අද පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ශෝක වෙයි: "මම මගේ හදවතින්ම ඔබ ලඟයි."- විපතට පත් සැමට එතුමා කියයි (URGENT - Being updated)

Pope Francis laments Easter Sunday attacks in Sri Lanka


(2019 අප්‍රේල් 21)
පුද්ගලයන් 200 දෙනෙකු මරුමුවට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු සහ තවත් ස්ථාන කිහිපයක සිදු වූ "කුරිරු ප්‍රහාර" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙළාදකියි. එම වේදනාකාරී සිද්ධි  පිළිබඳව එතුමා  ශෝක වෙයි.

"හරියටම අද , පාස්කු ඉරිදා , ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු කිහිපයකට වේදනාව  හා සන්තාපය ගෙන එමින් ඒවායේ යාච්ඥා කිරීමට රැස්වූ ජනතාවත්  වෙනත් ස්ථාන කිහිපයකට රැස්වූ ජනතාවත් ඉලක්ක කරගනිමින් එල්ලවූ දරුණු ප්‍රහාර ගැන දැනගැනීමෙන් මම මහත් ශේකයටත් වේදනාවටත් පත් සිටිමි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

"යාච්ඥා කිරීමට රැස්වූ අවස්ථාවේ මෙම කුරිරු  ප්‍රහාරවලට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ කිතුනු පවුලේ සියලු දෙනා ඇතුළු  සෙසු සියලු දෙනා සමග  මම මගේ මුළු හදවතින්ම සමීප වන බව මගේ හද පත්ලෙන්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි," යි එතුමා සඳහන් කළේය.

එතුමා මේ ප්‍රකාශය කලේ  සාම්ප්‍රදායික ලෙස පාස්කු ඉරිදා "නගරයට සහ ලෝකයට" ආශීර්වාදය දානය කිරීම සඳහා  අද දහවල් සාන්ත පීතර බැසිලිකා  දෙව්මැදුරේ සඳලුතලයට පැමිණි අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ කතෝලික සහ කිතුනු දෙව්මැදුරුවලටත් හෝටල් කිහිපයකටත් එල්ල වූ  මෙම බහුවිධ ප්‍රහාර නිසා ජනතාව දැඩි ශෝකයටත් සන්තාපයටත් පත්ව ඇති බව සුදොතුම් පියතුමා කියා සිටියේය.

"මෙම සිද්ධි වලින් ඉතා ශෝචනීය ලෙස මිය ගිය සියලු දෙනා  මම සමිඳුන් ගේ හස්ත වලට භාර කරමි. එසේම මෙම කනගාටුදායක සිද්ධිවලින්  තුවාල ලැබුවාවූ ද ඒ නිසා ශෝකයට හා වේදනාවට පත්ව සිටින්නා වූ ද සියලුම දෙනා වෙනුවෙන් මම සමිඳුන් ඉදිරියේ යාච්ඥා කරමි" යි ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.


කාදිනල් හිමිපාණන් ගේ ප්‍රකාශය 

"මෙය අප සෑම දෙනෙකුටම කනගාටුදායක දිනයක්" යයි කොළඹ අගරදගුරු ඇතී උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමි ප්‍රකාශ කළේය. "මෙය,  ජනතාවට ඉතා දැඩි වේදනාවක් සහ මරණ ඇති කරන  ලද මෙම ක්‍රියාව, මාගේ  ඉහළම ශක්තියෙන් මම හෙලා දකිනවා" යැයි BBC ඇතුළු මාධ්‍ය කිහිපයකට ප්‍රකාශයක් කරමින් එතුමා කියා සිටියේය.

"ඉතාමත් අපක්ෂපාතී සහ ප්‍රබල  විමර්ශනයක් පවත්වා මෙම ක්‍රියාව පසුපස සිටින තැනැත්තන් සොයා ගන්නා  ලෙසත් ඔවුනට කරුණා විරහිතව දඬුවම් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.  මන්ද මේ ආකාරයෙන් හැසිරෙන්නට පුළුවන් වන්නේ තිරිසනුන්ට පමණයි.  ඒ වගේම මා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා නීතිය ඔබගේ අතට නොගන්නා ලෙසත් රටේ සාමය සහ සංහිඳියාව පවත්වාගන්නා ලෙසත්" යයි එතුමා කියා සිටියේය. .

දෙව්මැදුරු තුනකට ප්‍රහාර 

ප්‍රහාරකයන් කණ්ඩායම් කිහිපයක් විසින් අද පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ එකම වෙලාවට ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනකට සහ හෝටල් තුනකට ප්‍රහාර එල්ල කළහ. මෙම ප්‍රහාර සියල්ල මරාගෙන් මැරෙන ප්‍රහාර බව මූලික වාර්තා පෙන්වා දෙයි.

කොළඹ කොච්ච්කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන් ගේ සිද්ධස්ථානය, මීගමුව කටුවාපිටිය ශා. සෙබස්තියන් මුනිඳුන් ගේ දේවස්ථානය යන කතෝලික දෙව්මැදුරු දෙක ද මඩකලපුවේ ඉවැන්ජලිකල් දේවස්ථානය මෙමෙ ප්‍රහාර වලට ලක්වූ දෙව්මැදුරු වේ. කොළඹ ශන්ග්‍රිලා, කින්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල සෙසු බෝම්බ පිපිරීම් සිදු විය.

දෙව්මැදුරු වල බෝම්බ පිපිරීම් සිදු වූයේ පාස්කු ඉරිදා දිව්‍ය පූජා පැවැත්වෙමින් තිබියදීය. මේ හේතුවෙන් එම දෙව්මැදුරු සියල්ලේම පාස්කු මංගල්‍යයට සහභාගී වෙමින් සිටි බැතිමත්හු විශාල පිරිසක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුලාව ලැබූහ.

පොලිසියේ වාර්තා උපුටා දක්වමින් අන්තර්ජාතික නිල මට්ටමේ පුවත් සේවා පවසන අන්දමට මෙම සිද්ධි වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 200 ඉක්මවා ගොස් තිබේ. 400කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. එම වාර්තා පවසන අන්දමට වැඩිම හානිය සිදු වී ඇත්තේ මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ය. කොච්චිකඩේ දෙව්මැදුර තුළ විපතට පත් වූ සංඛ්‍යාවද විශාල බව එම වාර්තා කියයි. මඩකලපුව කිතුනු දෙව්මදුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගිය බව මඩකලපුව රෝහල් වාර්තා ප්‍රකාශ කරයි. මෙම සිද්ධි වලින් විදේශීය ජාතිකයන් 27 දෙනෙකු මරුමුවට පත්ව ඇති බව ද  රජය නිල වශයෙන් ප්‍රකාශ කළේය.  ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයෝ  5 දෙනෙක් ද ඩෙන්මාර්ක් ජාතිකයෝ තුන් දෙනෙක් ද තුර්කි ජාතිකයෝ දෙදෙනෙක් ද වෙති. 

මේ අතර අද පස්වරු 6 සිට සඳුදා (22) පෙරවරු 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කළේය. මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ලද්දේ කවුරුන් විසින් දැයි සොයා දැන් පර්යේෂණ ආරම්භ වී තිබේ. කෙසේ නමුත් එහි වගකීම මෙතෙක් කවර හෝ සංවිධානයක් විසින් හෝ භාරගෙන නොමැත.


(සේයාරුව: කොච්චිකඩේ ශා. අන්තෝනි දෙව්මැදුරේ ප්‍රහාරයෙන් හානි වූ ප්‍රතිමාවක්) 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය