"ඓතිහාසික සහ දේවධාර්මික පදනමකින් තොරව කාන්තා තේවාචාරිවරය ස්ථාපනය කිරීම ගැන තීරණය කළ නොහැකියි" - කාන්තා තේවාචාරිවරය පිලිබඳ කොමිසමේ නිගමන දැනුම් දෙමින් සුදොතුම් පියතුමා කියයි

"Decision on women deacons cannot be made 'without historical foundation'' - Holy Father says at UISG Audience


(2019 මැයි 11)

කාන්තා තේවාචාරීවරය කතෝලික සභාව තුළ ස්ථාපනය කළ හැකිද යන්න ගැන අධ්‍යයනය කිරීමට පත් කරන ලද කොමිසම ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවට පැමිණ නොමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි.මේ අනුව දෙවධාර්මික හෝ ඓතිහාසික පදනමකින් තොරව කාන්තා තේවාචාරිවරය ස්ථාපනය කල නොහැකි බව එතුමා අවධාරණය කළේය. 

කිතුනු සභාවේ මුල් ශත වර්ෂවල කාන්තා තේවාචාරීන් ගේ දූත සේවාව ගැන අධ්‍යයනය කර එම සේවාව ස්ථාපනය කළ හැකිද යන්න  ගැන සොයා බැලීමට පත් කරන ලද මෙම කොමිසමේ සාමාජික සාමාජිකාවන් සිය වාර්තාව තමන්ට භාර දුන් බව එතුමා කියා සිටියේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම කොමිසම පත් කලේ 2016 මැයි 13 වනදා අන්තර් ජාතිකා ජගත් පැවිදි  නිකාය ශ්‍රෙෂ්ඨාධිපති  සංගමයේ  හමුවේදී එහි සාමාජික සාමාජිකාවන් එතුමාගෙන් කල ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.
(ඒ ගැන විස්තර මෙතනින් කියවන්න:
කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනයට කොමිසමක් පත් කෙරේ; පිරිමි-කාන්තා සාමාජිකයන් 6 දෙනා බැගින් සම සමව)

"ඔවුන් කිසියම්  ස්ථානයකට පැමිණියා. එතැනදී සියලු දෙනාම එකඟ වුණා. ඉන් පසුව ඔවුන් එක් එක් කෙනාට හුදු වූ මත  ප්‍රකාශ කලා," යි එතුමා පෙන්වා දුන්නේය. "එම සාමාජික සාමාජිකාවන්ට එකඟත්වයකට පැමිණීමට හැකිවූ කරුණු ඇතුළත් එම වාර්තාව අන්තර්ජාතික පැවිදි නිකාය ශ්‍රේෂ්ඨාධිපතීන් ගේ සංගමයේ සභාපති කාමන් සැමට් පැවිදි සොහොයුරිය වෙත මා අද නිල වශයෙන් භාර දුන්නා" යැයි ද එතුමා සඳහන් කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු හෙළදරව් කලේ රෝමයේ දී පැවැත්වුණු  අන්තර්ජාතික පැවිදි නිකාය ශ්‍රේෂ්ඨාධිපතිනියන් ගේ සංගමයේ රැස්වීමෙන් පසුව එහි සාමාජික සාමාජිකාවන් හමු වූ අවස්ථාවේ දී ය.  වතිකානයේ සවැනි පාවුළු ශාලාවේදී පැවැත්වුණු මෙම හමුවට සංගමයේ සාමාජිකාවෝ 850 දෙනෙක් පමණ සහභාගී වූහ.

කාන්තා තේවාචාරීන් පිලිබඳ  කොමිසමේ සාමාජික සාමාජිකාවන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම දැන් අවසන් කර  ඇති  බව සුදොතුම් පියතුමා කියා සිටියේය. එහෙත් ඔවුන් එකිනෙකා දැන් පෞද්ගලිකව සිය අධ්‍යයානය නොකඩවා කරගෙන යන බව ද එතුමා හෙළිදරව් කළේය.

"කොමිසමේ සාමාජිකයන්ගෙන් සමහර දෙනෙක් කියා සිටියේ සභාව කාන්තා තේවාචාරිවරය ස්ථාපනය කිරීමට තීරණය කල යුතු බවයි. එහෙත් ඒ පිලිබඳ කතා කිරීම මෙතැනින් නැවැත්විය යුතු බව තවත් අයගේ මතය වුණා. අප මෙය අධ්‍යයනය කළ යුතුයි. දේවධාර්මික හෝ ඓතිහාසික පදනමකින් තොරව සක්‍රමේන්තුමය  තීරණයක් ගන්නට මට නොහැකියි" යි එතුමා අවධාරණය කළේය.

කොමිසමේ සාමාජික සාමාජිකාවන් දැන් පෞද්ගලික මට්ටමින් සිය අධ්‍යයන කරගෙන යන අතර ටික කලකින් ඔවුන් කැඳවා එහි ප්‍රගතිය ගැන විමසීමට තමන්ට හැකි වනු ඇති බව එතුමා සඳහන් කළේය.

අන්තර්ජාතික පැවිදි නිකාය ශ්‍රේෂ්ඨාධිපතිනියන් ගේ සංගමයේ සාමාජිකාවන් සමග එතුමා පැවැත්වූ මෙම හමුව අනපේක්ෂිත ලෙස සියල්ලන් සහභාගී කරගන්නා සහ සිත් ඇදගන්නාසුළු එකක් වූයේය.

සුදොතුම් පියතුමා හමුව පැවැත්වෙන ශාලාවට පැමිණියේ සංගමයේ සභාපති, අප්‍රිකාවේ අප ස්වාමිදුවගේ ධර්ම දූතිකාවෝ නිකායේ ශ්‍රේෂ්ඨාධිපති මෝල්ටා ජාතික  කාමන් සැමට් පැවිදි සොහොයුරිය ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු කැටුවය. මූලාසනය  වෙත පැමිණි එතුමා සමස්ත හමුව පුරා තමන් සමග එකට අසුන් ගෙන එය මෙහෙය වීමට සැමට් සොයුරියට හැකිවන අයුරින් පුටුවක් රැගෙනවිත් තම අසුන අසල තබන්නැයි එහි සිටි සොයුරියන්ගෙන් ඉල්ලීමක් කළේය.

සැමට් පැවිදි සොයුරිය ගේ දේශනයෙන් පසුව එතුමා එම කතාවට පිළිතුරු දෙමින් විනාඩි කිහපයක් කතා කළේය. ඉන් පසුව කවුරුනුත් අපේක්ෂා නොකළ ආකාරයෙන්, "ඉදිරියට පැමිණ ප්‍රශ්න ඇතොත් විමසන" ලෙස ඉල්ලමින්  තමන්ගෙන් ප්‍රශ්න ඇසීමට එතුමා ඉතිරි කාලය විවෘත කළේය.

මෙහිදී ඉදිරියට පැමිණි එක පැවිදි සොයුරියක් කාන්තා තේවාචාරීවරය ගැන සුදොතුම් පියතුමා හමුව ආරම්භයේ දී කල ප්‍රකාශය සිහිපත් කරමින්, "මා වැනි කාන්තාවන් ඉල්ලා සිටින්නේ පිරිමින්ට සමාන තලයක සිට සභාවට සේවාව කිරීමට අපටත් අවස්තාව දෙන ලෙසයි. එවැනි තීරණයක් ගැනීම ඓතිහාසික සම්ප්‍රදාය මත පදනම් කරගන්නේ ඇයි?" යි විමසුවාය.

ඊට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කියා සිටියේ සභාව සිය ඉගැන්වීම් සිදු කරන්නේ "හෙළිදරව් කරන ලද සත්‍යතා වලට විශ්වාසවන්තව" බවයි. "දේව හෙළිදරව්වේ ස්වභාවය වන්නේ තමන්වම පැහැදිලි කිරීම සඳහා අඛණ්ඩව ගමනේ යෙදීමයි" යි එතුමා කීවෙය

"අද, එනම් දෙවන වතිකාන කතිකාවට පසුව, අප විශ්වාසය තේරුම් ගන්නා ආකාරය එම කතිකාවට පෙර අප විශ්වාසය තේරුම් ගත් ආකාරයට වඩා වෙනස්. ඊට හේතුව තේරුම් ගැනීමේ වැඩීමක් ඇති වීමයි. විශ්වාසය පිළිබඳව ඇති අවබෝධය වසරින් වසර වර්ධනය වෙනවා. එය අඛණ්ඩව  වැඩෙනවා. වෙනසක් සිදු වන්නේ නැහැ. වැඩීමකුයි සිදු වන්නේ. කාලයත් සමග එය පළල් වෙනවා. එය වඩා හොඳින් තේරුම් ගත හැකි වෙනවා" යි සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

"ඉතින් අප දැන් මේ කතා කරන දේ දේව හෙළිදරව්වට සම්බන්ධ නම්, එය යහපත්. එහෙත් එය දේව හෙළිදරව්වට අනුකූල නොවන අමුතු දෙයක් නම්, එයින් වැඩක් වන්නේ නැහැ. මේ නිසා කාන්තා තේවාචාරීන් පිළිබඳ ප්‍රශ්නයේ දී දේව හෙළිදරව්ව ආරම්භයේ පැවැති තත්වය කුමක්ද යන්න අප විමසා බැලිය යුතුයි. එහි යම් සම්බන්ධතාවක් තිබුනා නම්, අප ඊට වැඩෙන්නට, ජීවත්වන්නට අවකාශ ලබා දිය යුතුයි. එහෙත් එහි යමක් නොතිබුණා නම්,  එය ක්‍රියාත්මක කළ නොහැකියි. දේව හෙළිදරව්ව සහ වේද සත්‍යතා ප්‍රකාශන වලින් ඔබ්බට යාමට අපට හැකියාවක් නැහැ," යි ද එතුමා අවධාරණය කළේය.

සබැඳි අනෙක් පුවත:
"කාන්තාවන්ට තේවාචාරීන් විය නොහැකි ද? - "පුළුවන් වේවි; ඒ ගැන අධ්‍යයනය කරමු." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් ඓතිහාසික විවෘතභාවයකට යොමු වේ.

සේයාරුව: සුදොතුම් පියතුමා කාමන් සැමට් පැවිදි සොහොයුරිය සමග සම අසුන් ගෙන හමුව මෙහෙයවීය. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය