දකුණු සූඩාන නායකයන්ට වතිකානයේ දී ධර්ම විවේකයක් - එය මෙහෙයවන්නේ එංගලන්ත සභාවේ නායක කැන්ටබරියේ අගරදගුරු හිමි

Archbishop of Canterbury to lead spiritual retreat for South Sudan leaders in Vatican


(2019 අප්‍රේල්  09)
දකුණු සූඩානයේ දේශපාලන සහ ආගමික නායකයන් සඳහා ධර්ම විවේකයක් අප්‍රේල් 10 සහ 11 දෙදින වතිකානයේ දී පැවැත්වේ. මෙහි ඇති විශේෂත්වය වතිකානයේ දී  - එනම් කතෝලික සභාවේ ආධ්‍යාත්මික නායකයා වන පාප් වහන්සේ වෙසෙන පුංචි රාජයේ දී -  පවත්වනු ලබන මේ අධර්ම විවේකය (ඥාන කාන්තිය) මෙහෙයවනු ලබන්නේ එංගලන්ත සභාවේ ආධ්‍යාත්මික නායක කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් විසින් වීමයි.

කතෝලික වහරේ ධර්ම විවේක හෙවත් ඥාන කාන්ති යනුවෙන් හැඳින්වෙන්නේ බයිබලීය ඉගැන්වීම් අනුව කෙනෙකු හෝ කණ්ඩායමක් සිය ආධ්‍යාත්මික ජීවිතයට එබී බලා සිය දුර්වලතා හඳුනාගෙන, වැරදි හෝ පාප වලට සමාව ලබාගෙන, ඒවා හරිගස්සාගෙන  නව ජීවිතයක් ඇතිකරගැනීමට කරනු ලබන  ආධ්‍යාත්මික අභ්‍යාසයකි.

වසර 2011 දී ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස ලැබීමෙන් පසුව දිගින් දිගටම සිවිල් යුද්ධයක පැටලී  සිටි දකුණු සූඩාන නායකයන් අතර  2018 සැප්තැම්බර මාසයේ අඩිස් අබාබා නුවර දී සාම ගිවිසුමක් අත්සන් තැබිණි. එහෙත් එම සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද විවිධ දුෂ්කරතා පැන  නැගී තිබේ. සිය ධුර කාලය ආරම්භයේ සිටම දකුණු සූඩානයට සාම වැඩ පිළිවෙලක් සකස් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැඩි ලෙස උනන්දු වෙමින් සිටියේය. මෙම ධර්ම විවේකය පවත්වනු ලබන්නේ ද එම උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙසයි.  ඒ අනුව මෙම ධර්ම විවේකයේ අරමුණ දකුණු සූඩානයේ දේශපාලන  හා සභා නායකයන් එකිනෙකාට සමීප කර 2018 අඩිස් අබාබා සාම සම්මුතිය තහවුරු කර සිවිල් යුද්ධය නිමාවකට ගෙන ඒමයි.

ධර්ම විවේකය පිලිබඳ  යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අති උතුම් ජස්ටින් වෙල්බි කැන්ටබරියේ අගරදගුරු තුමන් විසින් බව මේ සම්බන්ධයෙන් නිකුත් කල වතිකාන නිවේදනය කියා සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එය අනුමත කළේය. එය පවත්වනු ලබන්නේ සුදොතුම් පියතුමා ජීවත් වන සාන්තා මාර්තා තානායමේ දීය. 

මෙම ධර්ම විවේකයට සූඩාන දේශපාලන නායකත්වය වෙනුවෙන් සාම ගිවිසුම අනුව පත් වූ ජනාධිපති අල්වා කීර් සහ උප ජනාධිපතිවරු සිව් දෙනෙක් සහභාගී වෙති. එරට ඇංග්ලිකාන, කතෝලික සහ බැප්ටිස්ට් සභා නියෝජනය කරමින් අගරදගුරු හිමිවරුන්  සහ  පියවරු කිහිප දෙනෙක් ද ඊට එක්වෙති.

මෙම ධර්ම විවේකය එකවිට ධාර්මික, අන්තර් කිතුනු සංවාදාත්මක මෙන්ම රාජ්‍යතාන්ත්‍රික එකක් ද වන බව වතිකාන නිවේදනයේ සඳහන් වේ. එය සංවිධාන කරන ලද්දේ වතිකාන රාජ්‍ය ලේකම් කාර්යාලය සහ එංගලන්ත සභාවේ කැන්ටබරියේ අගරදගුරු හිමි කාර්යාලය අතර අන්‍යොන්‍ය  එකඟතාවයෙනි.

මෙහි අරමුණ දකුණු සූඩාන ජනතාවගේ සාමය සහ අනාගත අභිවෘද්ධිය සඳහා වැඩ කිරීමේ වගකීම පැවැරී ඇති නායකයනට, යාච්ඥාවෙන් යුතුව, ගෞරවයේ සහ විශ්වාසයේ පරිසරයක් තුළ  එකිනෙකා  මුණගැසීමටත් සමගි සන්ධානයටත් අවස්ථාව උදා කර එම සාම ගිවිසුම වෙනුවෙන් සභාවේ ශක්තිය සහ ආශීර්වාදය ලබා දීම බව එම නිවේදනය වැඩිදුරටත් කියයි.

ධර්ම විවේකය අවසන් වන්නේ අප්‍රේල් 11 වනදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පවත්වනු ලබන දේශනයෙනි.

ඉන් පසුව ඊට සහභාගී වන්නන්ට ශුද්ධ බයිබලය පොතක් බැගින් පිරිනැමේ. මෙම බයිබලය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්, ජස්ටින් වෙල්බි අගරදගුරු තුමන් සහ ප්‍රේස්බිටෙරියාන සභාවේ හිටපු සම්බන්ධිකාරක ජෝන් චාමර්ස් දේවගැති තුමා විසින් අත්සන් තබන ලද එකක් වීම ද විශේෂයකි.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය