"දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සෑම අවස්ථාවක්ම 'ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමක් කර ගන්න" - සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දින තුන්කාල ආරාධනා භාවනාව.

Receive Communion every time as if it were the first time: Angelus meditation on the Solemnity of the Corpus Christi 


(2019 ජුනි 24)
කතෝලිකයකු  දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සෑම විටම එය ඔහුගේ හෝ ඇයගේ ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම සේ හදවතින් සුන්දර විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

එතුමා මේ බව කියා සිටියේ ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ  ගාම්භීර මංගල්‍යය යෙදුනු ජුනි 23 වනදා ඉරිදා මධ්‍යාහ්නයේ තුන්කාල ආරාධනා මරිය දැහැනේ භාවනාව කරමිනි. සිරිත් පරිදි ඊට එක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ.

"ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ  ගාම්භීර මංගල්‍යය යනු දිව්‍ය සත්ප්‍රසාදය නමැති ජේසු සමිඳුන් ගේ  ආශ්චර්යවත් තිළිණය කෙරෙහි අපගේ ප්‍රීතිය සහ මවිතය වාර්ෂිකව අලුත් කරගන්නා ශුද්ධවන්ත දිනයක්" යයි සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේය.
"දිව්‍ය සත්ප්‍රසාදය යනු ජේසු සමිඳුන් ගේ සමස්ත ජීවිතයේ දක්නට ලැබුණු සංකලනයේ ජීවමාන සංකේතයයි: එනම් සිය පියාණන් වෙත සහ සහෝදර සහෝදරියන් වෙත තිබුණු එකම ප්‍රේමයේ සංකලනයයි. එය වූ කලී ලෝකයේ ගැලවීම උදෙසා පූජා කරන ලද උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ සක්‍රමේන්තුව යි" යි එතුමා පෙන්වා දුන්නේය.

මේ නිසා මෙම මංගල්‍යය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ  තුළ ජේසු සමිඳුන් ගේ සැබෑ වැඩසිටීම කෙරෙහි අවධානය යොමු කිරීමට සභාව විසින් ප්‍රදානය කර ඇති අවස්ථාවක් බව සුදොතුම් පියතුමා කියා සිටියේය. මෙම සක්‍රමේන්තුව තුළ ජීවමානව සැබැවින්ම වැඩ වෙසෙන ජේසු සමිඳුන් "අකර්මන්‍යව හෝ පුරුද්දක් ලෙස නොව කෘතගුණ පූර්වකව, ප්‍රේමයෙන් පිළිගත යුතු" බව එතුමා අවධාරණය කළේය.

"දිව්‍ය භෝජනය ලබා ගැනීමට අප පුදසුන වෙත යන සෑම විටකම 'ක්‍රිස්තුන් වහන්සේ ශ්‍රී ශරීරය' යන පදයට අපගේ  'ආමෙන් ' යන පිළිතුර අලුත් කරගත යුතුය. එම 'ආමෙන්' (එය එසේම වේවා!) යන්න, පූර්ණ අවබෝධය තුළ  අපගේ හදවත ගැඹුරින්ම ජනිත වන්නක් විය යුතුය," යි එතුමා පෙන්වා දුන්නේය.

"මේ ජේසු සමිඳාණෝ යි. මේ මා ගලවා ගත් ජේසු සමිඳාණෝ යි. මේ ජීවත් වීමට මා ශක්තිමත් කරන  ජේසු සමිඳාණෝ යි. මේ ජීවමාන ජේසු සමිඳාණෝ යි, යන සිතිවිල්ලෙන් අප දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත යුතුය. එය ලබා ගන්නා සෑම අවස්ථාවක්ම අපගේ ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමක් විය යුතු ය" යි එතුමා අවධාරණය කළේය.
 

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය