"තමන් ගේ ම ලාබය ගැන උනන්දුවක් දැක්වීම සහ කුහකකම සභාව විනාශ කරනවා...සැබෑ කිතුනු අනන්‍යතාව බෙදා ගැනීම සහ සහභාගී කමයි" - බදාදා පොදු හමුව

"Hypocrisy of 'spiritual tourism' destroys the church":  Pope at the General Audience


(2019 අගෝස්තු 24)
තමන් ගේ ම ලාබය සහ සෞභාග්‍යය ගැන පමණක් උනන්දුවක් දැක්වීමේ සහ කුහකකම සභාව වනසන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මතුපිටින් සභාවට සමීප බව පෙන්වන නමුදු සිය සහෝදර ජනතාවට නොසලකන කිතුනුවන් අරමුණකින් තොරව සැරිසරන "සංචාරකයන්" පිරිසක් පමණක්  බව ද එතුමා අවධාරණය කරයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අගෝස්තු 21 වැනි දා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පවත්වන ලද පොදු හමුවේ ධර්මෝපදේශ කතාව කරමිනි.

ග්‍රීෂ්ම ඍතුව හේතුවෙන් නවත්වනු ලැබ  තිබූ බදාදා පොදු හමුව ඉකුත් සතියේ යළි ආරම්භ කරනු ලැබිණි.

සිය නව පොදු හමු මාලාව සඳහා  සුදොතුම් පියතුමා පාදක කරගෙන ඇත්තේ අපෝස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ සඳහන් ප්‍රථම කිතුනුවන් ගේ ජීවිතය යි.

"සභාව අසලින් ගමන් කරන නමුදු බෙදා  ගැනීම සහ රැකබලා ගැනීම පදනම්  වූ සහයෝගීතාවයේ ජීවිතයක් තුළ සභාවට ඇතුළු නොවන ජනතාව හුදෙක් 'ආධ්‍යාත්මික සංචාරකයන් ' පිරිසක් පමණයි. තමන් කිතුනුවන් බව ඔවුන් විශ්වාස කරණ නමුත් ඒ වෙනුවට ඔවුන් ඇත්තෙන්ම 'සොහොන් ගෙවල් සංචාරකයන්' පිරිසක් (tourists of catacombs) පමණයි."

"ලාබ ලැබීම මත පමණක් පදනම් වූ ජීවිත මෙන්ම සෙසු අයට හානිකර අන්දමින් අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නා තැනැත්තන් නිසැකව ම අභ්‍යන්තර මරණයට පත් වෙනවා. තමන් සභාවට සමීප බව, තමන් පුදැදුරු වරුන් ගේ රදගුරු හිමි වරුන් ගේ සමීප මිතුරන් බව ප්‍රකාශ කරන ගමන් තමන් ගේ ම ලාබ ප්‍රයෝජන ගැන පමණක් උනන්දුව දක්වන කෙතරම් විශාල පිරිසක් සිටිනවා ද? මේවා සභාව විනාශ කුහකකම්" යැයි පොදු හමුවට එක්ව සිටි දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"සියලු කුහකකම් පරාජය කොට කිතුනු සහයෝගීතාව පොහෝණි කරමින්  එම සත්‍යතාව සංසරණය කරවන මෘදුභාවයේ ශුද්ධාත්මයාණන් අප මත වගුරුවන ලෙස මා සමිඳුන්ට යාච්ඥා කරනවා ...සහයෝගිතාව (solidarity) යනු සියල්ලන් ගේ - විශේෂයෙන් ම අන්ත දුප්පතුන් ගේ  කරුණාබර මෑණියන් වන සභාවේ ස්වරූපයේ  අහිමි කළ නොහැකි ප්‍රකාශනය යි."

"ක්‍රිස්තු දේහයේ සාමාජිකයන් වීම තුළ අප සෑම කෙනෙකුටම එකිනෙකා කෙරෙහි සම වගකීමක් පැවැරී තිබෙනවා. ජේසු සමිඳුන් කරෙහි අදහන්නන් ලෙස අප සියල්ලන් මත එකිනෙකා කෙරෙහි සම වගකීමක් පැවැරී තිබෙනවා" යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

" 'එයා දුප්පත් කෙනෙක්. එයාගෙ ගෙදර ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු පවුලේ අර්බුදය තුළ සිරවී සිටිනවා' යයි කියන්නට කිතුනුවකුට හැකියාවක් නැහැ. ඒ වෙනුවට මා ඒ තැනැත්තා වෙනුවට යාච්ඥා කළ යුතුයි. මම ඒ ප්‍රශ්නය මා සමග රැගෙන යා යුතුයි. ඒ සම්බන්ධයෙන් මට අක්‍රීයව සිටිය නොහැකියි. කිතුනුවකු ගේ ස්වභාවය එයයි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

සුදොතුම් පියතුමන් අබියස නිදහසේ නැටූ රෝගී දියණිය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්මෝපදේශ අනුශාසනය කරමින් සිටින අවස්ථාවේ වන්දනාකරුවන් අතර සිටි උපතේ සිට මානසික ආබාධිත තත්වයෙන් පෙළෙන යොවුන් දැරියක් එතුමන් සිටි පීඨිකාව මතට ගොඩ වී සුදොතුම් පියතුමා වටා දුවමින් අත්පොලසන් දෙමින් නටන්නට පටන් ගත්තාය. එම දැරිය පීඨිකාවෙන් ඉවත් නොකරන ලෙසත් ඇයට  එලෙස සිටින්නට ඉඩ හරින ලෙසත් සුදොතුම් පියතුමා උපදෙස් දුන්නේය.

"ඇයට එසේ ඉන්නට ඉඩ හරින්න. දෙවියන් වහන්සේ දරුවන් තුළින් කතා කරනවා" යි සුදොතුම් පියතුමා කීවේය. එසැනින් දැවැන්ත අත්පොළසන් නාදයකින් එම ශාලාව  පිරී ගියේය.

පොදු හමුව අවසානයේ සුදොතුම් පියතුමා එම යොවුන් ගැහැණු දරුවා ගැන මෙනෙහි කළේය.
"ඇය තමා කරන්නේ කුමක් ද කියා නොදන්නා රෝගයකින් පීඩා විඳින දැරියක්" එතුමා පෙන්වා දුන්නේය.
"මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ හැම කෙනෙකුම ඔබේ හද පත්ලෙන් ඊට පිළිතුරු දෙන්න. 'මා ඇය වෙනුවෙන් යාච්ඥා කළා ද? ඇය දෙස බලා සිටින අතර ඇය සුවපත් කරන්න, ඇය ආරක්ෂා කරන්න කියා මා සමිඳුන්ගෙන් ඉල්ලුවා ද? ඇයගේ දෙමාපියන් සහ ඇය ගේ පවුල වෙනුවෙන් යාච්ඥා කළා ද?'  දුක් විඳින කෙනෙකු  දුටු විට සෑම විට ම අප යාච්ඥා කල යුතුයි. මේ තත්වය මෙම ප්‍රශ්නය අපෙන් ම අහන්නට අප යොමු කරනවා: 'මා  දුටු මේ තැනැත්තා, මේ දුක් විඳින තැනැත්තා වෙනුවෙන් මා යාච්ඥා කළා ද?'

අනානියස් සහ බර්නබස් - බදා ගැනීම සහ බෙදා ගැනීම 

ප්‍රථම කිතුනු ප්‍රජාව තුළ පැවැති බෙදා ගැනීමේ අනන්‍යතා ලක්ෂණය ගැන අපෝස්තුලුවරුන් ගේ ක්‍රියා පොත ඇසුරින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.
"යාච්ඥාව සහ දිව්‍ය සත්ප්‍රසාදීය බෙදා ගැනීම ප්‍රථම විශ්වාසිකයන් එක් හදවතක් සහ එක් ආත්මයක් තුළ එකමුතු කළ අතර ඔවුන් අතර තිබූ සම්පත් බෙදා ගැනීමේ ලක්ෂණය එම ප්‍රථම ක්‍රිස්තියානින් එකිනෙකා රැක බලා ගැනීම සහ උවටැන් කිරීමට ආධාරයක් වුයේය. එපමණක් නොවේ. එම ක්‍රියාව දුප්පත් කමේ වසංගතය පිටු දැකීමට ද රුකුලක් වූයේ යැ" යි එතුමා පහදා  දුන්නේය. 

" මේ ආකාරයෙන් 'සහභාගිකම ('koinonia' : communion) සමිඳුන් ගේ ශ්‍රාවකයන් අතර සම්බන්ධතාවේ නව මාර්ගය බවට පත් විය. ක්‍රිස්තුන් වහන්සේ සමග සම්බන්ධතාව විසින් සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාව ද ඇති කරනු ලබයි. එම සම්බන්ධතාවම එකිනෙකා එකට මුණගස්වා  භෞතික භාණ්ඩවල සහභාගිකම (එනම් ඒවා පොදුවේ තබා ගැනීම) තුළින් ප්‍රකාශිත කරයි. ක්‍රිස්තු දේහයේ සාමාජිකයන් වීම නිසා  සෑම විශ්වාසිකයකු තුළ ම එකිනෙකා කෙරෙහි වගකීමක් ඇති කරයි."

මෙම සහභාගීකමේ හොඳම නිදසුන බාර්නබස් ගේ ජීවිත සාක්ෂිය  බව සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.
"ඔහු සතුව කුඹුරක් තිබුනේ ය. ඔහු එම කුඹුර විකුණා එයින් ලත් මුදල අපොස්තුලුවරුනට දුන්නේය."
"කිතුනු ප්‍රජාව උපත ලබන්නේ ශුද්ධාත්මාලෝකය  අති මහත්  ලෙස වගුරුවනු ලැබීමෙනි. එම ප්‍රජාව වැඩි වර්ධනය වන්නේ සහෝදර සහෝදරියන් අතර බෙදා ගැනීමේ මුහුන් වලිනි. සභාව දෙවියන් වහන්සේ ගේ පවුල ලෙස ගොඩ නැගෙන්නේ සහයෝගිතාවයේ ක්‍රියාකාරීත්වය මගිනුයි."

"ඔබ තුළ සිත් හැරීමක් සිදු වී තිබෙනවා ද යන්න දැනගත හැකි  සලකුණ එම සිත් හැරීම ඔබගේ මුදල් පසුම්බියට ලඟා වූ විටයි" යි සුදොතුම් පියතුමා කීවේය. "කෙනෙකු අන් අය කෙරෙහි ත්‍යාගශීලී ද, කෙනෙකු දුර්වල ම සහා දුප්පත් ම තැනැත්තන්ට උදව් වන්නේ ද යන්න අපට පෙනෙන තැන එම තැනැත්තා ගේ පොකට්ටුවයි."

එහෙත් කිතුනු ප්‍රජාව තුළ තිබිය හැකි 'කුහක හෘද සාක්ෂිය' සහ ආත්මාර්ථය විසින් එවැනි කිතුනුවන් ශාරීරිකව මෙන් ම ආත්මීයව  ද මරණයට පත් කළ හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පහදා දුන්නේය. ඊට නිදසුන් ලෙස එතුමා මෙනෙහි කලේ ප්‍රථම  කිතුනු ප්‍රජාවේ යුවලක් වූ අනානියස් සහ ඔහුගේ බිරිඳ සපීරා ගේ කතාව යි.

අනානියස් සහ සපීරා අපෝස්තුලු වරුනට ප්‍රදානය කිරීම සඳහා තමන්  සතු දේපලක් අලෙවි කළහ. එහෙත් එයින් ලත් මුදලින් කොටසක් ඔවුන් අපොස්තුලුවරුනට නොදී තමන් වෙත තබා ගත්හ. එය දුටු පේදුරු තුමා "අනානියස් ඔබ බොරු කලේ මනුෂ්‍යයන්ට නොවේ, දෙවියන් වහන්සේට" යයි පැවසීය. එකෙනෙහිම අනානියස් පේදුරු තුමා අබියස මැරී වැටුනේය.

"මෙම යුවල දෙවියන් වහන්සේට බොරු කලේ හුදෙකලා වූ හෘදය සාක්ෂියක් නිසා, කුහක හෘද සාක්ෂියක් නිසා යයි අපට පැවසිය හැකියි" යයි  සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"මේ කිතුනු සංඝයේ, මේ කිතුනු ප්‍රේමයේ  දරුණු ම සතුරා කුහකකමයි. කුහකකම යනුවෙන් අදහස් කරන්නේ එකිනෙකාට  ප්‍රේම කරණ බව පෙන්වා තමා ගේ ම ලබා ප්‍රයෝජනය ගැන පමණක් උනන්දු වීමයි. ඇත්ත වශයෙන් ම අවංකව බෙදා ගැනීමට අසමත්වීම සහ  අවංකව ප්‍රේම කිරීමට අසමත් වීම යනු කුහකකම අස්වැද්දීම යි, කෙනෙකු සත්‍යයෙන් ඈත්කර ගැනීමයි, ආත්මාර්ථකාමී වීමයි, සහභාගිකමේ ගිණි සිළුව නිවා දමා අභ්‍යන්තර මරණයේ  සීතලට ගොදුරු වීමයි."

"තමන් සතු සම්පත් බෙදා ගැනීම සමාජ සේවා ක්‍රියාකාරකමක් නොවේ. එය සියල්ලන් ගේ ම විශේෂයෙන් ම දුප්පත්ම ජනතාව ගේ  කරුණාබර  මෑණියන් වන සභාවේ සැබෑ ස්වභාවයයි" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය. 

 රෝගී දැරිය සුදොතුම් පියතුමා අබියස කළ රංගනය මේ වීඩියෝවෙන් බලන්න




 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය