස්තුති වේවා! ගිණි නිවන භටයන් එහි පැමිණියා. මම ඔවුනට බොහෝ සේ ස්තුති කරනවා. විනාඩි 25ක ප්‍රයත්නයකින්  පසුව මා පිටතට ගන්නට ඔවුන් සමත් වුනා. ගිණි නිවන දෙපාර්තමේන්තුවට අපි හොඳ අත්පොලසන් නාදයක් දෙමු," යි එතුමා ඉල්ලා සිටියේය.

සංඝය තුළ සිත් රිදීම් සහ තුවාල ඇති කෙරෙන  පළමු තැන අත්කර ගැනීමට  කරන තරගය 

මෙදින තුන්කාල ආරාධනාවට පෙර එතුමා කළ භාවනාවට පාදක වූයේ මෙම ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්න  යි.

ප්‍රමුඛ පෙලේ පරිසිවරයකු ගේ නිවසේ භෝජන සංග්‍රහයකට වැඩම කරන ජේසුන් වහන්සේ එම භෝජන සංග්‍රහයේ උසස් සහ ප්‍රමුඛ අසුන් ලබා ගැනීමට බොහෝ දෙනෙකු කරන තරගය දැකීමෙන් ඔවුනට දෙන අනුශාසනය මෙම සුපුවතට ඇතුළත් වේ.
මෙම තරගය දකින උන්වහන්සේ උසස් අසුන් දිනා ගන්නට කරන තරගයේ නිරර්ථක කම උපමා දෙකකින් පෙන්වා දෙන සේක.

ජේසු සමිඳුන් ගේ කාලයේ උසස් පුටු වලට තිබූ මේ තරගය "අද අපේ කාලයේ පවා පුළුල් ලෙස පැතිර ගොස් තිබේ" යයි එම භාවනාව අරඹමින් සුදොතුම් පියතුමා කීවේය.

එතුමා පෙන්වා දුන්නේය. තරගය පවතින්නේ කෑම මේසයක පමණක් නොවන බවයි.
"දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කළ විට පමණක් නොවේ. සෙසු අයට වඩා අපගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට අප නිතරම මුල් තැන සොයනවා. ඇත්ත වශයෙන් ම මුල් තැන ගන්නට අප කරන මේ තරගය නිසා (කිතුනු) සංඝයට රිදවීම්, තුවාල සිදු වෙනවා. එම තුවාල සහ රිදවීම් ඇතැම් විට සාමාන්‍ය තුවාල විය හැකියි තවත් විටක ශාසනික තුවාල විය හැකියි. ඊට හේතුව ඒ මගින් සහෝදරත්වය විනාශ වන නිසායි" සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

ජේසු සමිඳුන් සිය පළමු උපමාව මගින් පෙන්වා දුන්නේ භෝජන සංග්‍රහයේ හොඳම තැන අසුන් ගත් ආරාධිතයා ගැනයි. "එහෙත් එසේ කිරීම නිසා සිදුවිය හැකි විඵාකය ගැන  ජේසු සමිඳුන් අනතුරු අඟවනවා . එනම් ඔහුට වඩා ගෞරවනීය ආරාධිතයකු එහි පැමිණියහොත් එම ආරාධිතයාට හොඳම අසුන ලබා දී ලජ්ජා සහගත ලෙස පසු පෙළ අසුනකට යන්නට පළමු තැනැත්තාට සිදුවීමයි" යි සුදොතුම් පියතුමා විස්තර කළේය.

"අප සතු විය යුත්තේ ඊට ප්‍රති විරුද්ධ ආකල්පය යි. අපගේ ම මුලපිරීම ගැන සෙසු අයගේ අවධානය සහ සැලකිල්ල දිනා ගන්නට උත්සාහ කිරීම වෙනුවට අප කළ යුත්තේ සෙසු අයගේ අවධානය ඊට යොමු වීමට ඉඩ හැරීමයි" යි පසුපෙළ අසුනක සිට මුල්පෙලට කැඳවන ලද එම උපමාවේ  එන දෙවන ආරාධිතයා දිනාගත් ගෞරවය ගැන පෙන්වා දෙමින් ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා කීවේය.

බැහැපත් ත්‍යාගශීලී බව කිතුනු යි 

ජේසු සමිඳුන් සිය  දෙවන උපමාවෙන්  භෝජන සංග්‍රහය සඳහා  තමාට  ආරාධනා කළ සත්කාරක පරිසි නායකයා අමතයි. භෝජන සංග්‍රහයකට ආරාධනා කරන විට තමාගේ  ගේ ඥාති මිත්‍රාදීන්ට නොව තමාට ප්‍රතිඋපකාර කිරීමට හැකියාවක් නොමැති දුප්පතුන්, ආබාධිතයන් වැනි තැනැත්තන්ට ඒ සඳහා ආරාධනා කරන්නැයි උන්වහන්සේ එම පරිසිවරයාට උපදෙස් දෙති.

"මෙතැනදීත් ජේසු සමිඳුන් මුළුමණින්  ම රැල්ලට එරෙහිව ගමන් කරනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ එය පිය දෙවියන් වහන්සේ ගේ න්‍යාය බවයි" යි සුදොතුම් පියතුමා එය විස්තර කරමින් කීවේය.

"තමන්ට යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් කිසියම් කෙනකුට උදව්වක් කිරීම ක්‍රිස්තියානි ක්‍රියාවක් නොවේ. ඇත්තෙන් ම එවැනි ක්‍රියාවක් මගින් මානව සම්බන්ධතා වාණිජ ගනු දෙනුවක් බවට පත්කරයි. ජේසු සමිඳුන් පරාර්ථකාමී තයාගශීලි බවට අපට ආරාධනා කරනවා. එහි අරමුණ වඩා විශිෂ්ට ප්‍රීතියක් අපට ලබා දීමයි. ...එනම් ස්වර්ගීය භෝජනය සංග්‍රහය යි"

"බැහැපත් ත්‍යාගශීලී බව ක්‍රිස්තියානි ගුණාංගයකි" යි එතුමා සිය භාවනාව අවසන් කරමින් කියා සිටියේය.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය