"ක්‍රිස්තු සමිඳාණෝ සියලු නපුරෙන් අප මුදන සේක; නපුර තර්ජනාත්මකව නැගී සිටින විට පියාණන් අමතන්න" - සුදොතුම් පියතුමාගෙන් මේ ඉරිදාට ප්‍රබල භාවනාවක්

Christ liberates us from overwhelming evil - Holy Father points out at the General Audience


(2019 මැයි 25)
ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දී මිල කළ නොහැකි තිළිණයක් මනුෂ්‍යත්වයට ලබා දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එම අමිල තිළිණය නම් "නපුරෙන් ගැලවීම" යි.

"නොතකා සිටිය නොහැකි තරමට නපුර කෙතරම් බලවත් දැයි කිතුනු ජනතාව දනිති. එසේම නපුරේ ඉච්චා බසට යටත් නොවූ ජේසු සමිඳුන් තම පැත්තේ සිටින බවත්, උන්වහන්සේ තම සහයට නිරන්තරයෙන් ම පැමිණෙන බවත් ඔව්හු දනිති. ජීවිතය තුළ සහ  ලෝකය තුළ අති විශාල ලෙස නපුර සහ දුර්පරීක්ෂා පැවතීම තේරුම් ගැනීමට නොහැකි කාරණයකි. එහෙත් ඒ විරුද්ධාභාසය තුළ සිය ජනතාව ශක්තිමත් කොට ආරක්ෂා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටින සේකැ" යි එතුමා පෙන්වා දෙයි.

"සෑම පුද්ගලයකුටම ජීවිතයක් දානය කරනු ලැබ තිබේ. එම ජීවිතය ප්‍රේමයේ සහ යහපතේ සිහින වලින් සමන්විත සුන්දර එකකි. එහෙත් එම ජීවිතයම තමාටත් තමා අවට සිටින්නන්ටත් එරෙහිව නොකඩවා නැගී සිටින නපුරට, අයහපතට නිරන්තරයෙන් නිරාවරණය වී තිබේ. අප අවට පවතින නපුර කෙතරම් බලවත්දැයි කියන්නේ නම් ඇතැම් විට එයින් අප අධෛර්යයට, අපේක්ෂා භංගත්වයට පත්වීමට පවා ඉඩ තිබේ."

"එහෙත් කිතුනු යාච්ඥාව ජීවිතයේ මෙම යථාර්ථයට දෑස් වසා නොගනියි. ජීවිතය අතිශය දුෂ්කර විය හැකි බවත්, අතිශයින් වේදනාකාරී, අයුක්තිසහගත සහ  අසාධාරණ විය හැකි බවත් කිතුනුවෝ දනිති. මේ නිසා සිය සහයට පැමිණ තමන් 'නපුරෙන් රැකගන්න' ලෙස ඔව්හු සියලු නපුරට වඩා ප්‍රබල, ශක්තිමත් දෙවියන් වහන්සේට යාච්ඥා කරති."  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මැයි මස 15 වන බදාදා වතිකාන චතුරශ්‍රයේ පැවැති බදාදා පොදු හමුවේදී ය. "ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණනි" යාච්ඥාවේ එන "නපුරෙන් අප මුදා ගත මැනව" යන කොටස ගැන භාවනා කරමින් එතුමා මේ ඉගැන්වීම කළේය. (අප භාවිත කරන පරමණ්ඩල යැදුමේ ඇත්තේ "අයහපතින් අප මුදා ගත මැනව" යන්න ය. එහෙත් වඩා නිවැරැදි සිංහල වචනය "නපුරෙන්" යන්නයි.)

"නපුරෙන් අප මුදා ගත මැනව" යන්න මානව අත්දැකීම් රාශියක් ආවරණය කරන බව ප්‍රැන්සිස් සුතුම් පියතුමා පෙන්වා දුන්නේය. "මිනිසකු ගේ හෝ ගැහැනියක ගේ වැළපීම, අහිංසකයන් දුක් විඳීම, වහල්බව, ශ්‍රම සූරාකෑම, අහිංසක ළමයින් ගේ වේදනාව ඒ අතරින් සමහරකි." (කර්තෘ සටහන: අපට සමීපතම නපුරේ බියකරු සහ වේදනාකාරී අත්දැකීම වන පාස්කු ඉරිදා දිව්‍ය පූජාවේදී සිදුවූ බෝම්බ ප්‍රහාරය ද ඊට ඇතුළත්ය.)

"ස්වකීය දුක් ප්‍රාප්තිය තුළ ජේසු සමිඳානෝ නපුරේ රිදුම් දෙන සිදුරු කිරීම අත්දුටු සේක. මරණය පමණක් නොවේ; කුරුසිය මත මරණයයි. තනිකම පමණක් නොවේ; නින්දාව සහ අවමානය ද  උන්වහන්සේ අත්දුටු සේක. ...මේ නිසා ජේසු සමිඳුන් ම අප වෙත තබා ගිය මෙම යාච්ඥාව මිල කල නොහැකි උරුමයකි. නපුර සමග පොර බදා එයින් අප නිදහස් කල දේව පුත්‍රයාණන් නිරන්තරයෙන් අප සමග වෙසෙන බව මේ යාච්ඥාව අපට පසක් කරයි" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

මේ නිසා අප අයහපතට, නපුරට මුහුණ දෙන විට දෙවියන් වහන්සේ ගේ උදව්ව ඉල්ලා සිටීම කිතුනු යාච්ඥාවේ අනිවාර්ය ලක්ෂණයක් බව එතුමා පෙන්වා දුන්නේය.

"මේ නිසා සෑම දේකටම පෙර - විශේෂයෙන් ම නපුරා ගේ බියකරු තර්ජනය  අපගේ ජීවිතය අබියය පෙනී සිටින විට - යාච්ඥා කරන ලෙස ජේසු සමිඳාණෝ සිය මිතුරනට උගන්වති. නපුරා ගොරවන සිංහයකු ලෙස ආත්මයන් අනුභව කිරීමට නිතර අප වටා සැරිසරන බව ශු. පේදුරු අපෝස්තුලු තුමා උගන්වා තිබේ."

"අපගේ ජීවිත තුළ නපුර දක්නට ලැබේ. නපුරේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ නොහැකියි. විෂ රැගෙන ඉතා නිශ්ශබ්දව බඩ ගා යන  සර්පයකු සේ සැරිසරන යක්ෂයා කිසිවෙකුත් ඉතිරි කරන්නේ නැත. ඉතිහාස පොත් යනු අපගේ මෙලොව පැවැත්ම කෙතරම් අසාර්ථක කටයුත්තක්  ද යන්න ගැන දෙස් දෙන හුදෙකලාවූ  අසරණ වූ නාමාවලියකි. ..නපුරේ අභිරහස් පැවැත්මක් දක්නට ලැබේ. එය නියත වශයෙන්ම දෙවියන් වහන්සේ ගේ ක්‍රියාවක් නොවේ.  ඇතැම් විට නපුර ජයගන්නා බවක් පෙනී යයි. සමහර දිනවල නපුරේ පෙනී සිටීම දේව දයාවේ පෙනී සිටීමට වඩා සියුම් වන බවක් ද පෙනී යයි."

"එහෙත් කුරුසියේ සිටින ක්‍රිස්තු සමිඳුන් ගෙන් සමාව ගලා  එයි. අපව නපුරෙන් ගලවාලන්නේ එයයි" යි එතුමා අවධාරනය කළේය.

"'නපුරෙන් අප මුදා ගත මැනව' යන මෙම ප්‍රකාශය මගින් අප ඉල්ලා සිටින්නේ හුදෙක් පාප පරීක්ෂා අවස්ථාවේ දී අප අත්නොහරින ලෙස පමණක් නොවේ. නපුරෙන් අප ගලවා ගන්නා ලෙසත් අපි එමගින්  ආයාචනා කරමු" යි එතුමා පැහැදිලි කළේය.

" 'අපගේ පියාණනි' යාච්ඥාවේ මෙම අවසන් පද නොතිබුනා නම්, පව්කාර අප, හිංසාවට ලක්වන  අප, බලාපොරොත්තු සුන් වූ අප, මරණය අබියස සිටින අප යාච්ඥා කරන්නේ කෙසේද?" යි සුදොතුම් පියතුමා ප්‍රශ්න කළේය.

"'අපගේ පියාණනි' යාච්ඥාව අපට සිහිපත් කරන්නේ ජේසු සමිඳුන්ගෙන් අපට ලැබෙන හොඳම තිළිණය උන්වහන්සේ ගේ නිරන්තර වැඩසිටීම සහ සාමය ය යන්නයි. එම අමිල තිළිණය ඕනෑම නපුරකට වඩා ශක්තිය. අපගේ බලාපොරොත්තුව මෙයයි: ජේසු සමිඳුන් අපට ලබාදෙන ශක්තිය මෙහි තිබේ. උන්වහන්සේ නොපසුබටව ඉදිරියට යාමට අප ශක්තිමත් කරමින් මෙහි, අප සමග, වැඩසිටින සේක" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

කර්තෘ සටහන:

මේ ඉරිදා - මැයි 26 වන දා - පාස්කු ඉරිදා සිද්ධීන් ගැන යාච්ඥා කිරීමේ දිනයක් ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශයට පත්කර තිබේ. උත්ථාන ප්‍රීතියේ දිනය වේදනාවේ සහ කඳුලේ දිනයක් කරමින්, මහා ආලෝකයේ දිනය අන්ධකාරයේ දිනයක් කරමින් නපුර අප පවුල්, අප කතෝලිකයන් මෙන්ම අප දේශය ද  වසා ගන්නට එදින එල්ල කල ප්‍රහාර සමග උත්සාහ ගත්තේය. එහෙත් "නපුරෙන් අප ගලවන" දෙවිඳාණෝ ඊට ප්‍රති ප්‍රචණ්ඩත්වයක් මුදා නොහැර  සතුරාට සමාව දීමේ දේව ගුණාංගය තුළ ලක්දිවට උත්ථානයේ සැබෑ ආලෝකයක් වන්නට දේශයේ කතෝලික ජනතාවට ශක්තිය දුන්හ.

එම සාමයේ, ප්‍රේමයේ, සංහිඳියාවේ ආදර්ශවත් ප්‍රතිචාරය නොතකා දේශය වෛරයේ, භේදයේ, බියවීමේ සහ අවුලේ අන්ධකාරය වෙත ගෙන යාමට නපුරා සහ නපුරාගේ බලවේග උත්සාහ දරමින් සිටියි.

මේ නිසා, රදගුරු හිමිවරුන් ගේ ඉල්ලීම අනුව යමින්, මෙම තීරණාත්මක මොහොතේ "නපුරෙන් අප (අපගේ පවුල්, කතෝලික සහ කිතුනු ජනතාව සහ ශ්‍රී ලංකා දේශය) ගලවනු මැනව" යයි එක පවුලක් ලෙස මේ ඉරිදා සමිඳුන් සමග පියාණන්ට කන්නලව් කරමු.   





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය