"කිතුනු සහ මුසොල්මාන සොහොයුරනි, සහෝදරත්වයේ පාලම් ගොඩනගමින් සංවාදයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට එක්වන්න" - රාමදාන් සුබපැතුමෙන් වතිකානය ඉල්ලා සිටියි

"Tear down walls of fear and ignorance and build bridges of brotherhood; promote the culture of dialogue" - Vatican urging Christians and Muslims worldwide in Ramadan message 


(2019 මැයි 14)
ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කොට, මානව පුද්ගලයාට ගෞරව කරන පරිසරයක් තුළ, මිත්‍රත්වයේ පාලම් ගොඩ නගමින් සහ සංවාදයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරමින් ලොව පුරා මානව සහෝදරත්වය සහ සාමකාමී සහජීවනය පතුරුවන්නැයි වතිකානය කිතුනු සහ මුස්ලිම්  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වතිකානය මෙම ඉල්ලීම කරන්නේ ඉස්ලාම් බැතිමතුන් සිය ශුද්ධ කාලය ලෙස සලකන රාමදාන් උපවාස සමය වෙනුවෙන් සිය සුබපැතුම සහ පණිවිඩය නිකුත් කරමිනි. සුදොතුම් පියතුමා ගේ අන්තර් ආගමික සංවාද නාලිකාව වන අන්තර් සාමයික සංවාදය සඳහා වන ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ මැයි මස 10 වනදාය.

"උපවාසය, යාච්ඥාව සහ දානය වෙනුවෙන් කැපකරන ලද රාමදාන් මාසය මුස්ලිම්-ක්‍රිස්තියානි මිත්‍රත්වය තුළ අප බෙදා ගන්නා ආධ්‍යාත්මික බන්ධුතා සවිමත් කරගන්නා සමයක් ද වන්නේ ය. මේ නිසා ඔබට සාමය පිරි ඵලදායි රාමදාන් උත්සවයක් වේවා යි ප්‍රාර්ථනා කරමි" යි එම පණිවිඩය නිකුත් කරමින් එම මන්ත්‍රණ  සභාවේ මහ ලේකම් මිගෙල් අන්ජෙල් අයුසෝ ගුයික්සෝ හිමි ප්‍රකාශ කරයි.

මෙම පණිවිඩය සඳහා වතිකාන මන්ත්‍රණ සභාව පාදක කරගෙන තිබෙන්නේ ඉකුත් පෙබරවාරි 4 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අබු ඩාබි නුවරදී කයිරෝ නුවර අල්-අසර් මහ පල්ලියේ ශීක් අහ්මඩ් එල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සමග අත්සන් තබන ලද ලේඛනයයි. "සාමයේ සාරධර්ම තුළ මුල් බැස ගනිමින් අන්‍යොන්‍ය අවබෝධයේ වටිනාකම් ආරක්ෂා කරමු" යි එම ලේඛනය උපුටා දක්වමින් එම පණිවිඩය ඉල්ලා සිටියි. මෙවර වතිකානය නිකුත් කල මෙම රාමදාන් පණිවිඩයේ ශීර්ෂය "කිතුනුවන් සහ මුස්ලිම්වරුන්: විශ්ව සහෝදරත්වයක් ප්‍රවර්ධනය කරමින්" යන්නයි.

"සෙසු සියලු ජනතාව අපගේ සහෝදර සහෝරියන්ය  යන දැනුම මත අපව   අන්‍යයන් වෙත විවෘත කිරීමට කිතුනු සහ මුසොල්මාන අපි කැඳවීම් ලබා සිටිමු. මේ මගින් බිය සහ මෝහය විසින් ඉදිකරනු ලැබ ඇති පවුරු බිඳ දමා සමස්ත මානව ප්‍රජාවේ යහපතට හේතු වන මිත්‍රත්වයේ පාලම් ඉදිකිරීම සඳහා එකාවන්ව වෙහෙසීමට අපට හැකිවනු ඇත. මේ අයුරින් අපි අපගේ පවුල් තුළත්, අපගේ දේශපාලන, සිවිල් සහ ආගමික සංස්ථා තුළත් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප  කරන්නාවූ ද, මානව පුද්ගලයාට ගෞරව කරනා වූ ද නව ජීවන මාර්ගයක් වගා කරමු" යි මෙම පණිවිඩයෙන් වතිකානය ආරාධනා කරයි. 

මේ අරමුණ ඔස්සේ ගමන්  කිරීමේ දී  සහයෝගිතාවේ සහ එකිනෙකා ගැන වඩා හොදින් ඉගෙන ගැනීමේ ක්‍රම වේදයක් ලෙස සංවාදය වර්ධනය කිරීම වැදගත් බව මෙම පණිවිඩය  පෙන්වා දෙයි.

"විවිධත්වයට ගෞරව කිරීමේ අරමුණින්, සෑම පුද්ගලයකු ගේ  ම ජීවිතයට ඇති අයිතිවාසිකම , භෞතික ඒකාග්‍රතාවට ඇති අයිතිවාසිකම, හෘදය සාක්ෂියේ නිදහස, චින්තනයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස යන සකල විධ මූලික නිදහස සඳහා ඇති අයිතිවාසිකම ප්‍රවර්ධනය කිරීම සඳහා නිරන්තර සංවාදයක නරත විය යුතුය. කෙනෙකුට ස්වකීය පෞද්ගලික මෙන්ම ප්‍රසිද්ධ ජීවිතයේ දී ද සිය විශ්වාසයට අනුකුලව ජීවත් වීමට ඇති නිදහස ද මීට ඇතුළත් වේ. මේ මාර්ගයෙන් කිතුනුවනට හා මුස්ලිම් ජනතාවට - සොහොයුරු සොහොයුරියන් ලෙස- එක්ව පොදු යහපත සඳහා ක්‍රියා කිරීමට හැකියාව ලැබේ."

"මෙම සහෝදරත්වයේ සලකුණ සහ පණිවිඩය, සමාජයේ, සිවිල් ජීවිතයේ සහ සමස්ත මානව පවුලේ නායකත්වය සහ බලය දරන සෑම හදවතකම දෝංකාර නංවමින් හුදෙක් රිස්සුමේ ආකල්පයක් නොව අව්‍යාජ සාමකාමී ජීවිතයක් ගොඩනැංවීමට හේතු වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි" යි සිය  රාමදාන් සුබ පැතුමෙන් වතිකානය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය