"එංගලන්ත සභාවේ ශුද්ධාත්ම යැදුම් ව්‍යාපාරයට එක් වන්න" සුදොතුම් පියතුමා වීඩියෝ පණිවිඩයක් මගින් කතෝලිකයන්ට ආරාධනා කරයි (වීඩියෝ )

Pope calls on all Catholics to join Anglican prayer campaign "Thy Kingdom Come"


(2019 මැයි 28)
එංගලන්ත සභාව විසින් මේ මස අවසානයේ සිට පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත යාච්ඥා ව්‍යාපාරයට එකමුතු වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

එතුමා මෙම ආරාධනාව කර තිබෙන ආකාරය ද අපූර්වය. එංගලන්ත සභාවේ නායක කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් ගේ "ස්මාර්ට් ෆෝන්" දූරකතනයේ වීඩියෝ ගත කරන ලද පණිවිඩයක් මගින් එතුමා මෙම ඉල්ලීම කර තිබේ.. 

කැන්ටබරියේ අගරදගුරු තුමා ඉකුත් අප්‍රේල් 11 වනදා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසුණේය. එහිදී එතුමා මැයි මස 30 වනදා සිට දින 11ක් පුරා "ඔබගේ රාජ්‍යය පැමිණේවා" යන මැයින් පැවැත්වෙන ඇංග්ලිකාන සභාවේ යාච්ඥා ව්‍යාපාරය ගැන සුදොතුම් පියතුමා සමග සාකච්ඡා කළේය. මේ සඳහා පණිවිඩයක් ලබා දෙන්නේ නම් එය තම ජංගම දූරකතනයේ වීඩියෝ ගත කල හැකි බව එතුමා කියා සිටියේය. මඳක් හෝ පමා නොවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩය ජස්ටින් වෙල්බි අගරදගුරු තුමාට ලබා දුන්නේය.

"ශුද්ධාත්මයාණනි, වැඩම කළ මැනව. මෙය සියලුම කිතුනුවන් ගේ ආයාචනයයි" යි සිය පණිවිඩය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කියයි.

"ශුද්ධාත්මයාණන් පියාණන් ගේ පොරොන්දුවයි. ජේසු සමිඳුන් ගේ පොරොන්දුවයි. කීකරු කමින්, දූරදර්ශීව සහ සාමයෙන් අපගේ තීරණ ගැනීමට අපට සහය වීම සඳහා උන්වහන්සේ සභාවේ හදවත් අභ්‍යන්තරයෙන්  ප්‍රසාරණය (විශාල) කරනවා," යි එතුමා පෙන්වා දෙයි.

"අපට ප්‍රශ්නයක් තිබෙනවා. එනම් අපගේ හදවත් ටිකෙන් ටික ඇකිලෙනවා. කුඩා වෙනවා. වැහෙනවා. මේ ප්‍රශ්නය අපට තනිවම  විසඳන්නට බැහැ. එය කළ හැක්කේ ශුද්ධාත්මයාණන්ටයි.හරියට පපුවට ගැඹුරු හුස්මක් ගත්  විටෙක සේ ශුද්ධාත්මයාණන් සභාවේ හදවත විශාල කරනවා.  ශුද්ධාත්මයාණනි, වැඩම කළ මැනව" යි එතුමා පැහැදිලි කරයි.

" ඒ වගේම ජේසු සමිඳුන්ට අපි  කියනවා, 'ඔබගේ රාජ්‍යය පැමිණේවා" කියල. "ඔබවහන්සේ ප්‍රකාශ කිරීම පැමිණි පියාණන් ගේ රාජ්‍යය පැමිණේවා!'."

මේ දිනවලදී කතෝලික ජනතාව ද ඇංග්ලිකාන ජනතාව සමග "ඔබගේ රාජ්‍යය පැමිණේවා" යැදුම් ව්‍යාපාරයට එකමුතු වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



යාච්ඥා ව්‍යාපාරය මැයි 30 වනදා සිට ජුනි 9 දා දක්වා පැවැත්වේ.

2016 පෙන්තකොස්ත මංගල්‍ය සමයේ මෙම යැදුම් ව්‍යාපාරය මුලින්ම ආරම්භ කරන ලද්දේ කැන්ටබරියේ අගරදගුරු වෙල්බි හිමියන් විසිනි. මේ වන විට යැදුම සඳහා කෙරෙන මෙම ආරාධනය වැළඳගනිමින් එය ලොව පුරා පැතිර ගොස් තිබේ. වඩ වඩා ජනතාව ජේසු සමිඳුන් හඳුනා ගැනීමත් උන්වහන්සේට සමීප වීමත් මෙම යැදුම් ව්‍යාපාරයේ අරමුණයි.

මෙම සම්පූර්ණ වීඩියෝ පණිවිඩය පෙන්තකොස්ත ඉරුදින එංගලන්තයේ  ලන්ඩන් නුවර ට්‍රෆල්ගා චතුරශ්‍රයේ පැවැත්වෙන යාච්ඥාවේදී ප්‍රදර්ශනය කෙරෙන බව www.thykingdomcome.global වෙබ් අඩවිය කියයි. මෙම හමුවට කිතුනුවන් 5000කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජස්ටින් වෙල්බි අගරදගුරු හිමිපාණන් සමග ලන්ඩනයේ වෙස්මින්ස්ටර් හි කතෝලික අගරදගුරු වින්සන්ට් නිකලස් කාදිනල් හිමියන් ද ඊට  සහභාගී වීමට නියමිතයි.  


පින්තුරය: කැන්ටබරියේ අගරදගුරු හිමි සුදොතුම් පියතුමන් මුණගැසුණු අවස්ථාව 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය